සූරාකනු ලැබීමේ වහල්කම නීතිගත කොට එක රටක් ගොඩනැඟීමේ මිථ්‍යාව

එක රටක්- එක නීතියක් යන්න හාස්‍යජනක වාක්‍යයක් බවට පත් වූයේ,
ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාරිය බාරදුන් පුද්ගලයාගේ උත්ප්‍රාසවත් ගැළපීම හේතුවෙනි. එහෙයින් ඒ ගැන බුද්ධිමය සංවාදයකට තිබූ
අවස්ථාව යටපත් විය.
මේ එය යළි මතු කිරීමේ වෑයමකි.

‘එක රටක් – එක නීතියක්’ යන ජනහිත සටන් පාඨය පෙරදැරි කරගෙන ආණ්ඩුව එක එක රටේ එක එක නීතියට යටත් වෙමින් සිටී. විවිධ ගිවිසුම්වලට හොර රහසේ එකඟ වෙමින්, ඇමෙරිකාවට හිස පහත් කරයි. චීනයට රටෙන් කොටසක් පාවා දී ඇස්සට දත නියවයි. ඉන්දියාවට තෙල් ටැංකි බාර දී කිරෙන් කා තෙලෙන් මුක දෙක සෝදා ගනී. මේ හැම විට ම එක එක රටවල එක එක නීතියට යටත් වෙමින්, අපේ රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදීමට විද්වත් මණ්ඩල පත් කරයි. උපදෙස් යෝජනා කිරීමට ඥානසාර කොමිසමට මෝඩසාර පැවරීමක් කර ඇත.

21වන වතාවටත් රැවටීම

මේ ආණ්ඩුවේත්, මීට පෙර ආණ්ඩුවලත් ව්‍යවස්ථා භාවිතය කුමක් ද? තමන් හිතන කියන දේ අනුව නීති හදන ඉහළ මණ්ඩලයක් පත් කරගෙන ඔවුන් ඉදිරිපත් කරන නීතිය සම්මත කර ගැනේ. 20 වැනි සංශෝධනය ගැන සිදු වූ අප්‍රමාණ විවේචන බැහැර කැරිණ. අගමැති මෑත දී ප්‍රකාශ කළේ පිටපත හැම මන්ත්‍රීවරයකුට ම දෙන බව ය. එහෙත්, විවේචනවලට සවන් නොදීම පාලකයන්ගේ හැදියාව ය. ජේ. ආර්. 1978 ව්‍යවස්ථාව ගෙනාවේත් එසේ ය. එදා ඇන්. ඇම්., කොල්වින් සහ තවත් බොහෝ දෙනා කළ නිරීක්‍ෂණ අද සත්‍යය වී නැද්ද? දැනට ප්‍රචාරය කරන ‘එක රටක් – එක නීතියක්‘ යන ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී පාඨය තවත් වරක් ජනතාව රැවටීමට කරන උත්සාහයකි.

1978දී කරන ලද විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා සමාජය භේදභින්න වී අර්බුද රැසක් මතු විය. එම ව්‍යවස්ථා වියරුව සමඟ රටේ ජනතාව අතර ගැටුම් හට ගැනිණ. යැපුම් මට්ටම පහළට වැටිණ. සූරාකෑම උදෙසා නීති තර කර ගැනීම ව්‍යවස්ථා භාවිතය විය. එහෙයින්, සංශෝධන රැසක් ඇති විය. එහෙත්, ජනතාව අතර උග්‍ර ප්‍රතිවිරෝධයක් මතු විය. එම ප්‍රගතිශීලී ප්‍රතිවිරෝධයේ මල්ඵල ගැන්වීම වූයේ 17 වැනි සංශෝධනය ඇති වීම ය. එය සැබැවින් ම රටේ ‘එක නීතියක් – එක රටක්’ ඇති වීමේ මූලාරම්භය විය. එම සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා හත සහ රජයේ ඉහළ තනතුරුධාරීන් පත් කිරීම ව්‍යවස්ථා සභාවෙන් කරන්නක් බවට පත් විය. ජනාධිපති කළේ පත්වීම පිරිනැමීම පමණි. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නැතිව ජනාධිපතිට කිසිවකු පත් කළ නොහැකි විය. එවිට සිදු වන්නේ නීතිය ප්‍රමුඛ වීම ය. ඊට පෙර තිබුණේ, පුද්ගලයා මැදිහත් වීම ය. රටක නීතිය පුද්ගලයාට වඩා ඉහළින් ක්‍රියාත්මක වන විට එක රටක්, එක නීතියක් දෙසට රට යොමු වේ. ඒ අනුව ලෝක සම්ප්‍රදායය පිළිපදිමින් ජනාධිපති දුර කාලය දෙකක් බවට පත් කැරිණ.

රට ආපස්සට හැරවූ 18

18 වැනි සංශෝධනයෙන් කළේ කුමක් ද? රට ආපස්සට හැරවීම ය. වාර දෙකේ ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීමෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට සදාකාලිකව පත් වීමේ ඉඩකඩක් පාදා ගැනිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළිත් විකෘත කැරිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා පත් කරනු ලැබුවේ තනි මතයට ය. ගෙදර යන ගමන් එන්න කියා පත්වීම් දිය හැකි විය. රට යළිත් පිරිහෙන්නට විය. එම පසුබිම නිසා රාජපක්‍ෂ පාලනය පෙරළා යහපාලන ආණ්ඩුව ඇති විය. එම පාලනයේ දුබලකම් නිසා යළිත් රාජපක්‍ෂ පාලනයට පාර කැපිණ.

1978 සිට 2015 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 18ක් ඇති විය. එයින් වැඩි ගණනකින් ඇති කළේ ආණ්ඩු කිරීමේ බලය වැඩි කර ගැනීම ය. 17න් වැඩිදියුණු කළ පුරවැසි නිදහස 18න් යටපත් කැරිණ. 19න් යළිත් එය ගොඩ ගැනීමට උත්සාහ ගැනිණ. මේ කාලය තුළ ජනාධිපතිකමට පස් දෙනෙක් පත් වූහ. විජේතුංග හැර අනෙක් හතර දෙනා ම ව්‍යවස්ථා බලතල අයුතු ලෙස යොදා ගත්හ. සිරිසේන සිය බලතල අනිසි ලෙස යෙදූ අවස්ථා අතර පළමු වරට ජනාධිපති බලතල සීමා කිරීමක් ද සිදු කළේ ය. ඒ ජනතාවගේ බලපෑම නිසා ය. 19 ඇති වූයේ එම බලපෑම සමඟ ය.

අයිතිවාසිකම්වලට විකෘති අර්ථකථන

1978 ව්‍යවස්ථාවෙන් ඒකාධිපති බලතල පවරාගෙන ජේ.ආර්. කළ දැවැන්ත හිතුවක්කාර ක්‍රියාව වූයේ 1980 මහා වැඩ වර්ජනය මර්දනය කොට සේවකයන් 40,000කට අධික පිරිසකගේ රැකියා අහිමි කිරීම ය. එය ලෝක කම්කරු නීති හමුවේ පරාජය වී යළි රැකියා දෙන්නට සිදු විය. මේ ලෝක අයිතිවාසිකම්වල බලපෑම ඔවුන් සහ ඔවුන්ගේ ම මාධ්‍ය අර්ථදැක්වූයේ විදේශ ඇඟිලි ගැසීමක් ලෙස ය. මෙසේ රැකියා දීමට බල කළේ විදේශීන්ගේ ප්‍රයෝජනයට නොව ස්වදේශීන්ගේ යහපතට ය. ඒ සඳහා වූ ලෝක සම්මුතිවලට අනුව ය. මොවුන්ගේ විග්‍රහය අනුව ඒකාධිපති නීති පැනවීමට, හොරකමට, වංචාවට නිදහස තිබීම රටේ ස්වෛරීභාවයයි. 19න් තනි තීන්දු ගත නොහැකි විය. තීන්දු ගැනීම පාර්ලිමේන්තුව සතු විය.

මේ කලබැගෑනිවලට පෙර 2000දී සාපේක්‍ෂව යහපත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. රනිල්ගේ අදූරදර්ශීකම නිසා එය පාර්ලිමේන්තුවේ දී පරාජය විය. ඒ සමඟ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ අදූරදර්ශීභාවය ද වැඩිණ.
අප රටේ 1983 සිට ජාතික ප්‍රශ්නය උග්‍ර වී යුද්ධයක් කරා පැමිණියේ 1978 ව්‍යවස්ථාවේ විධායක බලතලවලට එරෙහිව ය.
එක රටක්, එක නීතියක් ඇති වීමට නම්, එසේ විධායක බලය එක් පුද්ගලයකු වෙත කැටි කර ගැනීම නොසිදුවිය යුතු ය. එම බලය සාමුහික විය යුතු ය. එවිට එම සාමුහික බලය සියලු ජාතිකත්වයන් කෙරෙහි යම් සමානත්වයකින් භාවිත වීමෙන් එක රටක් ඇති වීම ආරම්භ විය හැකි ය. එක නීතියක් යනු ජනතාව වෙත උපරිම පරමාධිපති බලය පිහිටු වීම ය. අලුත් ව්‍යවස්ථාවකින් යළිත් සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්නේ නම්, එහි එක භාෂාවක්, එක ආගමක්, එක වර්ගයක් ප්‍රමුඛතාව ලබා රට කැඩී, නීති වැඩී යා හැකි ය.

පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, එක රටක්, එක නීතියක් ඇති කිරීමට නම්, ‘පරමාධිපති බලය ඇත්තේ, ජනතාවට ය’ යන සංකල්පය පොළොවේ භාවිත කරන ආයතන රැසක් සහිත ආණ්ඩුක්‍රමයක් පැවැති යුතු ය. එසේ නොවන ආණ්ඩුක්‍රමයකින් ඇති වන්නේ ගැටුම්, අර්බුද සහ විපත් පමණි. රාජපක්‍ෂ ආණ්ඩු කවදත් නිර්මාණය කර ඇත්තේ, එවැනි ආණ්ඩු ය. එය ඔවුන්ගේ පුරුද්ද ය. 17 සහ 19 සංශෝධන නැති කොට 18 සහ 20 සංශෝධනවලින් ඔවුන් රටට දුන්නේ විපත් බහුල වකවානු ය. ඉදිරියේ දීත් එවැන්නක් ම ඇති කරන බවට සැක නැත.

එක රටක්, එක නීතියක් වීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ මූල්‍ය පාලනය විවෘත විය යුතු ය. සියලු ම ආයතනවල මූල්‍ය චරියාව විගණකාධිපතිගේ නිරීක්‍ෂණයට යටත් විය යුතු ය. ඒ සඳහා විගණකාධිපති ස්වාධීන වීම අත්‍යවශ්‍යය. 20 වැනි සංශෝධනයෙන් විගණකාධිපති ජනාධිපති විසින් පත් කිරීම දක්වා වෙනස් කර ගැනිණ. එවිට පාර්ලිමේන්තුවේ, රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (ක්‍දචැ), රාජ්‍ය ගිණුම් කාරක සභාව (ක්‍දච්) යන ආයතනවලට සිය කටයුතු කාර්යක්‍ෂම ලෙස කළ නොහැකි ය.

රාජපක්‍ෂ පාලනය මීට නම් දරා ඇති උදාහරණයක් මෙසේ ය: සමෘද්ධි පනත, දිවි නැඟුම පනත යන දෙකේ ම එම ආයතනවල ගිණුම් විගණකාධිපතිගේ අධීක්‍ෂණයට යටත් නොවන බව අච්චු ගසා ඇත. මෙය විලිලජ්ජා නැති භාවිතයකි. මෙයින් දෙන පණිවුඩය “අපේ හොරකම් අල්ලන්න කාටවත් අවසර නෑ” යනු නොවේ ද? මේ ආයතන දෙකට අධිපතිව සිටියේ එස්.බී. දිසානායක, බැසිල් රාජපක්‍ෂ දෙදෙනාය. ජනතාවගේ පරමාධිපත්‍යය ඇති කිරීමට නම්, ස්වාධීන විගණකාධිපති කෙනකු යටතේ එම ආයතන පැවැතිය යුතු ය. අර දෙදෙනාගේ නම් සඳහන් වන විට ම ඔබ තුළ සෝපහාස සිනාවක් නොනඟී නම්, පුදුමයකි. ඒ සිනාවේ අර්ථය ‘රටේ එක නීතියක්, ඇමැතිවරුන්ට තව නීතියක් ය’ යනු නොවේ ද? රට බංකොළොත් විමට හේතු අමුතුවෙන් සෙවිය යුතු ද?
කේශාන්තයේ සිට පාදාන්තය දක්වා නීතිය අවනීතිය කිරීමට සැදීපැහැදී සිටින පාලකයන් සිටින රටක එක නීතියක් භාවිත වන ව්‍යවස්ථාවක් ඇති කළ හැකි ද? සෞඛ්‍ය නීති කාටත් පොදු විය යුතු බව පිළිගත යුතු ය. එහෙත්, පසුගිය කාලයේ නිරෝධායන නීති මර්දන නීතියක් ලෙස භාවිත විය. ගුරු වර්ජනය මැඬීමට අත්අඩංගුවට ගැනුණේ සැබෑවට ම කොරෝනා මැඬීමට ද? ඊ ළඟට සඳහිරු සෑය, කඨින පින්කම ආණ්ඩුවෙන් කරන විට ඒ නිරෝධායන නීති බලපෑවේ නැත. මේ එක නීතියක් ද? එක රටක්, එක නීතියක් හදන්නේ මෙසේ අවනීතිය භාවිත කරන අය විසින් ද? නීතිය මෙසේ භාවිත කරන විට ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය, ජන සම්මතය, ජනතා පරමාධිපත්‍යය නිකම් හිස් වචන නොවේ ද?

වහලුන් තැනීම සහ සූරාකෑම

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොනක, පහසුවෙන් තේරුම් ගත නොහැකි දිග වැකියකින් නොමඟ යැවෙන මාතෘකාවකින් යුතුව 157 ව්‍යවස්ථාව පනවාගෙන ඇත. එය 1978 ජේ. ආර්. ව්‍යවස්ථාවේ සිට ගෝඨාභය පාලනය දක්වා ක්‍රියාත්මකව පවතී. එහි මාතෘකාව “අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුති” යනු වේ. එවිට හැඟෙනේනේ එක්සත් ජාතීන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් හා සම්මුති වේ. එහෙත්, එය විදේශ රාජ්‍ය, සංස්ථා සහ සමාගම් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් ය. එය “ජාතික ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය වන්නක් බව” එහි ම සඳහන් වේ. එහෙත්, 2021 දක්වා ම අවුරුදු 43ක් තිස්සේ ඇති වූ ආර්ථික සංවර්ධනය කුමක් ද? 1978 ව්‍යවස්ථාව පනවද්දී, කොල්වින් ආර්. ද සිල්වා මහතා එම වගන්තිය දැඩි ලෙස විවේචනය කර ඇතත්, එය නොතකා නීතිය සම්මත කරගෙන ඇත. දැන් එම ව්‍යවස්ථාව කියවමු.

“157 – ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ යම් විදේශ රාජ්‍යයක ආණ්ඩුව අතර එම විදේශ රාජ්‍යයේ, එකී වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද නැතහොත්, සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සමාගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජනය වඩාලීම හෝ ආරක්‍ෂා කිරීම සඳහා ඇති කර ගත් යම් ගිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් බව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නො අඩු සංඛ්‍යාවක් විසින් ඡන්දය දී සම්මත කරනු ලබන යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ අවස්ථාවක ඒ ගිවිසුමට හෝ සම්මුතියට ශ්‍රී ලංකාවේ නීතියේ බලපෑම ඇති අතර, රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස හැර ඒ ගිවිසුමේ හෝ සම්මුතියේ විධිවිධාන කඩ කෙරෙන කිසි ම ලිඛිත නීතියක් පැනවීම හෝ සෑදීම ද, විධායක හෝ පරිපාලන ක්‍රියාවක් කිරීම ද නොකළ යුත්තේ ය.”

මේ නීතිය දැනුත් ක්‍රියාත්මක ය. ඒ අනුව විදේශ වත්කම් ආරක්‍ෂා කිරීම අපේ නීතියයි. වැඩ වර්ජනය කිරීම ද වැරැදි ය. එයින් සමාගම හෙවත් සූරාකෑම ආරක්‍ෂා කිරීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. රොෂේන් චානක, ප්‍රනාන්දු දෙදෙනා මරා දැමුණේ සහ රතුපස්වල ඝාතන සිදු වුණේ ඒ නීතිය අනුව ය. ඒ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් මිස වෙනස් කළ නොහැකි ය. ඊට පටහැනි නීතියක් පළාත් සභාවකටවත් පැනවිය නොහැකි ය. එවිට අප රටේ බලගැන්වුණේ විදේශ නීති නොවේ ද? මෙයින් එක රටක් හදන්නේ කෙසේ ද? එක රටකට, එක නීතියකට අවශ්‍ය නීතිවලට පටහැනිව ව්‍යවස්ථාවක් පනවාගෙන එම වාක්‍යය කීම මහා රැවටිල්ලක් නොවේ ද?

මෙවැනි ගිවිසුම් ඉන්දියාව, චීනය වැනි රටවලත් ඇත. එහෙත්, මේ තරම් ගැති වී නැත. කම්කරු නීති ආරක්‍ෂා කරන වෙන ම විනිශ්චය සභාවක් පවා නැතිව රිජුව ම ජනතාව වහල් බවට පත් කරන නීති වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇත.

– එස්.ජී.පුංචිහේවා

Leave A Reply

Your email address will not be published.

eighteen + one =