නීතිපතිගේ විරෝධතා ප්‍රතික්ෂේපයි – කැබිනට් තීරණයට එරෙහි පෙත්සම විභාගයට !

රජයේ රැකවරණය යටතේ සිටි අලි-ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික අයිතිකරුවන් වෙත නිදහස් කිරීමේ කැබිනට් මණ්ඩල තීරණයට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ, මේ පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද සියලු විරෝධතා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය. SC/FR/109/21 යටතේ මේ පෙත්සම ගොනුකර ඇත. පරිසර යුක්ති කේන්ද්‍රය, විතානගේ දොන් හේමන්ත සිසිර කුමාර, එදිරිසිංහ ආරච්චිගේ සංජය එදිරිසිංහ, පංචාලි මධුරංගි පනාපිටිය සහ වීරක්කොඩි අප්පුහාමිලාගේ මනෝජා ජයස්විනි වීරක්කොඩි මේ පෙත්සමේ පැමිණිලිකරුවන් වන අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරුන් සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පසුගිය 01දා පෙත්සම කැඳවූ අතර, ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත්කරන ලද සියලු විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සංශෝධිත පෙත්සම බාරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ අතර, මහජන අර්ථසාධක නඩුවලදී නීතිපතිවරයාගේ කාර්යය සහ අධිකරණයේ කාර්යභාරය ද, අධිකරණය විසින් සලකා බැලිය යුතු නිර්ණායක මොනවාද යන්න පිළිබඳව ද අධිකරණය මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකර තිබේ.
රජයේ අධීක්ෂණය සහ රැකවරණය යටතේ සිටි අලි-ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික අයිතිකරුවන් ලෙස පෙනීසිටින පාර්ශ්ව වෙත නිදහස් කිරීමට නීතිපතිවරයාට යෝජනා කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සහ වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති ආර්. එම්. සී. බී. රත්නායක විසින් පසුගිය මාර්තු 12දා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබිණි. එම සංදේශය මත පදනම්ව කැබිනට් මණ්ඩලය ගත් තීරණය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින්, අදාළ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අවලංගු කරන ලෙස ඉල්ලා මේ පෙත්සම ගොනු කර තිබේ.

– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

seven − one =