“වීරයා ඉල්ලා අස්වෙලා”

රාජිත ගුවන්විදුලියෙන් ඉල්ලා අස්වී ඇති බව කන වැකුණු සැනින් මා තුළ ඇති වූයේ වචනවලට පෙරැළීමට නොහැකි සංවේගයකි. එය සංවේගයක් ම දැයි කීමට නොතේරේ. අමුතු හිස් බවකි.
මා 2004 වසරේ ගුවන්විදුලියට සම්බන්ධ වන විට රාජිත එහි සිටියේය. මා ගුවන්විදුලියේ රැකියාව ආසාවෙන් තෝරා ගැනීමට හේතුව ද රාජිත ය. ඒ වන විට මම රාජිතගේ රසිකයෙකු වී සිටියෙමි.

පසුව අප ඉතා හොද මිතුරන් වූ අතර කොරිඩෝවේ දී හදිසියේ මුණ ගැසුණ ද අඩු ම තරමේ විනාඩි 20-30ක් වත් කතා කරන්න දේවල් තිබිණ. ඒවා එකක් වත් පෞද්ගලික දේවල් නොවු අතර සමාජ දේශපාලනික සංස්කෘතික දේ ය.
රාජිත වැනි මාධයකරුවෙක් ආයේ නිර්මාණය කර ගැනීම ලේසි නොවේ. රාජිත නැති වන්නේ ගුවන්විදුලියට පමණක් නොවේ. රටේ සමස්ත මාධ්‍ය පද්ධතියට ම ය. රාජිත තුළ තිබූ අවංකභාවය මෙරට මාධ්‍යකරුවෙකුගෙන් පැතිය නොහැකි තරම්ය.
අප දෙදෙනා ම නෙදර්ලන්තයේ මාධ්‍යකරණය සම්බන්ධයෙන් පුහුණුව ලැබීමු. එහි ගුරුවරුන් ආදි ශිෂ්‍යයන් ආදිය අදත් කතා කළොත් රාජිත යනු අනිවාර්යයෙන් සිහිපත් කරනු ලබන්නෙකි.

රාජිත යනු ඉහළ මට්ටමේ පුහුණු මාධ්‍යවේදියෙකි. ආචාර ධර්ම සුරකින මාධ්‍යවේදියෙකි. තමන්‍ කරන දේ කුමක්දැයි හරියට ම දන්නා මාධ්‍යවේදියෙකි.

අතිශය දේශපාලන ගොහොරුවක් බවට මෑත දශකවල දී පත් වූ ගුවන්විදුලියට පය තැබීම පවා අප්‍රිය කරන රටේ ඉන්නා ඉතා වැදගත් කලාකරුවන් විද්වතුන් සහ විචාරකයෝ රාජිත මෙහෙය වූ වැඩසටහන්වලට පැමිණියහ.
මා දන්නා තරමින් රාජිත සමුගන්නේ ගුවන්විදුලියෙන් පමණක් නොව සමස්ත විද්‍යුත් මාධ්‍ය පද්ධතියනේ ම ය. මෙවැනි පුහුණු ආචාර ධාර්මික මාධ්‍යවේදියෙක් ආයේ හදා ගන්නවා කියන්නේ ලේසි නැත. රටේ සමස්ත මාධ්‍ය පද්ධතියට ම වැදුණු හෙනසැරයක් ලෙස මෙය මට දැනෙයි.

– දර්ශන අශෝක කුමාර (fb)

එය රාජිතගේම වේදිකා නාට්‍යයක කොටසක් බඳුය

මීට වසර 22කට පෙර අප ආණ්ඩුවේ ගුවන්විදුලියෙන් ඉල්ලා අස්වන්නේ පාදඩ දේශපාලන කෙනිහිලිකම් නිසා ඇතිවූ දැඩි කලකිරීමෙනි. වසර 15ක් ඉතා ආසාවෙන් කල වෘත්තීය නිමා කරමිනි. අන්තේවාසික, දේශපාලනය සිය පැවැත්ම කරගත් පාලකයෙකු එතෙක් මා නිෂ්පාදනය කල සියළු වැඩසටහන් වලින් මා ඉවත්කර තිබුණේ මා සහභාගි නොවූ වැඩසටහන් සැලසුම් රැස්වීමකදී ය. එයට හේතුවූයේ ආයතනය තුල අප දේශපාලනය නොකිරීමයි. කුණු දේශපාලනයට අවනත නොවී ග්‍රාහකයාට අවනත වීමය. අපගේ වැඩසටහන් ග්‍රාහක හිතකාමීව නිෂ්පාදනය කිරීම සඳහා අප වෙහෙස වූ ආකාරය මගේ සමකාලීන මිතුරන් දනී. මෙයින් ඇතිවූ කලකිරීම ගුවන්විදුලියෙන් ඉල්ලා අස්වීම සඳහා මා පොළඹවා ලීය. මේ පිළිබඳ මගේ “මීඩියා මතක” කෘතියේ සටහන් කිහිපයක් තිබේ. අවැසි කෙනෙකුට කියවා බැලිය හැකිය.

මෙය යළි මතකයට ආවේ මිත්‍ර රාජිත දිසානායක සහෝදරයා ඊයේ ගුවන්විදුලියෙන් ඉල්ලා අස්වූ පුවත ඇස ගැටීමෙනි. රාජිත යනු ලාංකික කලාව තුල වෙනස් භාවිතයක් සහිත සහෝදරයෙක් බව අවිවාදිතය. ඔහුගේ ගුවන්විදුලි භාවිතාව ගැන මට ලොකු වැටහීමක් නැත්තේ ඔහු ගුවන්විදුලියට එන විට අප ගුවන්විදුලියෙන් ඉවත්ව ගොස් සිටි නිසාත්, ආණ්ඩුවේ ගුවන්විදුලි රසිකත්වයෙන් වියෝවී සිටි නිසාත් ය.

කෙසේ වෙතත් අප ගුවන්විදුලියෙන් අස්වූ 1999 කාලයේ සමාජ මාධ්‍ය නොතිබූ බැවින් ඒ පිළිබඳව කතා කරන්නට එකල කිසිදු සන්නිවේදන වේදිකාවක් නොතිබූ අතර රාජිතගේ ඉවත්වීම වෙනුවෙන් මෙන් අඬන්නට දොඩන්නට මිතුරන්ද නොමැතිවිය. සිටිය මිතුරන්ද “දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන” හිටියා මිස ඒවාට විරුද්ධව නැගීමට අවශ්‍ය කොන්ද කඩා දාගෙන සුවච කීකරුන් බවට පත්වූවා පමණි.

කෙසේ වෙතත් දශක දෙකකට ඉහත අපට ගුවන්විදුලිය එපා කල කාරණයම අදටත් ගුවන්විදුලිය තුල ක්‍රියාත්මකවීමේ හාස්‍යජනක බව රාජිත ගේ ඉවත්වීමෙන් යළි ජනිතවීමම හාස්‍යෝත්පාදකය. එය යළි යළිත් සිදුවීම විගඩම්සහගතය. දේශපාලනිකය. පුද්ගලයින් නොව වෙනස් විය යුත්තේ ක්‍රමය බව අප විශ්වාස කරන්නේ එබැවිනි.
අපට ඉවත්ව යන්නට ඉඩ සදන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලන රෙජීමය තුලය. එහි වාටියේ උන්ගේ කාලකන්නි හිරිහැර මැදය. රාජිත ඉවත්ව යන්නේ රාජපක්ෂ රෙජීමය තුලය. ඒ මේ දේශපාලනයේ අන්තේවාසික ගෙවලයන්ගේ හිරිහැර නිසා විය යුතුය. එයද අතිශය හාස්‍යෝත්පාදකය. එය රාජිතගේම වේදිකා නාට්‍යයක කොටසක් බඳුය.

– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

three × five =