“මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැකගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි”

‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැකගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’ අගමැති මහින්ද රාජපක්ෂ අද( 02)අරලියගහ මන්දිරයේදී මෙසේ පැවසුවේ ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන ‘ඇසිදිසි රක්ෂණාවරණය’ ප්‍රදානය කිරීමේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ය.

“මාධ්‍යට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩ නැගෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.”

“අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්.”

ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු හා අසීරු තීන්දු ගැනීමට සිදුවන යුගයකට වත්මන් ආණ්ඩුව එළඹ ඇති බවත්, එම තීරණ ගැනීමට සිදුවන්නේ දේශපාලන අනාගතය උකස් කරමින් බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී පැවසීය.

එසේ වුවත් රට හා රටේ අනාගතය වෙනුවෙන් ඒ අමාරු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

one × 4 =