ඉරිතැළුණ පොළොව මත මල් පිපෙන ලකුණු ඇත…

මෑතක දී එක් පුද්ගලයෙක් යම් රැස්වීමක දී කිව්වා, ලෝකය පුරාම ජාතිකවාදී මෙන්ම සුළු ජාතීන්, කාන්තාවන් සහ සමරිසි ප්‍රජාවගේ අයිතීන් නොසලකා හරින රාජ්‍ය නායකයන් බිහි වීමේ ප්‍රවණතාවක් තිබුණත්, ඔවුන්ට විරුද්ධව හඬ නඟන සමාජ සහ පාරිසරික සාධාරණත්වය ගැන හඬ නඟන තරුණයන් පිරිසක් සිටීම මහ පොළොවට ආලෝකයක් සහ බලාපොරොත්තුවක් ගෙනෙන බව. ඒ මොහොතේ ඒ අවස්ථාවට සහභාගී වූ බහුතරය අවුරුදු 35ට අඩු අය නිසාත්, මේ යහපත් වෙනසක් වෙනුවෙන් කාරුණිකව ඉදිරිපත් වෙන බහුතරයක් පිරිස ලොව පුරා එම වයස් කාණ්ඩයේ අය නිසාත්, ඔහු එම කණ්ඩායමට සව්දිය පිරුවා.

ඒ සිද්ධිය සමඟ මම කල්පනා කළා මට ලෝකය පුරා මුණගැසුණ බොහෝ තරුණයන් අතර සමානකමක් ඇති බව. අපේ අසල්වැසි ඉන්දියාවේ දෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි අගමැති බවට පත් වුණා. එහෙත්, මට මුණගැහුණ බහුතරයක් ඉන්දියානු තරුණයන් මෝදි සහ බී.ජේ.පී.(BJP) පක්ෂයේ ජාතිවාදී පාලනයට එකඟ නෑ. එක්තරා තරුණ ඉන්දියානු පර්යේෂිකාවක් ප්‍රකාශ කළා නරේන්ද්‍ර මෝදි කියන්නෙ ඉන්දියානු සමාජයේ පෙරහණයක් වගේ කියලා. ඔහුට කැමති පිරිස සහ අකමැති පිරිස අතර සමාජ සංස්කෘතික සන්දර්භයන් පිළිබඳ මූලික චින්තනමය සහ ආකල්පමය වෙනස්කම් තිබෙන බව.

මට මුණගැසුණ ඇමෙරිකානු තරුණ පිරිස හැමෝම වගේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනයට විරුද්ධයි. ඔහුගේ සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රතිපත්ති, ඉස්ලාම් විරෝධී අදහස් සහ ධනපති පන්තිය හුරතල් කරන සාමාන්‍ය ජනතාවගේ අයිතීන් කප්පාදු කරන නව ලිබරල් අදහස්වලට විරුද්ධයි. බර්නි සැන්ඩර්ස්, එලිසබෙත් වොරන් වැනි පරිසරය සහ දේශගුණික විපර්යාසයන්ට සංවේදී, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී අදහස් දරන, සමාජ සුභසාධනය, සුළුතර සහ ආන්තික ප්‍රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නායකයන්ට කැමැති තරුණ පිරිස් බොහෝ සෙයින් අධ්‍යාපන ආයතනවල දකින්නට ලැබුණා. මේ සමහරක් ශිෂ්‍යයන් සිය වැඩිහිටි පරම්පරාව විසින් ගෝලීය පරිසරයට, සාමයට සහ සමාජ ආර්ථික වටාපිටාවට කළ විනාශය පිළිබඳ කලකිරීමකින් වගේම ආවේගයකින් සිටියා. තමන්ගේම පවුලේ අයට මේ යථාර්ථය අවබෝධ කර දීමට නොහැකි වීම පිළිබඳ පසුතැවිලි වුණා.

මට මුණගැසුණු මැලේ ජාතිකයන් මැලේ ඩිලේමා ලියූ, මැලේසියාව ‘දියුණු රටක්’ කළ මහතීර් මොහොමඞ්ගේ ජාතිවාදී පිවිසුමට විරුද්ධයි. මැලේ ජාතිකයන් භූමි පුත්‍රයන් ලෙස හඳුනාගෙන ඔවුන්ට වාසි සැකසෙන අන්දමට ආර්ථික, ඉඩම්, අධ්‍යාපන, භාෂා සහ අනෙකුත් වැදගත් ප්‍රතිපත්ති සකස් කරමින් සුළු ජාතීන් පීඩාවට පත් වෙන ලෙස සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගිය මහතීර් මොහොමඞ් නැවත මැලේසියාවේ බලයට පත් වුණා. කාන්තාවන් සම්බන්ධයෙන් පවා පසුගාමී සමාජ සැකැස්මක් මැලේසියාවේ ගොඩනැඟීමක් සිද්ධ වුණා. එහෙත්, ඔහුගේ දියණිය වන මරීනා මහතීර් පවා ඔහුගේ සමහර අසමතුලිත සහ අසාධාරණ ප්‍රතිපත්තිවලට විරුද්ධ කණ්ඩායම් සමඟ එක්ව සමාජ සාධාරණය සහ කාන්තා විමුක්තිය වෙනුවෙන් කටයුතු කරනවා.

සිංගප්පූරුවේ දියුණුව ගැන බාහිර පාර්ශ්ව උදම් ඇනුවත්, මට මුණගැසී ඇති එහි උපත ලද බොහෝ තරුණයන් ප්‍රකාශ කර තිබෙන්නේ සිංගප්පූරුව ගොඩනැඟීමේ ක්‍රියාවලියේ වූ අත්තනෝමතික, නිර්දය සහ බහිෂ්කරණ ස්වභාවයට ඔවුන් අකැමැති බවයි. සංවර්ධනය යනු අවසන් ප්‍රතිඵලයකට එහා ගිය මාවතක් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බවත් ලොව පුරා අදහස් පහළ වෙමින් තිබෙනවා. සිංගප්පූරු ජීවිතයේ ඇති ඒකාකාරී සහ යාන්ත්‍රික බව පිළිබඳ මට හමු වූ බොහෝ තරුණ පිරිස් කලකිරීමෙන් අදහස් දක්වා තිබෙනවා.

අදහස් ප්‍රකාශ කිරීමට සහ තීරණ ගැනීමට ඇති නිදහස හීන වීම ගැන විරෝධය පාන මට මුණගැසී ඇති චීන ජාතික තරුණ පිරිස් හොංකොංහි විරෝධතාවන්වලට සහාය දක්වනවා. එක් චීන ජාතික මිතුරෙක් පැවසුවේ, රටක සංවර්ධනය යනු සියලු‍ දෙනාගේ ජීවන තත්ත්වය උසස් වීම මිසක භෞතික ගොඩනැඟිලි ඉදි කිරීම් නොවන බව ඔහු අවබෝධ කර ගත්තේ චීනයෙන් පිටතට පැමිණි පසු බවයි. හුස්ම ටික දූෂණය කළ නගරයක ඇත්තේ, මොන දියුණුවක් දැයි ප්‍රශ්න කරන ඔහු ප්‍රකාශ කළේ ගොඩනැඟිලි කොතරම් තිබුණ ද, ආබාධ සහිත අයට පවා පහසුවෙන් ඒවාට ළඟා විය නොහැකි නම්, ආබාධ නැති අයට පවා නගරයකට ළඟා වීම අපහසු නම්, එය සංවර්ධනයක් නොවන බවයි. එක චීන ජාතික මිතුරියක පැවසුවේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස් ගණනක් සිටීම රටේ නායකයා තෝරා ගැනීමට අයිතියක් නැති රටක ජීවත් වෙනවාට සාපේක්ෂව යහපත් බවයි.

එක්සත් රාජධානියේ මා දන්නා බොහෝ තරුණ පිරිස් බොරිස් ජොන්සන්ට නොව වාමාංශික අදහස් දරන ජෙරමි කෝබීන්ට සහාය දක්වති. තාක්ෂණය සහ තොරතුරුවලට පහසුවෙන් ළඟා විය හැකි නිසා දෝ මට එදිනෙදා මුණගැහෙන තරුණ උගත් බොහෝ පිරිස් බොරිස් ජොන්සන් සම්බන්ධයෙන් ඇති ස්ත්‍රී හිංසන චෝදනා ගැන සවිඥානික බව පෙනෙන්නට තිබේ.

මට මුණගැසෙන බොහෝ බ්‍රසීල තරුණ පිරිස් බොල්සනාරෝට විරුද්ධ වෙති. ඇමසෝන් වනාන්තරයෙහි ගින්න ඇති වූ අවස්ථාවේ ඔහු ක්‍රියා කළ ආකාරය හෙළා දකිති. ඒ කෙසේ වෙතත්, ඔවුහු ඇමෙරිකාව විසින් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලනයට කරන ඇඟිලි ගැසීම ද නූතන යටත්විජිතකරණයක් ලෙස සලකා හෙළා දකිති. මෑතක දී මුණගැසුණු ස්පාඤ්ඤ ජාතික මිතුරියක් කීවේ ඇය සිය පවුල සමඟ ස්පාඤ්ඤයේ සහ කැටලෝනියාවේ ජීවත් වන නිසා කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වීම ගැන අතීතකාමී සහ හැඟු‍ම්බර දෙගිඩියාවක සිටියත්, කැටලෝනියාවට තමන්ගේ නිදහස පිළිබඳ ස්වයංනිර්ණය අයිතිය ලබා නොදීම පිළිබඳ ස්පාඤ්ඤ රජයට දැඩි ලෙස විරුද්ධ බවයි. ඇයගේ අදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ සංකේතයකි. සිය පෞද්ගලික අදහස කුමක් වුවත් පොදු තත්ත්වයක් සම්බන්ධයෙන් ඊට සම්බන්ධ ප්‍රජාවගේ තීරණයට ගරු කිරීම අප ඉගෙන ගත යුතු දෙයකැයි මට සිතේ.

ලෝකයම ජාතිකවාදී, ඒකාධිපති නව ලිබරල් නායකත්වයන්ට නතුවෙමින් තියෙන කාලයක මෙවන් තරුණ පිරිස්ම මට මුණගැසීම අහම්බයක් දැයි මම නොදනිමි. පරිසරය ගැන, දේශගුණික විපර්යාස ගැන සංවේදී, සුළුතර පිරිස්වල අයිතීන් වෙනුවෙන් හඬ නඟන, කරුණාව, දයාව පෙරදැරි කර ගත්, ප්‍රධාන ධාරාවේ දේශපාලනයට විරුද්ධ වාමාංශික අදහස් දරන, තාක්ෂණය සහ දැනුම අතින් පොහොසත්, සංවර්ධනය යනු භෞතික පහසුකම්වල වර්ධනය පමණක් නොවේ යැයි, සාර්ථකත්වය යනු ධනය පමණක් නොවේ යැයි සිතන, සාමය අගයන, සාම්ප්‍රදායික ජීවන රටාව යනු ජීවත් විය හැකි එක විදියක් පමණක් යැයි විශ්වාස කරන තරුණ පිරිසකුත් ලොව පුරා සිටින බව පමණක් මට විශ්වාස ය.

මේ ඇත්තටම ගෙවෙන්නේ ලෝකයේ මෙතෙක් පැවැති හොඳම, සාධාරණම කාලයයි. “අපේ කාලේ නම් මේ වගේ නරක නෑ” කියා කියන්නට කිසිම වැඩිහිටි පරම්පරාවකට අයිති නැති කාලයකි.

පෘථිවිය බිහි වුණු දා පටන් මීට වසර මිලියන ගණනකට කලින් පැවැති අධිකතම උෂ්ණ කාලයේ පෘථිවියෙන් නිකුත් කළ කාබන් ඩයොක්සයිඞ් ප්‍රමාණය මෙන් හතර ගුණයක් අද අප නිකුත් කරන බව සැබෑ ය. ආයුධ විකිණීමට යුද්ධ නිර්මාණය කර අහිංසක දරුවන් දාස් ගාණක් මරා දැමෙන බව මම නොදන්නවා නොවේ. ගිවිසුම්, ණය, සහ සම්මුති වැනි දේ හරහා ‘බලවත්’ රටවල් අනෙකුත් රටවල් සූරාකමින් සිටින බව ද අමතක නොකළ යුතු ය. ඖෂධ සමාගම් බෙහෙත් විකුණන්නට ලෙඩ නිර්මාණය කරන බව ද, කෘෂිකර්මාන්තය අපට වස විස කවන පොවන බව ද සැබෑ ය. මහ මුහුදට දිනකට ටොන් ගණනක් ප්ලාස්ටික් එකතු වන බවද, තවත් වසර දාස් ගාණකට ඒවා මහ පොළොවට බරක් වන බව ද පැහැදිලි ය, දිළිඳු රටවල කුසගින්නේ මියෙන දරුවන් ද, පොහොසත් රටවල සීතලේ මහපාරේ නිඳන දරුවන් ද ලෝකයට අවමානයකි.

කෙසේ වෙතත්, ඉතිහාසයේ හැම දාම කාරුණික මිනිසුන්, පවත්නා ක්‍රමය වෙනස් කළ මිනිසුන් හිඳ ඇත. මේ එවන් මිනිසුන් ජීවත් වෙන යුගයකි. ලංකාවේ ද එවන් මිනිසුන්, තරුණයන් දැකීම හිතට සහනයකි. එහෙත්, නව ලිබරල් ක්‍රමයේ ගොදුරු වූ සමාජ, පාරිසරික සහ දේශපාලන වශයෙන් සංවේදී නොවන, හණමිටි අදහස් කර පින්නා ගත් තරුණ පිරිස් දැකීම ලෝකයේ විනාශකාරී ස්වභාවය පිළිබඳ ඇති භීතිය වැඩිකරවනසුලු‍ය.

කෞෂල්‍යා හේරත්

Leave A Reply

Your email address will not be published.

14 + 5 =