Red Bull Outriggd තරගාවලිය නැවතත්

රෙඩ් බුල් (Red Bull) වසර දෙකක තාවකාලික විරාමයකින් අනතුරුව නැවතත් Red Bull Outriggd ඔරු පැදීමේ තරගාවලිය පැවැත්වීමට පසුගිය දා කටයුතු කළේ ය. 2021 නොවැම්බර් 06 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේ දී මෙම තරගාවලිය පැවැත්වුණු අතර, එම වෙරළ තීරයේ පැවැති ප්‍රථම ජල ක්‍රීඩා ඉසව්ව මෙය වීම විශේෂත්වයකි.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ දී ප්‍රථම වරට පවත්වන ලද මෙම 2021 Red Bull Outriggd තරගාවලියට ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, එම ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා සංගම්වල සාමාජික සාමාජිකාවෝ සහ වෘත්තීය ධීවරයෝ මෙන්ම, ඔරු පැදීම පිළිබඳව උනන්දුවක් දක්වන්නෝ සහ ත්‍රාසජනක අත්දැකීම් සොයන්නෝ ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු තරගකරුවන් හා තරගකාරියන් 70කට අධික පිරිසක් එක් වූහ. තරගාවලිය නැරඹීම සඳහා ද විශාල පිරිසක් කොළඹ වරාය නගරය වෙත ඇදී ආහ.

තරගකරුවන්ගේ දක්ෂතා මැනැවින් උරගා බලන බාධක ඇතුළත් වූ මෙම තරග ඉසව්, තරගකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද සුවිශේෂී අත්දැකීමක් විය.

කාන්තා, පිරිමි සහ මිශ්‍ර ඉසව් යටතේ Red Bull Outriggd තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා ගන්නා ලදී. කාන්තා අවසන් තරගයේ ජය කැලණියේ පී.එල්. තරුෂි දෙව්මිණි කුරේ සහ එස්.කේ. නිමේෂිකා පෙරේරා (3 වන කණ්ඩායම) වෙත හිමි වූ අතර, පිරිමි අවසන් තරගයේ ජය බළලු වැව මොහොමඩ් ජලීල් මොහොමඩ් සහ එම්. අජීෂ් ඛාන් (25 වන කණ්ඩායම) වෙත හිමි විය. මිශ්‍ර අවසන් තරගයේ ජය හිමි කර ගත්තේ, ඩබ්ලිව්.පී.එස්. ප්‍රියදර්ශනී සහ පී.එල්. තරුෂි දෙව්මිණි කුරේ ඇතුළත් වූ කැලණිය 9 කණ්ඩායමයි.

Red Bull Outriggd ඔරු පැදීමේ තරගාවලිය ප්‍රථම වරට 2019 වර්ෂයේ දියවන්නා ඔයේ දී පවත්වන ලදී. COVID-19  හේතුවෙන් මෙම තරගාවලිය 2020 වසරේ දී නොපැවැත්විණි●

Leave A Reply

Your email address will not be published.

17 − twelve =