යක්කු පෙන්වනදේශපාලනයේ යහපාලන කොක්කු

බලයට පැමිණ මාසයක් ගත වන්නටත් පෙර, 2015 පෙබරවාරි මස සිදු වූ මෙම බැඳුම්කර වංචාව නිසා භාණ්ඩාගාර බැඳුම්කරවල සහ බිල්පත්වල පොලී අනුපාතය විශාල වශයෙන් වැඩි විය. මෙලෙස පොලී අනුපාත වැඩිවීම නිසා රජයට දේශීය මූලාශ්‍රවලින් ගනු ලැබූ ණය ආපසු ගෙවීමේ පොලිය ලෙස රුපියල් බිලියන 509.7 ක් ගෙවීමට සිදු වූ අතර 2016 දී රුපියල් බිලියන 610.9 ක් ගෙවීමට සිදුවිය. රජය විසින් ණය ආපසු ගෙවීමේ පොලිය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2014 දී සියයට 4.2 ක් විය. එය 2015 දී සියයට 4.7 ක් ලෙසත් 2016 දී සියයට 5.2 ක් ලෙසත් වැඩි වූයේ මෙම බැඳුම්කර වංචාවේ ප්‍රතිඵලයක් ලෙසය.

මෙම වංචාව කිසිවෙක් නොදැන සිදු වූවක් නොවන බවත් එය රනිල් වික්‍රමසිංහත් රවී කරුණානායක ඇතුළු තවත් එම ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකුත් සම්බන්ධ බව මේ වන විටත් සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.

මේ රටේ ජනතාව දෙදහස් පහළොවේ ජනවාරි 08 වෙනිදා එතෙක් පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළවා හැර අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගත්තේ පවුල් පාලනයත්, රටම වෙලාගෙන තිබුණු රාජ්‍ය භීෂණයත්, ඉහළ සිට පහළටම ඔඩු දුවා තිබුණු හොරකමත් නතර කරවා ගැනීමටය. එදා නව ජනාධිපති ලෙසින් මෛත්‍රීපාල සිරිසේන දිව්රුම් දුන් වහාම ආණ්ඩුවද වෙනස් කර පාර්ලිමේන්තුවේ සුළුතරයක්ව සිටි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව ලබා දී රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් ද පත් කළේය. ඉන් පසුව ජනතාව බලා සිටියේ එතැන් පටන් හොරු අල්ලනු ඇත කියාය. මුල් දින කිහිපය තුළ එය එසේ සිදු වෙතැයි සිතෙන සංදර්ශන එකින් එක ආරම්භ වන්නට ද විය.

ආපු ගමන් දාපු නඩු

ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පැමිණ ආරම්භ කළ විමර්ශන අතුරින් අලි ඇල්ලීම මහත් උත්කර්ෂයක් බවට පත් විය. උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සිට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දක්වා බොහෝ දෙනෙකුට නඩු පැවරිණි. අලි රොෂාන් රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. ඔවුන් සන්තකයේ සිටි ‘නීති විරෝධී අලි’ ඇත් අතුරු සෙවන ඇතුළු ස්ථාන වල ගාල් කෙරිණි. එහෙත් ටික දිනක් යන විට අලි සෙල්ලම ටිකෙන් ටික දියාරු වී ගියේය. එහෙත් එය එතරම් අවධානයට ලක් නොවූයේ පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලවතුන් එකිනෙකාට නඩු වැටෙමින් රක්ෂිත බන්ධනාගාරගත වන්නට වූ නිසාය. මල්වානේ නිවස ගැන බැසිල් රාජපක්ෂටත්, පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික සමාගමකට අනුමැතිය ලබා දීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම, රාජපක්ෂ කෞතුකාගාරය

ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂටත්, සී.එස්.එන්. නාළිකාව හරහා මුදල් විශුද්ධිකරණය කළ බවට යෝෂිත රාජපක්ෂටත් නඩු පැවරිණි. අයුතු ලෙස රුපියල් මිලියන 45ක් උපයා ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු චූදියන් හය දෙනෙකුට එරෙහිව ද නඩුවක් වැටුණි. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 600ක් අවභාවිතා කරමින් ජනාධිපතිවරණය වෙනුවෙන් සිල් රෙදි බෙදීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ජනාධිපති ලේකම් වශයෙන් කටයුතු කළ ලලිත් වීරතුංගට සහ එවකට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිටට තවත් නඩුවකි. පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු වූ විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ද විවිධ නඩු වල චූදිතයෝ බවට පත් වූහ. උදය ගම්මන්පිලට වැටුණේ මේ කාටත් නොදෙවනි නඩුවකි. ඒ ඕස්ටේ්‍රලියානු ජාතින බ්‍රයන් ෂෙඩික් නම් අයෙකුට අයත් වත්කම් අයථා ලෙස තමන් සන්තක කර ගත් බවට වන චෝදනාවක් යටතේය.

පරීක්ෂණ සහ විමර්ශන

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ ඔවුන්ගේ ගෝලබාලයන් විසින් එතෙක් කරන ලද වංචා දූෂණ සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් සාක්ෂි සහ තොරතුරු සහිත ලිපිගොනු 130ක් ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු අංශ වෙත භාර දෙනු ලැබීය. සිදු කර ඇතැයි කියන මූල්‍ය අපරාධයන් සෙවීම සඳහා ‘විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශය’ යනුවෙන් වෙනමම පොලිස් කොට්ඨාශයක් ද ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින්ද, අපරාධ විමර්ශන අංශය සහ විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කොට නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබීය. ඉහත කී බොහොමයක් නඩු පැවරෙන්නේ ඉන් අනතුරුවය.

ඊට අමතරව දූෂිත මිග් යානා ගනුදෙනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම, තාජුඩීන් ඝාතනය, සිරිලිය ගිණුම හරහා සිදු කළ වංචා ඇතුළු චෝදනා රැසක් ද ඔවුන් වෙත එල්ල වී තිබුණි.

ඈලියාවට ගිය පැමිණිලි

මෛත්‍රී – රනිල් ආණ්ඩුව බලයට පැමිණ මුල් දිනවල නඩු වල චූදිතයන් අත්අඩංගුවට ගැනීමත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත

කිරීමත් දිනපතා පුවත් මවන්නට වූවද ටිකෙන් ටික ඒ නඩු දියාරු වන්නට පටන් ගත්තේ විවිධ වූ හේතු නිසාය. ඒවාට හේතු වූ බොහොමයක් කාරණා එම නඩු වල තිබූ තාක්ෂණික අඩුපාඩුය. ඇතැම් නඩු දිනෙන් දින කල් යන්නට පටන් ගත්තේය.

හොරු පෙන්වා හොරු රජවීම

බලයට එන විට කී දින සීයෙන් හොරු අල්ලන කතාව පුස්සක් බවට පත් විය. අවුරුදු ගණන් ගියද එකදු හොරෙකු හෝ අල්ලා ගත්තේ නැත. අල්ලනවා වගේ පෙන්වා හොරුන් සමග ඩීල් ගැසුවේය. නඩු අවුල් කළේය. එසේත් නැතිනම් කලින් සිටම සැලසුම් කර තාක්ෂණික අඩුපාඩු සහිතව පැමිණිලි ගොනුකළා විය හැකිය. ඒවා දන්නේ ඊට ඩීල් දැමූවන් පමණි.

ඒ අතර හොරු අල්ලන බව පෙන්වමින් ඊනියා යහපාලන ආණ්ඩුවේ බලවතුන් කරන්නට පටන් ගත්තේ ද රාජපක්ෂ ආණ්ඩුව නතර කළ තැන සිට හොරකම් කරන්නටය.

බැඳුම්කර වංචාව

යහපාලනය ඇති කරන්නේ යයි කියමින් බලයට පැමිණි ආණ්ඩුව නමෝ විත්තියෙන් කළ හොරකම එසේ මෙසේ එකක් නොවූ අතර එමගින් රජයට අහිමි වූ මුදල රුපියල් බිලියන 12කි. මහබැංකු බැඳුම්කර හරහා සිදුකරනු ලැබූ මෙම වංචාවට රනිල් වික්‍රමසිංහගේ ආනුභාවයෙන් පත්වීම් ලැබූ එවකට මහබැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා සෘජුව සම්බන්ධ බව කෝප් කමිටුව මගින් අනාවරණය කරනු ලැබීය.

බලයට පැමිණ මාසයක් ගත වන්නටත් පෙර, 2015 පෙබරවාරි මස සිදු වූ මෙම බැඳුම්කර වංචාව නිසා භාණ්ඩාගාර බැඳුම්කරවල සහ බිල්පත්වල පොලී අනුපාතය විශාල වශයෙන් වැඩි විය. 2015 පෙබරවාරි මස භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ පොලී අනුපාතය සියයට 5.74 ක් වූ අතර, බැඳුම්කර සඳහා වූ අවම පොලී අනුපාතය 6.7 ක් විය. එහෙත් වසර අවසාන වන විට භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය 10.72 දක්වාත් භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී අනුපාත 14.23 දක්වාත් සීඝ්‍රයෙන් වැඩි විය. 2016 සහ 2017 වර්ෂවලදී ද මෙම තත්ත්වය නොවෙනස්ව පැවතිණ. මෙලෙස පොලී අනුපාත වැඩිවීම නිසා රජයට දේශීය මූලාශ්‍රවලින් ගනු ලැබූ ණය ආපසු ගෙවීමේ පොලිය ලෙස රුපියල් බිලියන 509.7 ක් ගෙවීමට සිදු වූ අතර 2016 දී රුපියල් බිලියන 610.9 ක් ගෙවීමට සිදුවිය. ඒ අනුව 2015 ට සාපේක්ෂව 2016 දී දේශීය ණය සඳහා රජය පොලිය ලෙස වැඩිපුර රුපියල් බිලියන 101.2 ක් ගෙවා ඇත. රජය විසින් ණය ආපසු ගෙවීමේ පොලිය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2014 දී සියයට 4.2 ක් විය. එය 2015 දී සියයට 4.7 ක් ලෙසත් 2016 දී සියයට 5.2 ක් ලෙසත් වැඩි වූයේ මෙම බැඳුම්කර වංචාවේ ප්‍රතිඵලයක් ලෙසය.

මෙම වංචාව කිසිවෙක් නොදැන සිදු වූවක් නොවන බවත් එය රනිල් වික්‍රමසිංහත් රවී කරුණානායක ඇතුළු තවත් එම ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකුත් සම්බන්ධ බව මේ වන විටත් සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.

රවීගේ වංචා

මහබැංකු බැඳුම්කර වංචාවට පමණක් නොව තවත් දූෂිත ගනුදෙනු රැසකට එවකට මුදල් අමාත්‍යව සිටි රවී කරුණානායක සමබන්ධ වී ඇති බවට චෝදනා එල්ල වෙයි.

1.   මූල්‍යමය වශයෙන් අඩු තක්සේරුවකින් ලංකාවට ආනයනය කරන ලද ඡර්ාද රථ 800ක් හා ඊැබ‘ රථ 900ක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විසින් රාජසන්තක කිරීමට නියෝග කර තිබියදී හා එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 80ක දඩයක් නියම කර තිබියදීත් රවී කරුණානායක විසින් තම යහපාලන බලය පෙන්වා එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 16ක් වැනි මුදලක් දඩ ලෙස ගෙවා වංචනික ලෙස මෙම රථ 1700ම රේගු භාරයෙන් නිදහස් කරගෙන ඇත. මෙම නිසා රජයට වී ඇති පාඩුව රුපියල් බිලියන 10 ඉක්මවයි. මෙම රුපියල් බිලියන 10න් විශාල මුදලක් රවී කරුණානායක විසින් තම සාක්කුවට දමාගෙන ඇති බව අන්ධයකුට පවා පෙනෙන කරුණකි.

2.    රවී කරුණානායක විසින් තම දියණියට අයත් සමාගමක් වන ‘ඨකදඉ්ක ඡ්රන’ නම් සමාගම යොදවාගෙන තිබේ. මෙහිදී රවී විසින් සිදුකර ඇත්තේ ඉතාම අධික මිල ගණනකින් යුත් රජයේ ගුදමක් කිසිදු ඇපකරයකින් තොරව මුදල් අමාත්‍යාංශය හරහා තම දියණියගේ සමාගමට ලබා දීමයි.

3.    සිරිල් රොද්‍රිගු නමැති රවී කරුණානායකගේ මිතුරකු ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන සිංගප්පූරුවේ ඇති සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස රවී කරුණානායක කටයුතු කරන අතර සිරිල් රොද්‍රිගු ලංකාවට පැමිණ මුදල් අමාත්‍යාංශයේ වැඩකටයුතු වලට සම්බන්ධ කරගෙන ඇත. එම කාලය තුළ ඔහු සඳහා සියලුම වියදම් මුදල් අමාත්‍යාංශය මගින් කර ඇත.

උපදේශකයෝ හැට දෙකක්

මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයෝ හැට දෙකකි. එක් උපදේශකයෙකුට මාසයකට රුපියල් ලක්ෂයක්, වාහනයක් සහ ඉන්ධන ඇතුළු අනෙකුත් දීමනා ලබා දී තිබුණි. ඒ අනුව උපදේශකයන්ට වැටුප් සඳහා පමණක් රුපියල් ලක්ෂ හැට දෙකක් නැතහොත් රුපියල් මිලියන හයක මුදලක් රාජ්‍ය මුදල් වලින් වැය කිරීමටත්, ඒ සඳහා රජයේ වාහන සහ අනෙකුත් වියදම් සිදු කිරීමටත් කිරිඇල්ල ඇමතිවරයා කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ද කර තිබුණි.

අධිවේගී ගැහිලි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා වූ දිගුවෙන් ද කිරිඇල්ලට හොඳ කුට්ටියක් ලැබුණේය. උපදේශනයේ සිට රක්ෂණය දක්වාත්, ව්‍යාපෘතියෙන් සැලසුම් වෙනස් කිරීමේ සිට ගුණාත්මක භාවය පහත දැමීම දක්වාත් මේ වෙනුවෙන් සැලසුම් වල තිබුණු සියලු දේ වෙනස් කළේ කිරිඇල්ලගේ පමණක් නොව ඔහුගේ දියණියගේ ද අනුදැනුම හා මැදිහත්වීම අනුවය. මේ නිසා අධි සුඛෝපභෝගී බෙන්ස් රථවල සිට මිලියන ගණනින් කොමිස් මුදල් කිරිඇල්ලගේ සාක්කුවට වැටුණි. එතෙකිනුදු නොනැවතුණු කිරිඇල්ල ඇමතිවරයා මධ්‍යම අධිවේගයෙන් ද ගසා කෑවේය.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ පවා වෙනස් කරමින් ජපන් ටයිසේ කෝපරේෂන් සමාගමට මහනුවර අධිවේගී මාර්ගයේ තුන් වැනි අදියර සඳහා ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ කිලෝමීටර් 32.5ක සමස්ත දුර ප්‍රමාණයේම ඉදි කිරීම් කටයුතු ආවරණය කිරීම සඳහාය. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර් සූරියආරච්චි විසින් ජපන් තානාපති කාර්යාලයට යොමු කරන ලද විශේෂ ලිපියක් හරහා මෙම අනුමැතිය ලැබෙන අතර ටයිසේ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30%ක වැඩි වීමකි. ඒ අනුව වංචා කළ මුදල රුපියල් බිලියන හතළිස් අටක් පමණ වේ.

හරක් හොරු

පී. හැරිසන් ඇමතිවරයා කිරි ගොවීන්ට කිරි ගවයන් බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව කිරි ගවයන් 2000ක් පිට රටින් මෙරටට ආනයනය කරනු ලැබීය. එසේ ගෙන්වූ ගවයන්ගෙන් 400ක්ම ලබා දී ඇත්තේ තමන්ගේ හිතවතෙකු වූ බැසිල් ඇලෙක්සැන්ඩර් නම් අයෙකුටය. ඉතිරි ගවයන් බෙදා දීම ද තවත් එවැනිම හිතවත්කම් මත සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර එක් ගවයෙකු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන තිබේ. මේ අනුව කිරි ගව ජාවාරමෙන් පමණක් රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි මුදලක් ඇමතිවරයා සාක්කුවේ දමාගෙන තිබේ. මීට අමතරව අමාත්‍යාංශයේ තෙල් හොරකමක් සම්බන්ධයෙන් ද හැරිසන්ගේ නම ඈඳී තිබේ. තෙල් හොරකමට යොදාගත් වාහන වල අංක පවා සහිතව මේ ගැන ද තොරතුරු දැනටමත් අනාවරණය වී ඇත.

අමාත්‍යාංශය හරහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2017.12.31 දින දක්වා මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු මුළු මුදල රුපියල් 13,64,320,650.00කි. මේ ණය මුදලින් ඔවුන් මහා භාණ්ඩාගාරයට ගෙවා ඇත්තේ රුපියල් 24,812,570.00ක් පමණි. ඒ අනුව භාණ්ඩාගාරයට අමාත්‍යාංශය මගින් ගෙවිය යුතු මුදල රුපියල් 13,39,508,140.00කි. නිකුත් වී ඇති විගණන වාර්තාවේ නිගමනවලින් ප්‍රකාශ වන ආකාරයට විධිමත්ව පිළියෙල කර ඇති ජාතික වැඩපිළිවෙළට අනුගත නොවී පසුගිය

වසර හතක පමණ කාලය තුළ කිරි ගව ආනයනය සඳහා යෙදවූ ජාතික ධනයේ ප්‍රමාණය රුපියල් බිලියන 7.9කි. මෙම ව්‍යාපෘතියෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි වීමට සහ ආර්ථිකමය ලාභයක් සිදුවන පරිදි ව්‍යාපෘතිය මෙහෙය වීමට නොහැකි වීම පිළිබඳව අදාළ බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරන්නේ රටේ විගණකාධිපතිවරයාය.

සජිත්ගේ කෙරුවාව

හොරු අල්ලන්නට ආ පිලේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වූ සජිත් ප්‍රේමදාසගේ කිල්ලෝටයේද හුණු යහමින් තිබෙන බව වරින් වර වාර්තා විය. නිවාස අධිකාරිය සඳහා සේවකයන් බඳවා ගැනීමේදී අයථා ලෙස තම දේශපාලන හිතවතුන් ඉහළ නිලතල වලට පත් කර ඇත්තේ ඒවාට අවශ්‍ය අවම සුදුසුකම් හෝ සපුරා නොමැති තත්ත්වයක් තුළය. තම දේශපාලන ආධාරකරුවන් දහස් ගණනින් අධිකාරියේ සේවය සඳහා බඳවාගෙන ඇති බව ලිඛිත සාක්ෂි සහිතව අනාවරණය විය. එපමණක් නොව, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුදල් ‘සසුනට අරුණ’ නම් වූ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති බව ද හෙළි වී තිබේ.

මේ හොරු අල්ලන්නට ආ ආණ්ඩුව කළ හොරකම්වලින් කිහිපයක් පමණි. තවත් හොරකම් මෙන්ම හොරුන් ආරක්ෂා කිරීමක කළ කී දෑ අපමණය. අල්ලන්නට ආ හොරුන්ද රකිමින් තමන්ද  අන්තිමේදී හොරුන් බවට පත් වූ ආණ්ඩුව දැන් අවසන්ය. යහපාලන ආණ්ඩුව තමන්ගේ අවසානය වෙනුවෙන් පාර කපා ගත්තේ සහ නැවතත් පරණ හොරුන්ට බලයට එන්නට පාර කැපූයේ ඩීල් දේශපාලනය බව පැහැදිලිය. නීතිය ක්‍රියාවේ යොදවනු වෙනුවට නීතිය ‘ඩීල් දේශපාලනයේ’ මෙවලමක් බවට පත් කර ගැනීම නිසාය.

හොරු අල්ලන්නන් ඇල්ලීම

දැන් තිබෙන්නේ අලුත් ආණ්ඩුවකි. පැවති ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වැඩි ඡන්ද ලක්ෂ දහතුනකින් පමණ පරාජය කරමින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කළ ආණ්ඩුවකි. එහි ඇමති මණ්ඩලය පවා තවම පත් කර අවසන් නැත. එහෙත් ඒ සියල්ලට ඇතැම් වැඩකටයුතු ආරම්භ කර තිබෙන බව පෙනෙනන්ට තිබේ. ඒ අතුරින් ප්‍රමුඛම උවමනාවක් බවට පත් වී ඇත්තේ තමන්ව අල්ලන්නට ආ වුන් සිර කර ගැනීමයි. ශානි අබේසේකරට සහ නිශාන්ත ද සිල්වාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඒ උවමනාවයි. බුද්ධි අංශ නිලධාරීන් හත්සිය හතර දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරන්නේ ඒ නිසාය. ඒ සමගම මාධ්‍ය මර්දනයක් ද ආරම්භ වන ලකුණු පෙනෙන්නට තිබේ. වෙබ් මාධ්‍ය දෙකක මාධ්‍යවේදීන් පසුපස මේ වන විට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඹා එන්නට පටන් ගෙන තිබේ.

අනෙක් පැත්තෙන් හොරකම් ගැන චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් දැන් ඇමතිවරුන්ය. චෝදනා ලැබූ, නඩු වැටුණු නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රබලයන් බවට ද පත් වී සිටී.

එන්නට නියමිත ඩීල්

තව මාස කිහිපයකින් මහ මැතිවරණයක් එන්නට නියමිතය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය දැන්මම කියන්නේ එම මැතිවරණයෙන් තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගැනීමට ඡන්දය දෙන ලෙසයි. එදා ඊනියා යහපාලන ආණ්ඩුව මහමැතිවරණයෙන් පසු ආණ්ඩුවක් හදා ගන්නා විට මහින්ද රාජපක්ෂ සමග සිටි පිරිසක් ආණ්ඩුවට පැන්නේය. එපරිද්දෙන්ම මෙවරද එක්සත් ජාතික පක්ෂයේ සිටින පිරිසක් හැදෙන අලුත් ආණ්ඩුවට පැනීම ස්ථිරය. ඒ අන් කවරක් නිසාවත් නොව, හැදෙන ආණ්ඩුවට මුක්කු ගසා තමන්ගේ හොරකම් වසා ගන්නටය. නැතිනම් තවත් හොරකම් කරන්නටය. ඒ වෙනුවෙන් ඇති තරම් ඩීල් ඉදිරියේදී දකින්නට හැකි වනු ඇත. ඒ අතර ජනතාවගේ ඇස් නිලංකාර කරන දේශපාලන මල්වෙඩි සංදර්ශන ද ඉඳ හිට පෙන්වනු ඇත්තේ ඇත්ත වසන් කිරීම සඳහාය. කාගෙ කාගෙත් ‘යහපාලනය’ ජනතාවට කොකා පෙන්වීම සඳහා පමණක්  සුරක්ෂිතව තබාගනු ඇත.

■    චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

four × one =