‘රාජාණ්ඩු‘ ගැන හිතන්නන්ට දුන් කනේ පාරවල් තුනක් !

ඇතැමුන් හිතාගෙන සිටින රාජාණ්ඩුවල මෙන් නොව නූතන ලෝකය තුළ අයිතිවාසිකම් යනු ඉතා වැදගත් සංකල්පයකි. සංකල්පීය වශයෙන් පමණක් නොව මානව පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා එහි ඇති අවශ්‍යතාව පිළිබඳව අන් කවරදාකටත් වඩා වර්තමානයේ දී අවධානය යොමු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය අගයන රාජ්‍යයන් සියල්ලකම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අයිතිවාසිකම් පරිච්ඡේද ඇතුළත් කර ඇත්තේ එම නිසා ය. මෙරට දැනට ක්‍රියාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබේ.

එහෙත් කනගාටුවට කරුණ වන්නේ රාජ්‍යය මෙහෙයවන තාවකාලික භාරකාරයා ලෙස පත් වන ආණ්ඩු මෙහි ඇති වැදගත්කම නොසලකාහැරීම ය. ආණ්ඩුවේ ඒ නොසලකාහැරීම්වලින් උත්තේජනය ලබන ඇතැම් රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම පොලිසිය, බන්ධනාගාරය වැනි ස්ථාන තුළ දී පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වෙමින් තිබේ. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිස් ස්ථාන තුළ දී වධහිංසාවට ලක් කිරීමේ සිට අධිකරණයට ඉදිරිපත් කරන විත්තිකරුවන් සම්ප්‍රදායයක් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම දක්වා ම මේ තත්ත්වය විහිදී යයි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ම දඬුවමක් බවට පත්වේ නම්, එය බරපතළ තත්ත්වයකි.

පොලිසිය ජනතාවට වඩාත් සමීප කරවීම සඳහා යනුවෙන් පවසමින් පොලිසිවල තාප්ප කඩා, වටේට මල් වැවීමේ ව්‍යාපෘතියක් ද පසුගිය කාලයේ ක්‍රියාත්මක විය. එහෙත් වටේට මල් වැව්වා ය කියා ඇතුළේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතනවල මැදිහත් වීම මත යම් වෙනස්කම් සිදු වුව ද, ඒවාට මුහුණ දීමේ උපක්‍රම ලෙස ඇතැම් පොලිස් ස්ථාන සිදු කළේ පොලිසියෙන් පිටත නිවෙස්වල සැකකරුවන්ට වධහිංසා කරන ස්ථාන පවත්වාගෙන යාම ය. පසුගිය කාලයේ එවැනි අවස්ථා පිළිබඳව මාධ්‍ය මඟින් වරින් වර අනාවරණය කෙරිණි.

පොලිස් අභ්‍යාස විද්‍යාලවල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විශේෂයෙන්ම එහි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පිළිබඳව ඉගැන්වූවාට භාවිතයේ දී ඔවුන්ගෙන් බහුතරය ඒවා තඹේකට මායිම් නොකරන බවක් පෙනේ. විශේෂයෙන්ම අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේ ම වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතු බව නීතියේ සඳහන් වුව ද, සැකකරුවන්ට ඒ පොලිස් ස්ථාන තුළ සිදු වන වධහිංසා සම්බන්ධයෙන් අධිකරණවල මැදිහත් වීම ප්‍රශ්නසහගත ය. විශේෂයෙන්ම ආයුධ පෙන්වීමට යාමේ දී ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බවට අධිකරණයට කියන සිදුවීම්වල දී මහේස්ත්‍රාත්වරුන්ගේ හැසිරීම ප්‍රමාණවත් ද යන්න ද ගැටලුවකි.

මෙවැනි ගැටලු සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා පුරවැසියාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ හැකියාව තිබේ.

මේ ලියන්නේ ආසන්න දින කිහිපයක දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කෙරුණු එවැනි පෙත්සම් තුනක් සම්බන්ධයෙන් ය. මේ පෙත්සම් තුන ම පොලිසියට එරෙහිව ය. මෙයින් පෙත්සම් දෙකක් ම පෙනෙන ආකාරයට පොලිසිය ආණ්ඩුවේ බත්බැලයාගේ රාජකාරිය කිරීමට එරෙහිව ය. අනෙක් පෙත්සම, ‘ගුරා හිටගෙන කරන දේ ගෝලයා දුව දුව කිරීමකි.’ එනම් ආණ්ඩුවේ ආදර්ශයෙන් නිදහස ලබන පොලිසිය ජනතාවට සලකන ආකාරය පිළිබඳ කතාවකි.

මේ නමට ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව ය

මාස තුනක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන සිටින ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ මාධ්‍යවේදී කීර්ති රත්නායක විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර ඇතුළු 20 දෙනකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

“උඹ දැනගනින්, උඹ ඉන්නේ දැන් අපේ ගෙදර. අපේ ගෙදර නඩු විසඳන්නේ අපිට ඕනෑ විදිහට.” යනුවෙන් පවසමින් අත්අඩංගුවේ දී පොලිසිය තමන්ට තර්ජනය කළ බවත්, පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව තමන් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියට ලියන ලද ලිපි සම්බන්ධයෙන් තමන් බියගන්වන බවත් එම පෙත්සමේ සඳහන් ය.

අංක SC/FR/363/2021 දරන කීර්ති රත්නායකගේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් නීතිපතිවරයා, පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, කොළඹ අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති, එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ නන්දන කුමාර ඇතුළු 20 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මාධ්‍යවේදී කීර්ති රත්නායක අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දැක්වුණේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක වන භානු ප්‍රකාශ්ට ‘වට්ස්ඇප්’ හරහා ඔහු විසින් කරන ලද දැනුම් දීමකි. ඉන්දියාවේ නිදහස් දිනය දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙහි සඳහන් වූයේ යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ ‘වට්ස්ඇප්’ පණිවුඩය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් මුලින් ප්‍රශ්න කර තිබුණ ද, මේ වන විට ප්‍රශ්න කරන්නේ ඔහු විසින් මාධ්‍යවේදියකු ලෙස ලියා පළ කරන ලද ලිපි සහ එම ලිපිවල මූලාශ්‍ර පිළිබඳව බව පෙත්සමේ සඳහන් වේ.

පෙත්සමේ 15 වැනි වගඋත්තරකරු වන දේශබන්දු තෙන්නකෝන් සහ 19 වැනි වගඋත්තරකරු වන ඇමැති සරත් වීරසේකරගේ හැසිරීම් විවේචනය කරමින් ලියා ඇති ලිපි සම්බන්ධයෙන් මාධ්‍යවේදියා බියගන්වන ආකාරයෙන් මේ වන විට ප්‍රශ්න කරන බව ද නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සමේ සඳහන් වේ.

මේ දක්වා කීර්ති රත්නායක කිසිදු අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති අතර, ඔහු රඳවා ගැනීමට අදාළ රැඳවුම් නියෝගය හෝ ඔහුට පෙන්වා නොමැති බව ද සඳහන් ය. වාර්තා පළ වූ ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන සිටින්නේ නම්, එම පනත උල්ලංඝනය කළේ කෙසේ ද යන්න තහවුරු කෙරෙන සාක්ෂි නොමැති බව ද අදාළ පෙත්සම මඟින් අධිකරණයට දැනුම් දී තිබේ. නීතිවේදීන් පෙන්වා දෙන්නේ, එසේ රඳවා තබා ගැනීමට එවැනි සාක්ෂියක් අවශ්‍ය වන බවයි.

විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් ලියන ලද ලිපි සහ තොරතුරු මූලාශ්‍ර පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කරන බවත්, ලිපිවල තොරතුරු මූලාශ්‍ර හෙළි කරන ලෙස තර්ජනය කරන බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම මඟින් අවධාරණය කර තිබේ. මේ නිසා තමන්‌ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, රැඳවුම් නියෝගය අවලංගු කර තමන් නිදහස් කරන ලෙසත්, තමන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක මුදලක් වගඋත්තරකරුවන්ගෙන් ලබා දෙන ලෙසත් මාධ්‍යවේදියා වැඩි දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

දෙවැන්න වන්නේ, මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස ප්‍රකට චිරන්ත අමරසිංහ විසින් අත්තනෝමතික ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමයි. 2020 නොවැම්බර් මාසයේ දී තමන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති එවැනි අත්අඩංගුවට ගැනීම්වලින් වැළැකීමේ නිදහස, පුරවැසියකු ලෙස නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමේ නිදහස, කැමැති ආගමක් ඇදහීමේ, සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහස, ප්‍රකාශනයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අදාළ පෙත්සමේ සඳහන් ය.

නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 07 දෙනකුට එරෙහිව SC/FR/375/2021 අංක දරන මේ පෙත්සම ගොනුකර ඇත. කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩ නොදීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ද පෙත්සම්කරු විසින් මීට පෙර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.

2020 නොවැම්බර් 17දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තම නිවසට පැමිණ ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බව දැනුම් දුන් බවත්, අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව සඳහන් නොකළ බවත් පෙත්සමේ සඳහන් ය. ඊට හේතුව ලෙස දැනුම් දී ඇත්තේ ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද පෝස්ට් එකක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ කවුද, පැමිණිල්ල කුමක්ද, කුමන පෝස්ට් එක සම්බන්ධයෙන් ද යනුවෙන් පෙත්සම්කරු විසින් විමසා ඇතත්, ඊට පොලිස් නිලධාරීන් පිළිගත හැකි පිළිතුරක් ලබා දී නැත.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ නිරෝධායන පනත යටතේ වන චෝදනාවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් පමණක් සිදු කරන බව ඔහුට පොලිස් නිලධාරීන් විසින් යළි යළිත් දැනුම් දුන් බව ද පෙත්සමේ සඳහන් ය. මේ අවස්ථාවේ දී පෙත්සම්කරුගේ මව විසින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින්, පෙත්සම්කරු දිගටම ප්‍රතිකාර ගන්නා අයකු බව තහවුරු කොට, පසුදින නීතිඥවරයකු සමඟ පැමිණ ප්‍රකාශයක් ලබා දීමට අවසර ඉල්ලා ඇත. එහෙත්, එය ප්‍රතික්ෂේප වී තිබේ.

මෙහි දී නීතිඥ සහාය ලබා ගැනීමට පෙත්සම්කරු අවසර ඉල්ලා ඇතත්, පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ, එවැන්නක් අවශ්‍ය නොවන බවයි. ඊට ඉඩ නොදෙමින්, ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පමණක් බව පවසා තමන්ව රැගෙන ගිය බව ද පෙත්සමේ සඳහන් ය. තමන් සමාජ මාධ්‍ය වෙත පිවිසෙන පරිගණක උපකරණ, ජංගම දුරකථනය ද පොලිස් නිලධාරීන් ලබා ගත් බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විරෝධතා නොසලකාහරින ලද බවත් පෙත්සම්කරු පවසා සිටී.
පෙත්සම්කරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී දැනගෙන ඇත්තේ, ඔහුට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවයි. යම් තොරතුරක් පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බව පමණක් එහි සිටි නිලධාරීන් ඔහුට පවසා ඇත. එසේම ඔහු විසින් පළ කරන ලද නිශ්චිත පෝස්ට් එකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් ද සිදු වී නැත. ආණ්ඩුවේ අසාර්ථකභාවය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් පළ කරන ලද පෝස්ට් සම්බන්ධයෙන් දිගින්දිගටම ප්‍රශ්න කර ඇති අතර, ඔහුගෙන් අදාළ සියලු‍ රහස් සංකේත ද පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන තිබේ.

පෙත්සම්කරුට අදාළ දත්ත කොපි කරගැනීමට අවස්ථාවක් ලබා දී නැති අතර, මේ නිසා ‘වට්ස්ඇප්’ සහ වයිබර් පණිවිඩ ලක්ෂ 4කට අධික ප්‍රමාණයක්, සාමාන්‍ය පණිවිඩ 55,000ක් ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් නැති වූ බව ද පෙත්සමේ සඳහන් ය. අදාළ උපකරණ සීල් කර, තම අත්සන යෙදීමට අවස්ථාව ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇතත්, එය ද සිදුව නැත. තමන්ගේ විරෝධය නොතකා, සීල් නොකරන ලද උපකරණ තමන් සිටි ස්ථානයෙන් ඉවතට ගෙන ගිය බව ද පෙත්සමේ සඳහන් ය. පරිගණක අපරාධ පනත ඇතුළු ප්‍රතිපාදන කිහිපයක් යටතේ තමන්ව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ද, අදාළ උපකරණ අධිකරණයට ඉදිරිපත් නොකළ බවද පෙත්සම්කරු අවධාරණය කර සිටී.

මේ සියලු‍ කරුණු මත තමන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද පෙත්සම්කරු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තුන්වැන්න, මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවල දී නීතිවිරෝධී ලෙස රඳවාගෙන දින ගණනාවක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් තරුණයකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමයි.

“මාව හාන්සි කරලා මගෙ යටිපතුල්වලට පොලු‍ තුනකින් ගැහුවා. කුඩු දාලා හරි ඇතුළට දානවා කිව්වා. උඹ නිර්දෝෂයි කියලා කියන්න කෙනකුත් නෑ, පොලිසියෙ හැටි දන්නව නෙ, ගොරකත් දඩමස් කරන්න පුළුවන්. පොලිසියත් එක්ක හැප්පෙන්න එපා උඹලා කිව්වා. මගේ බේත් එහෙම ගෑවේ ඔය පොලිසියෙ අපරාධ අංශයේ ස්ථානාධිපති. මගෙන් වුණු අතපසුවීමට කියලා අපේ අම්මගෙන් වැඳලා සමාව ගත්තා.‘

‘සටහන්’ යූ ටියුබ් නාළිකාව සමඟ මේ තරුණයා එසේ සඳහන් කර ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කළ අතර, ඊට අදාළව මාලිම්බඩ සහ මාතර යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. මාතර, තෙලිජ්ජවිල මත්පැන් අලෙවි සලක සිදු වූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන නීති විරෝධී අයුරින් රඳවාගෙන පොලු‍වලින් පහර දී බරපතළ තුවාල කළ බවට එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයකු කළ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදු කළ බව පොලිස් කොමිසමේ නිලධාරියෙක් තහවුරු කළේ ය.

මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මාලිම්බඩ පොලිස් ස්ථානයේ සිරමැඳිරියේ රඳවා අතින්, පයින් සහ පොලු‍වලින් ද පහර දෙමින් ප්‍රශ්න කර තිබේ. විකට් කූරකින් පහර දුන් එක් අවස්ථාවක එය කැඩී තම පාදය සිදුරු වන ආකාරයට බරපතළ තුවාළයක් වී යැයි ද, ඉන්පසුවත් එක් නිලධාරියකු රෙදි කෑල්ලක මිරිස් අඹරා තම මුවට තබා ගැට ගැසුවේ යැයි ද අදාළ තරුණයා සඳහන් කර ඇත.

තමන් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගෙන පවුලේ ඥාතීන්ගේ උපදෙස් මත නීතිඥවරයකු පොලිසියට පැමිණිය ද, පහර දීම් නතර නොකළ බවත්, පසුව මාතර පොලිසියට රැගෙන ගොස් පහර දුන් බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, මත්පැන් අලෙවි සලේ සොරකම සිදු වූ අවස්ථාවේ වීඩියෝ පට මාතර පොලිසියට ගෙනැවිත්, තම පවුලේ සාමාජිකයන්ට ද පෙන්වා එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී එහි සිටින්නේ තමන් නොවන බව හඳුනා ගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා තම මවගෙන් සමාව ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කරයි.

පසුව පොලිස් නිලධාරින් පිරිස එක් වී තරුණයාගේ තුවාළවල ආලේප ගල්වා උණු දියෙන් තවා ප්‍රථමාධාර දී ඇත. අදාළ තරුණයා රෝහල්ගත වීම වළකා 1990 ‘සුවසැරිය’ ගිලන් රථයක් භාවිත කර, ඔහුට ප්‍රථමාධාර ලබා දීමට මාතර පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ යැයි ද, දින දෙකක් පොලිසියේ රඳවාගෙන බෙහෙත් කර, පස්වැනි දිනයේ පොලිස් ජීප් රථයකින්ම නිවෙසට ඇරලවා ඇතැයි ද පොලිස් කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ලේ සඳහන් ය. තම යටිපතුල්වල අස්ථි බිඳී ඇති බවට ‘එක්ස් කිරණ’ පරීක්ෂණයෙන් හෙළි වූ පසුව පොලිස් නිලධාරීන් පිරිස තමන් මාතර රෝහලට රැගෙන ගොස් මෙම තුවාළ සිදු වූයේ තාප්පයකින් පැනීමට ගොස් බවට ව්‍යාජ කටඋත්තරයක් ලබා ගත්තේ යැයි ද සඳහන් වේ.

නීතිය වෙනම තිබිය දී, පුරවැසියන්ට මෙසේ සිදු වේ. ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින්, මෙසේ හැසිරෙන්නට පොලිසියට උපරිම බලය ලබා දී තිබේ. පොත්වල එසේ සඳහන් නොවූව ද, මෙවැනි සිදුවීම්වලට අදාළව කිසිවක් සිදු නොවන බව පොලිසිය දනී. ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබා දී ඇති නිල නොවන සහතිකය එයයි.
ආණ්ඩු වෙනස් වුව ද, පොලිස්පතිලා වෙනස් වුව ද, පොලිස් අභ්‍යාස විද්‍යාලවල කුමක් ඉගැන්වුව ද, ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුව ද, මේවා මේ ආකාරයෙන් ම සිදු වේ. එවැනි සිදුවීම්වලින් කීයෙන් කීයකට අදාළව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු වන්නේ. ඊට හේතු දෙකක් තිබේ. එකක් නීතිය පිළිබඳ ඇති නොදැනුම්වත්කම ය. එය ජනතාව පීඩාවට පත් කිරීම සඳහා සෑම අවස්ථාවක දී ම භාවිත වන ආකාරය දැකිය හැකි ය. අනෙක මේ ක්‍රියාවලි සඳහා දැරිය යුතු වියදම ය.

එම නිසා මෙවැනි ක්‍රියාවලි පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමත්, අවම වියදමකින් එය සිදු කර ගත හැකි ක්‍රමවේද සැකැසීමත් අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුතුය.

– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

10 + 16 =