ගමේ සහ නගරයේ ළමයාට බෙදුම් රේඛාවක් ඇයි ?

මීට වසර කීපයකට පෙර මා ප්‍රාථමික අධ්‍යාපනය ලද මගේ පාසලේ දරුවෝ අදත් අහස දෙස බලා හඬති. ඒ මොක ද? ඔබට ප්‍රශ්නයක් විය හැකියි. ‘කොළඹට කිරි ගමට කැකිරි’ මේ කියමන නිකම් ම නිමැවූවක් නොවේ. නගරවල පාසල්වල උසස් ලෙස සෑම පහසුකමක්ම භුක්ති විඳින දරුවන්ගේ වයසේම ගමේ පාසලේ දරුවන්ට ඒ පහසුකම් නොමැත. ඊට ප්‍රධාන හේතුව කුමක් විය හැකි ද..? ඇයි මේ රටේ ග්‍රාමීය සංවර්ධනය මේ තරම් අසාර්ථක ? ලංකාවේ භූමි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ග්‍රාමීයව පවතින්නේ නම්, ග්‍රාමීය සංවර්ධනය ඉක්මනින් සිදු විය යුතු නොවේ ද? ග්‍රාමීය දරුවන්ට අධ්‍යාපන පහසුකම්, යහපත් ජීවිතයක්, හොඳ රැකියාවක් ආදිය ලැබීමට වාසනාව නෑ කියා ඇස් පියා ගැනීමට අවශ්‍ය ද?

ගම, නගරය ලෙස බෙදා වෙන් කර ඇති රේඛාව  ඉවත් කළ යුතුයි. එක රටක්, එක නීතියක් යටතේ පවතිනවා නම්, ගම, නගරය යන ලෙස බෙදා වෙන් කරන්නේ කුමන කරුණක් නිසා ද? ගම සහ නගරය යන මේ දෙකෙහිම වාසය  කරන්නේ එකම ලේ ඇති  මිනිසුන් නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මේ සියලු දෙනාටම එක හා සමාන අධ්‍යාපන අයිතීන් භුක්ති විඳීමට අවස්ථා සැලැසිය යුතුයි.

ගමේ ඉස්කෝලේ යන දරුවකු කොයි තරම් දක්ෂයකු වුණත් බොහෝ අයට අතමඟ නතර වෙන්න සිද්ධ වෙනවා. ඒ මුදල් සහ ඊට අවශ්‍ය පහසුකම් නොමැතිකමිනුයි. මෙවන් අවස්ථාවල ඉදිරියට යාමේ බලාපොරොත්තු ඔවුන් තුළින්ම ගිලිහී යනවා. මේ බොඳ වී යන්නේ ඔවුන්ගේ හීන. සමහර ළමයි ගොඩක් දක්ෂයි. හැබැයි සමහර තරගවලට, සමහර ඉලක්කවලට යන්න බැරි වීම නිසා අදටත් පසුතැවෙන අය ඕනෑ තරම් සිටිනවා. මෙවැනි සිදුවීම් වගකිව යුත්තන්ගේ ඇස නොගැටෙනවා ද? ඇයි එවැනි දරුවන්ට ඔවුන්ගේ ඉලක්ක වෙත යන්නට මේ සමාජයේ ඉඩකඩ අකුළා දැමීමට කටයුතු කරන්නේ ?

ගමේ පාසල්වල බොහෝ දරුවන්  විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා එහි යන තුරු විශ්වවිද්‍යාල පිළිබඳ අසා තිබුණ ද, එය දැක නොමැත. ප්‍රායෝගිකව නගරයේ දරුවන් ලබන  අත්දැකීම් ලබන්නට ඔවුන්ට පහසුකම් නැත. මාධ්‍ය  නැරඹුව ද, එහි නිවේදකයකු, නිවේදිකාවක,  නළුවෙක් හෝ නිළියක වන්නට ගමේ දරු දැරියන්ට ඉඩකඩ ඇහිරී ඇත. වේදිකා නාට්‍යයක් බැලීමට නම්, පාසලට ගෙන්නුවොත් හෝ ප්‍රදේශයට ගෙන්නුවොත් හෝ මිස එය නැරඹීමට කොළඹට යාමට තරම් ගමේ ළමයින්ට නොහැකි ය. පත්තරේකට  ලිපියක් ලියන්නට දරුවන් කැමැත්තෙන් සිටියත්, ඒ ළමයින්ට ඒ අවස්ථාව හෝ ඒ පිළිබඳව දැනුම්වත්භාවයක් හෝ ලැබෙන්නේ නෑ. ග්‍රාමීය පාසල් වෙත මේ අවස්ථා ලබා දීම අවශ්‍යයි. නමුත්, ඒ දේවල් සිදු වෙනවා ද යන්න සමාජය තුළින් පැනනඟින ප්‍රශ්නයක්.  අදටත් මේ රටේ ග්‍රාමීය පාසල්වලට අවශ්‍ය ගුරුවරුන්, විෂය බාහිර පහසුකම් ඉතා  සීමිත වෙයි. මේ ක්‍රමයේ යම් වෙනසක් සිදු වන්නේ නම්, දරු දැරියන්ගේ කුසලතා අනුව මිස ගමේ ළමයා සහ නගරයේ ළමයා යන බෙදීම හෝ  ඔවුන් පැමිණි ස්ථානය ආදිය පිළිබඳව හෝ වෙනසක් සිදු නොවිය යුතු ය.

ගම, නගරය ලෙස බෙදා වෙන් කර ඇති රේඛාව  ඉවත් කළ යුතුයි. එක රටක්, එක නීතියක් යටතේ පවතිනවා නම්, ගම, නගරය යන ලෙස බෙදා වෙන් කරන්නේ කුමන කරුණක් නිසා ද? ගම සහ නගරය යන මේ දෙකෙහිම වාසය  කරන්නේ එකම ලේ ඇති  මිනිසුන් නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මේ සියලු දෙනාටම එක හා සමාන අධ්‍යාපන අයිතීන් භුක්ති විඳීමට අවස්ථා සැලැසිය යුතුයි.

සෑම දෙමවුපියකුගේ ම බලාපොරොත්තුව තමන්ගේ දරුවන් හොඳ තැනක සිටිනු දැකීමයි. ඉතින්, මේ ගමට, නගරයට වෙන් කිරීමක් නොකොට මේ රට තුළ ජීවත් වන සෑම දෙනාටම අධ්‍යාපන අයිතිය එකලෙස පැවතීම අවශ්‍ය වේ.

අහස දෙස බලා සිටින එක් දරුවකු වෙත ගිය මම ඔහුගෙන් විමසුවේ, මෙලෙස හඬන්නට හේතුව කුමක් ද කියායි. එවිට ඒ දරුවා මෙසේ පැවසුවා: “මගේ පන්ති භාර ටීචර් ඉස්කෝලෙන් අයින් වෙලා වෙන ඉස්කෝලෙකට ගිහිල්ලා. තාම ටීචර් කෙනෙක් ආවෙ නෑ. මම ඉගෙන ගන්න ආසයි. ඒත් ටීචර් කෙනෙක් නෑනේ.” ග්‍රාමීය පාසල්වලට පත්වීම් ලබන සමහර ගුරුවරුන් ඒවායෙහි පවතින දුෂ්කර බව නිසාම වෙනත් පාසල් වෙත මාරු වී යාම සුලභව දැකගත හැකි ය. මෙවැනි අවස්ථා මඟහරවා ගැනීමට මේ පාසල් පද්ධතිය තුළ ගුරුවරුන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට සහ අධ්‍යාපනය ලබන්නට සේම නිතර ගැවසෙන්නට ද හැකි පරිසරයක් නිර්මාණය කර දීම අවශ්‍යයි. මෙවැනි ගැටලු විතරක් නෙමෙයි, මේ වන විට ග්‍රාමීය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු නිසාත්, අනෙකුත් පහසුකම් අවම වීම නිසාත් ඒ ඒ දරුවන් කැමැති විෂයයන් අධ්‍යයනය කරන්නට,  විෂය බාහිර  කටයුතුවල නියැළෙන්නට ඇති ඉඩප්‍රස්ථා ඔවුනට අහිමි වී තිබේ. මේ නිසා ම ළමයින් පාසල් යාමට මැලි වන අතර, විෂය බාහිර කටයුතුවලින් ද ඈත් වීමක් පෙන්නුම් කෙරේ. ඊට අවශ්‍ය පිළියම් යොදන්නේ නම්, එම ග්‍රාමීය පාසල්වල ළමයින් අධ්‍යාපන කටයුතුවල සේම විෂය බාහිර කටයුතුවල ද දැඩි කැමැත්තකින් හා ආශාවකින් නිරත වනු දැකගැනීමට පුළුවන් වනු ඇත.

මේ රටේ සෑම ළමයකුටම අධ්‍යාපන පරිසරය සඳහා එක හා සමාන පහසුකම් සලසන්නේ නම්, අදටත් දැකිය හැකි ‘කැලේ පිපෙන මල් කැලේටම පර වී යාම’ ග්‍රාමීය ජන ජීවිත තුළ සිදු නොවේ. විවර විය යුත්තේ  අසමානකම් නොවේ විෂම සමාජය තුළ වුවත්, සමානාත්මතාවය ගොඩනැඟීම මඟින් කුඩා කාලයේ සිටම ළමා මනස හැදී වැඩීම තුළ ඔවුන්ට ගම සහ නගරය වෙනසක් නොවන්නේ ය.

අහස දෙස බලා හඬන ළමයා තවමත් එදා ලෙසම පාසලේ ඔහුගේ පන්තියට ගුරුවරයකු නැති බව පවසමින් හඬා වැටේ.

වයි. බී. තිළිණි නිසංසලා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

 

 

 

Leave A Reply

Your email address will not be published.

three × three =