ආයිබොවන්ඩ ශෂී..,

අපිට මේ දවස්වල තමුන්නැහෙගෙ මූණ දකින කොටම මතක් වෙන්නෙ අපේ ජනාදර ගායක මිල්ටන් පෙරේරා සෙනෙහෙබර හඬකින් ගායනා කොරන ගොඩමඩ දෙකම සරුසාරය, පලබරය කියන මසුරං සිංදුව. කතරගම දෙයියන්ගෙ නාමෙන් ඇස්වහක් කටවහක් වදින්න නං එපා ආයිබොවන්ඩ අපේ අප්ප, මුත්ත, කිරිකිත්ත කාලෙකවත් මේ ආකාරෙට වතු-පිටි සරුසාර වුණේ නැහැ. ඉන්දියාවේ රුපියල් හාරපන්සීයට තියෙන නැනෝ දියරෙ තමුන්නැහැලා අපිට දුන්නේ රුපියල් දෙදාස් පන්සීයකට විතර ඉතාම සාදාරණ ගාණකට නෙ. ඒ පිනම ඇති ශෂී මැතිතුමෝ තමුන්නැහැලගෙ හත්මුතු පරම්පරාවටම පණපිටිංම වුණත්  දිවිය ලෝකෙ යන්ඩ.

අම්මපා අපේ සෑර් වගේ රට, දැය, සමය ගැන මාර ගායක් තියෙන උත්තමයෙක් පහළ නොවෙන්ඩ ඔබතුමන්ලාගේ සවුබාග්ගිය දැක්මෙ කියන්නැහේ මෙහෙම ‘ගිරීන් ඇග්ගිරිකල්චර’ යුගයක් උදා වෙයි ද? ඉන්දියන්කාරයගෙ නැනෝ ඩිංගිත්ත ගහලා අපේ කරල මෙහෙම නැඟී හිටිය නං අපි-තමුන්නැහැලගෙ දුක-සැප දෙකේම ළඟින්ම ඉන්න චීන මිත්තරයගෙ අසූචි පෝර ටිකත් දාගන්ඩ ඇහැක් උනොත් කොහොම කෙළින් හිටියි ද…? අනේ හැබෑට අපේ සෑරුයි, තමුන්නැහැලයි දිවි පරදුවට තියලා කොරගෙන යන මේ හරිත සංවර්දනේ වටිනාකම තේරුන් ගන්ඩ තරං පිනක් අපේ තකතීරු ගොයියන්ට නැහැ නෙ. කියන්නත් වගේ ඕකුන්ට මොළේ කළඳක් හරි තිබුණ නං අමුඩ කෙටි පිටිං පාරවල් හරස් කොරගෙන පඹයො පුච්ච, පුච්ච නොඉඳ අපේ රත්තරන් ඇමතිතුමාගෙ මුහුදු සීමාවේ පාක් කොරල තියෙන පෝර නැව ගොඩ බා ගන්න එක නෙ කොරන්ඩ තිබුණෙ.

අපි නං ශෂී ඔහේටත් කෙළින්ම කියන්නෙ, අපේ සෑර් වගේ තදින්ම ඉන්ඩ කියලයි. අම්මපා ශෂී, එතුමගෙ අබීත පොරකාසන වගේම වැඩකිඩත් අහන, දකින මොහොතක් නෑර අතීත සිරි විබූතිය අපේ මතකෙට කඩාපනිනවා. ඒ කාලෙ රජවාසලේ උන්න ය කියන අන්දරේ දීපු ආතල් මොනව ද කියල හිතෙනවා ආයිබොවන්ඩ මේ දවස්වල සෑර් කොරන රිවෙස් කිරිල්ල දිහා බලන කොට. අපිට නං හිතෙන්නෙම තමුන්නැහැලා පණ කඩාගෙන නග්ගන්ඩ හදන කුසිකර්මාන්තෙ, සංචාරක කර්මාන්තෙ වගේ මළඉලව් කර්මාන්තවලට වඩා අපේ රට සීග්ගර සංවර්දනේකට ඇදන් යන්ඩ ඇහැක් වෙන එකම වියාපුරුතිය ගැසට් කර්මාන්තෙ කියලයි.

තමුන්නැහැලට වගේම අපිටත් පේන්ඩ බැරි එවුන් තමා ඔය නිදහස් අද්දියාපනේ පිනෙන් විබාග, සැටිපිකේට් අරං ආණ්ඩුවේ තානාන්තරවලට පැනගෙන ඉන්න නිලදාරි පැලැන්තිය. අපි අත-පය හතරම උස්සලා හැටනව ලක්සයක්ම ලෝස් නැතුව මනාපෙ දුන්නෙ කොහෙවත් ඉන්න ටයි-කෝට්කාරයන්ට ඩෙඟා නටන්ඩ දෙන්ඩ නෙමේ නෙ ශෂී. අනිත් වැදගත්ම කාරණේ තමා ආයිබොවන්ඩ අපේ සෑර්ගෙ මූලිකත්වයෙන් හා ශෂීලාගේ සාබාගිත්වයෙන් ආරම්බ කොරපු මේ කාබනික විප්ලවය ආපස්සට හරවන්ඩ සුමිත්ලා වගේ රෙජිස්ටාර්ලට ඇහැකි ද? උන්දැව පැන්නුව වගේම අර කටමැත දොඩන උදිත් ද කවුද කියන පඬි ලේකම්කාරයවත් සයිබීරියාවටම ඇදල දාංඩයි තියෙන්නෙ.

ඒ විතරක් නෙවේ ආයිබොවන්ඩ, මහින්දානන්දකාරය ගැනත් අපේ හිතේ හැකයක් තියෙනවා. උන්දැ ටෝක්ස් දෙන්නෙ පෝර කේස් ගැන මොකුත් නොදන්න චූටි බේබි වගේ නෙ. බාප්පන්ඩිට කියලා මෑන්ටත් ෂොට්ටෙකක් දැන්මම දීලා දාන එක තමා ශෂී ඇඟට ගුණ. පෙරට තියාපු පය ආපස්සට ගන්න එක තමුන්නැහැලා වගේ රුහුණේ සිංහ පෝතකයන්ට නං මොන විදිහකින්වත් කොරන්ඩ ඇහැක් වැඩක් නෙවේ. අමුඩ කොටේ ගහන්ඩ අමතක වුණ බව හිතන්ඩ තිබුණෙ සරම උස්සන්ඩ කලින් නෙ ආයිබොවන්ඩ. දැන් ඉතිං වෙන මක්ක කොරන්ඩ ද? ඔහොම්ම යන්ඩ අරිමු නේද ශෂී…?●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

two + 8 =