පුපුරන ගෑස්වල සංයුතිය වෙනස්

දිවයින පුරා තැනින් තැන ගෑස් සිලින්ඩර් පුපුරායෑමට හේතු වී ඇත්තේ ඒවායේ අඩංගු ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ සංයුතිය වෙනස් කිරීමේ අත්තනෝමතික තීරණය ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වී තිබේ.
මෙතෙක් මේ බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර නැතත්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණ ආයතනයක් වන ඉන්ටර්ටෙක් ආයතනය හරහා පාරිභෝගික අධිකාරිය මගින් සිදුකළ පරීක්ෂණයකදී ගෑස් සිලින්ඩර්වල සංයුතිය වෙනස් කොට ඇති බව තහවුරු වී ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සහ සාමාන්‍ය ප්‍රමාණයේ හෝටල්වල භාවිත කරන ගෑස් සිලින්ඩර් යොදාගෙන මේ පරීක්ෂණය සිදු කර ඇතැයි හෙළි වේ.

එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඊට යොදාගත් වෙළෙඳපොළේ තිබූ සාම්පල ගෑස් සිලින්ඩර්වල අඩංගු ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 45 මට්ටමේ පවතින බවයි. එය මීට පෙර සියයට 20 – 30 මට්ටමේ පැවතිණි. එහි බියුටේන් ප්‍රතිශතය මීට පෙර සියයට 70 – 80 අතර පැවතුණද, අදාළ පරීක්ෂණයට අනුව එය සියයට 50 මට්ටම දක්වා අඩු කර තිබේ.

ප්‍රොපේන් නම් සැහැල්ලු වායු ප්‍රතිශතය වැඩි කිරීම නිසා ද්‍රව පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී වැඩි පීඩනයකට ලක්කළ යුතු වේ. එය සාපේක්ෂව පෙර ගෑස් සිලින්ඩරය තුළ පැවැති පීඩනය සැලකිය යුතු ප්‍රතිශතයකින් වැඩිවීමට හේතු වේ. මේ නිසා ගෑස් සිලින්ඩරය සහ රෙගියුලේටරය සම්බන්ධ කෙරෙන වෑල්වය දුර්වල අවස්ථාවලදී වායුව කාන්දුවීමට පටන් ගනී. පසුගිය සති දෙක තුළ මෙසේ ගෑස් පිපිරුම් ඇති වූ ඇතැම් අවස්ථාවලදී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් නොවීමට හේතු වී ඇත්තේ මේ තත්ත්වයයි.

මෙසේ අදාළ පරීක්ෂණය මගින් තහවුරු වූ ආකාරයට ප්‍රොපේන් වායු ප්‍රතිශතය වැඩි කොට, බියුටේන් වායු ප්‍රතිශතය අඩු කිරීම සමස්තයක් ලෙස සිදු කර ඇත්නම්, එය දැඩි අනතුරුදායක තත්ත්වයක් බව රසායන ඉංජිනේරුවෝ පෙන්වා දෙති. සාමාන්‍යයෙන් මෙරට ගෘහස්ථ සහ සාමාන්‍ය ප්‍රමාණයේ හෝටල්වල භාවිත කෙරෙන ගෑස් සිලින්ඩර්වලින් බහුතරයක වෑල්ව දුර්වල ඒවා වීමට වැඩි ඉඩක් ඇති බව ද පෙන්වා දෙන ඔවුහු, මේ නිසා ගෑස් ලිප් දැල්වීමට පෙර ගෑස් කාන්දුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බව ද අවධාරණය කරති.
මෙසේ ද්‍රව ප්‍රෙටෝලියම් සංයුතිය වෙනස් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.

Leave A Reply

Your email address will not be published.

three × 4 =