ශ්‍රී ලංකාවට පළමු තරඟයෙන් 187ක ජයක් , නායක දිමුත් ඉනිම් දෙකේදී ලකුණු 230 ක්

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 187 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.

තරඟයේ අවසන් දිනය හෙවත් පස්වන දිනය වූ අද ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමට ලබාගත හැකි වුවේ ලකුණු 160 ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දෙවන ඉනිමේ අසරණ වූ කොදෙව්වෝ ඊයේ (24) දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුවේ ලකුණු 52ක් පමණි.

7 වැනි කඩුල්ල සඳහා ලකුණු 100ක් රැස් කළ න්කෘමා බොනර් සහ ජෝෂුවා ඩ සිල්වා කොදෙව්වන්ට යම් අස්වැසිල්ලක් එක්කළේය.

මෙහිදී ජෝෂුවා ලකුණු 54 ක් සහ බෝනර් නොදැවී ලකුණු 68 ක් ලබා ගැනීමට සමත් විය.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ලසිත් ඉඹුල්දෙනිය ලකුණු 46කට කඩුලු 5ක් දවාගත් අතර එය ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් සිව් වැනි අවස්ථාව වන අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුලු 4 ක් දවා ගත්තේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක කොදෙව් කණ්ඩායම ලකුණු 230ක් රැස්කළේය.

අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා පන්දු ඕවර 40.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 191 රැස්කළේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 83යි. ඔහු මුල් ඉනිමේ ද ලකුණු 147 ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69යි.

පළමු තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තාකරමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1ට 0ක් ලෙස ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

Leave A Reply

Your email address will not be published.

3 × two =