කවුද මේ ශ්‍රී අරවින්ද?

මොනාලිසාගේ මිසර ගමන කෙටි කතා පොතේ එන හංසකුසු කෙටිකතාවේ සඳහන්වන ශ්‍රී අරවින්ද ගැන කිහිප දෙනෙකු විමසා සිටියා. මේ ශ්‍රී අරවින්ද ගැන කෙටි සටහනක්.

1872 අගෝස්තු 15 වන දින කල්කටාවේ උපත ලද ශ්‍රී අරවින්දයන්ට සොයුරියක් හා සොහොයුරෙක් විය. ඔහුගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයකු විය. කෙසේ වෙතත් 1879 දී ඔහුගේ පියා සිය පවුලම සමඟ එංගලන්තය බලා පැමිණි අතර එතැන් සිට ශ්‍රී අරවින්දයන්ගේ අධ්‍යාපනය සිදුවූයේ කේම්බ්‍රිජ් හි කිංග්ස් කොලේජ් හිදීය. අධ්‍යාපනය අවසන් කර 1893 දී ශ්‍රී අරවින්දයන් ඉන්දියාවට පැමිණෙන අතර බරෝඩා හි මහරාජා යටතේ සේවය අරඹයි. මේ කාලයේදී ඉන්දියානු නිදහස් සටනේ යෙදී සිටි කැරළිකාර පාර්ශවයන්ගේ අදහස් කියවීමට ශ්‍රී අරවින්දයන්ට අවස්ථාව ලැබේ. ඒ තුළින් සිය මව්බිම නිදහස් විය යුතුය යන්න යන හැඟීමෙන් ඔහු නිදහස් සටනට එක්වෙයි. වන්දේ මාතරම් සඟරාවට ලිපි ලියමින්, නිදහස් සටනේ යෙදී සිටින පිරිස ශක්තිමත් කිරීම මෙහිදී කැපී පෙනුණි. මේ අතරවාරයේ ශ්‍රී අරවින්දයන් 1908 වසරේදී අත්අඩංගුවට පත්ව්න්නේ බෝම්බ පිපිරවීමකට සම්බන්ධ යැයි සැකපිටය. කෙසේ වෙතත් සාක්කි නොමැති වීම නිසා අවසානය ඔහුව නිදහස් කිරීමට අධිකරණයට සිදුවෙයි. හිරෙන් නිදහස් වීමෙන් පසු අරවින්දයන්ගේ ක්‍රියාකලාපය තරමක් වෙනස් විය. එවකට ප්‍රංශ කොළනියක් වූ පොන්ඩිචේරි ග්‍රාමයට පිවිසෙන ඔහු එහි සිට සිය ආධ්‍යාත්මික ජීවිතය අරඹයි.

සිරගත ජීවිතයෙන් පසුව ශ්‍රී අරවින්දයන්ගේ ජීවන රටාව වෙනස් වූ බව බොහෝ තැන්වල කියැවේ. තමන් විසින්ම නිර්මාණය කරගත් නව යෝගා ක්‍රමවේදයක් හඳුන්වාදීම මේ කාලයේදී ඔහු විසින් සිදුකළ ප්‍රමුඛ කටයුත්තකි. දිව්‍යමය ජීවිතය හෙවත් Life Divine යන සංකල්පය ඔස්සේ සිය දාර්ශනික විග්‍රහයන් සිදුකළ ශ්‍රී අරවින්දයන් වඩාත් කතාබහට ලක්වන්නේ Record of Yoga කෘතිය මගිනි. යෝගා පිළිබද සිය දීර්ඝකාලීන හැදෑරීම් තුළින් මෙම ග්‍රන්ථය රචනා කරන ඔහු මීට අමතරව සාවිත්‍රී නම් මහා කාව්‍ය ග්‍රන්ථයක්ද , Life Divine කෘතිය මෙන්ම The Synthesis of Yoga යන ග්‍රන්ථද රචනා කරයි. මේවාට අමතරව තවත් ග්‍රන්ථ ගණනාවක් ඔහු අතින් ලියැවී තිබේ. පසු කලෙක ශ්‍රී අරවින්දයන්ගේ ඇසුරට පත්වන්නේ මීරා අල්සෆාය. ඇය ඉන්දියාව පුරා ප්‍රචලිත වන්නේ “මාතාව” නමිනි. ඊජිප්තු ජාතික පියෙකුට දාව තුර්කි සම්භවයක් ඇති මවකගේ කුසින් මෙලොව එළිය දකින මීරා ඉන්දියාවට පැමිණෙන්නේ සිය ස්වාමියා සමඟය. එහිදී ශ්‍රී අරවින්දයන් හමුවන ඇය ඔහුගේ දර්ශණය පිළිබඳව පැහැදෙන අතර පසු කාලයේදී ශ්‍රී අරවින්දයන්ගේ ආශ්‍රමයේම නැවතී දර්ශනය ප්‍රගුණ කරයි. පොන්ඩිචේරියේ පිහිටා ඇති ඔරොවිල් නම් විශ්ව ග්‍රාමය ශ්‍රී අරවින්දයන්ගේ සංකල්පයක් මත මීරා විසින් නිර්මාණය කළ ආදර්ශ ගම්මානයකි. ලොවපුරා විවිධ රටවලින් පැමිණි පිරිස් මෙම ගම්මානයේදී සියා ජාති, ආගම් , කුල අතහැර ජීවත්වීම සුවිශේෂීය. ශ්‍රී අරවින්දයන්ගේ සිහිනයක් වූයේ ලෝකයේ සියලු දෙනා බෙදීම්වලින් තොරව සාමකාමීව ජීවත්වන ලෝකයක් දැකීමයි.

1947 අගෝස්තු 15 වැනිදා ඉන්දියාවට නිදහස හිමිවෙයි. දෛවෝපගත සිද්ධියක් වන්නේ ශ්‍රි අරවින්දයන්ගේ ජන්ම දිනයද අගෝස්තු 15 වීමයි. ඉන්දියාවට නිදහස හිමිවුන දා ශ්‍රී අරවින්දයන් ඉන්දියාව පිළිබඳ ඔහු දකින සිහින හතරක් ලියා තබයි. ජීවිතය පිළිබද අනවරත සොයායෑමක් සිදුකරන ශ්‍රී අරවින්දයන් ලේඛකයින් සඳහා වන Nobel ත්‍යාගය සඳහා 1943 හා 1950 වර්ෂවලදී දෙවරක් නිර්දේශ වෙයි. නිදහස ලැබීමෙන් පසු සිය ජාතිකත්ව වාදය අත්හරින ඔහු සමස්ථ ජනතාව ඒකරාශී කරන ඔරොවිල් ගම්මානය නිර්මාණය කිරීම කැපී පෙනෙයි. මෙම ගම්මානයට අදටත් ලොව පුරා විසිරී සිටින ජනතාව පැමිණෙයි.

– රශ්මික මණ්ඩාවල

– ශ්‍රී අරවින්ද සහ මීරා


– ඔරොවිල් විශ්ව ගම්මානයේ ‘මට්‍’රි මන්දීර් නම් ස්ථානය

Leave A Reply

Your email address will not be published.

1 + two =