අපට ශිෂ්ටසම්පන්න විය හැක්කේ අශිෂ්ටත්වයට එරෙහිව අවංකවම පෙනී සිටීම මගිනි

පාර්ලිමේන්තු සභික තිස්සකුට්ටිආරච්චි විසින් පාර්ලිමේන්තුවෙහි පවසන ලද අශ්ශීල කියමන එවන් සභාවකට ගැලපෙන්නට ඉඩ ඇතත් ශිෂ්ට සම්මත මිනිසුන් ඉන්නා සමාජයකට ගැලපෙන්නේ නැති බව ඉතා පැහැදිලිය. ඒ කියමනෙහි ඇති අශ්ශීලත්වය මෙන්ම මහජන නියෝජිතයන්යයි කියනා පිරිසේ තරමද අපට කියා පාන්නේ එය අශෝභන යයි පෙන්වා දුන් පසුව මුලසුන දරන මහජන නියෝජිතයා තමන්ට එවන් දෙයක් පෙනෙන්නේ නැතැයි කීම තුළිනි. අනෙක් අතින් මේ කියමන අප සමාජයෙහි ඇති අශිෂ්ටත්වයේ තරමද මොනවට කියා පායි. ඒ තිස්සකුට්ටි වැනි හාදයන් මහජන නියෝජිතයන් ලෙස පත්කර යවන ලද්දේද පුරවැසියන් විසින්ම වන හෙයිනි. 1977 පැවති ඡන්දයේදී හිටපු ජනපති ප්‍රේමදාස බණ්ඩාරනායක මැතිණියට එරෙහිව මෙවන් අපහාසාත්මක ප්‍රකාශ මහජන රැස්වීම්වල කළා මට මතකය. පසු කලෙක වෙමන් අපහාසයනට චන්ද්‍රිකා බණ්ඩාරනායක හටද මුහුණ දෙන්නට සිදුවූ හැටි අපට මතකය.

වනිතාවන්ට අපහාස කිරීම යනු අප සමාජයෙහි මුල්බැසගෙන ඇති කාලකණ්නි සිරිතකි. මෙය ඇතැම්විට පැවිද්දන් අතින් පවා බණ ස්වරූපයෙන් එනු මම දැක ඇත්තෙමි. එහෙත් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා වැනි ගීත අසනා සමාජයක් මේවා ඉවසන ආකාරය පුදුම සහගතය. දේශපාලන මතය අතින් කවර වෙනස්කම් අප අතර පැවතියද රෝහිණී මහජන නියෝජිතවරිය තමන්ට එරෙහිව කරන ලද මේ අවලම් කතාවට දුන් ශිෂ්ඨ පිළිතුර සම්බන්ධයෙන් ඇයට අපේ ගෞරවය හිමිවිය යුතුය. ඒ තමන් තිස්සකුට්ටිට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි පෙන්වා දීම හේතුවෙනි.
වනිතාවන්ට අවමන් කිරීම අපේ සමාජය තුළ මුල්බැසගෙන ඇති ආකාරය වටහා ගැනීමට වැඩි දුර යායුතු නොවේ. එය අපේ ත්රී වීලර් දෙස බැලීමෙන් වුව වටහා ගත හැකිය. සල්ලි ගස් වලින් කඩන දෙයක් නම් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි ආදී වශයෙන් මෙවන් පොදු වාහන තුළ කෙතරම් සටහන්වී ඇතිදැයි අපේ අවධානයට යොමු වී ඇතිද? වරෙක කඩවත සිට බම්බලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස්රියක අලවා තිබූ ස්ටිකරයක් සම්බන්ධයෙන් මම කොන්දොස්තර සමග පැටළුණෙමි.
ඒ ස්ටිකරය මෙසේය.
කෙල්ලොත් හරියට චයිනීස් ෆෝන් වගේ ගරන්ටි නෑ වොරන්ටි නෑ ඩුවෙල් සිම්.
අප සමාජයට බොහෝ විට මේ වනිතා හිංසනය ගැන කිසිදු අවබෝධයක් නැත. ඇතැම් විට වනිතාවෝම නොදැනුවත්වම තමන්ට හිංසාවන වදන් භාවිතා කරති. නොමනා දෙයක් පිරිමියකු අතින් වූ විට බොහෝ කාන්තාවෝම අසනා සමහර පැණ මෙපරිදිය.
තමුසෙ ගෑනියෙක්ද ඕයි?
ගෑනු වැඩ කරන්න එපා.
දියණියක වැඩිවිය පැමිණි විට මව්වරුන් දෙන අවවාදයක්ද මෙපරිදිය.
කොල්ලෙක් නම් කොහේ ගියත් කකුල් හෝදලා ගෙට ගන්න පුළුවන්. ඒත් කෙල්ලෙකුට එහෙම බෑ.
මේ ඔවදන කරනුයේ ඉතාම සද් චේතනාවෙන් බව පැහැදිලි වුවත් එහි ඇති අවමන්සහගත බව නොවැටහී යාම කනගාටු සහගතය.
වරෙක පරිපාලන සේවයෙහි ඉහලම නිලධාරීන් පිරිසක් සමග පැවති සංවාදයකදී එහි සිටි නිලධාරිණියන් ඉහල තනතුරු වලට කාන්තාවන් පත් කිරීමේදී අසාධාරණකම් සිදුවන බව පැවසූ විට පිරිමි පාර්ශවය ඊට දුන් පිළිතුරු පෙන්වා සිටියේ තනතුරු කවරක් වුව ඔවුන් සිටිනුයේද ඉතා පසුගාමී තැනක බවයි. ඇතැමෙක් එහිදී කීවේ තනතුරු දෙන්නට බැරි කාන්තාවන්ට රෑ වන තුරු ඉන්න බැරි නිසා බවයි. නැතිනම් ඔවුන් පමා වූ පසුව නිවෙස් වලට ඇරලවන්නට රියදුරු සහිත වාහන යොදවන්නට සිදුවන නිසා බවයි. එහෙත් ඊට පිළිතුරු දුන් නිලධාරිණියන් කීවේ තමන් දැන් රිය පැදවීමේ බලපත්‍ර පවා ලබාගෙන ඇති බවත් තමන්ටද පිරිමින් සමග හරි හරියට වැඩ කරන්නට හැකි බවත්ය.

පසුගිය ජනපතිවරණයේදී කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා දෙන බවට සජිත් කී විට ඊට එරෙහිව අවි අමෝරා ගත්තෝද වැඩි වශයෙන්ම වනිතාවෝය. ඇතැම් නිළියන් යයි කියාගන්නා වනිතාවෝ එහිදී හැසිරුණේ තමන්හට මහත්ම අපහාසයක් කළ අයුරිනි. එහෙත් මේ කිසිවකුට හෝ තිස්සකුට්ටි කළ අපහාසය පෙනුනේ නැත.
දැන් තිස්සකුට්ටි සීමාව ඉක්මවා ගොස් හමාරය. ඒ ගැන පාර්ලිමේන්තුවේ ඉන්නා වියපත්, වියත්, ආදී කිසිවකුට වගේ වගක් නැත. හරිනම් විය යුතුව තිබුණේ ඒ නොමනා කතාව කරනා විටම ඊට සභාව තුළින්ම විරෝධය මතුවීමය. එහෙත් තිස්සකුට්ටිගේ දේශපාලන ගුරුවරුන්ගේ සිට මහජන නියෝජිතයන් ඊට විරෝධය පල කළේ නැත. බොහෝ විට හෙට දවසේදී සිදුවීමට ඉඩ ඇත්තේ ඔන්න ඕක අමතක කරලා දාමු වැනි කතාවකින් සියල්ල යටපත් වීම පමණි.
එහෙත් සමාජය මෙය ඒ හැටියෙන්ම භාරගත යුතුද? මහජන නියෝජිතයෙකු විසින් කරන ලද මේ අශ්ශීල කියමන සමස්ත සමාජයේම විරෝධයට ලක්විය යුතුය. මෙය ජනතාව මහජන නියෝජිතයන්ට වඩා ශිෂ්ටසම්පන්නව පෙන්වා සිටීමට කදිම අවස්ථාවකි. එහෙයින් සියළුම දෙනා එක්ව මේ කියමනට තමන්ගේ විරෝධය පල කර සිටිය යුතුය. එය පාර්ලිමේන්තුවට, කතානායකවරයාට දැන්වීමට ජනතාව ඉදිරිපත් විය යුතුය. මෙවන් අය මහජන නියෝජිතයන්දැයි කල්පනා කිරීමට අප මෙය අවස්ථාවක් කරගත යුතුය. ශිෂ්ට ජනතාවක් වෙසෙන කොදෙවුවක නම් මේ වන විටත් විකල්ප මහජන අවකාශයන් මේ සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ හමාරය. සැබැවින්ම නම් අප කළ යුත්තේ මේ අශ්ශීල කියමන සම්බන්ධයෙන් මහජන මතය විමසීමට අපට ඇති අවකාශයන් භාවිතා කිරීමය. එසේ කර සමාජය මෙවන් දෑ නොඉවසනා බව අදාල පුද්ගලයන්ට කෙලින්ම පෙන්වා දී මෙවන් අශ්ශීලයන්ට එරෙහි පියවර ගත යුතු බව මතක් කර දීමය. අප ශිෂ්ට සම්පන්න නම් මෙවන් උදවිය මහජන නියෝජිතයන් ලෙස සිටීම නොඉවසිය යුතුය.
අශ්ශීලයන්ගේ මෙවන් හිංසනයන් ඉවසා සිටීමේ හෝ අමතක කර දැමීමේ අව සම්ප්‍රදාය දැන්වත් අප නතර කළ යුතුය. වනිතාවන්ට ගරු කරනා සමාජයක් වෙනුවෙන් අප සාමූහිකව සංවාදයක් ඇරඹීම අවශ්‍ය වන්නේ තිස්සකුට්ටි මෙහි පළමුවැන්නා හෝ අවසානයා නොවන බැවිනි. අපද මෙහිලා ස්වයං විවේචනයක් කළ යුතුමය. සමාජය තුළ අවිඥානිකව මුල් බැසගෙන ඇති මෙවන් අදහස්වලට එරෙහිව අප තුළින්ම විරෝධය ඇති කරගත යුතුය. වනිතාවනට ගරු කළ යුතුය යන්න අප පලමුවෙන්ම කියා දිය යුත්තේ නිවසෙනි. ඉන්පසුව පාසලෙනි. එවිට අපට යා හැකි දුර බොහෝය.
ඉදින් අපට මේ ගමන තිස්සකුට්ටිගේ අශ්ශීල කියමනට එරෙහිවීමෙන්ම ආරම්භ කළ හැකිය. අපට ශිෂ්ටසම්පන්න විය හැක්කේ අශිෂ්ටත්වයට එරෙහිව අවංකවම පෙනී සිටීම මගිනි. මානසික රෝහල්වල සිටිය යුතු රෝගීන් මහජන නියෝජිතයන් බවට පත් කරනා මානසික රෝගී පුරවැසියන් බවට අප පත් නොවී සිටීම මගිනි.
දැන් බෝලය ඇත්තේ අප පැත්තේය. දැල යටින් එය යවා වෙනදා මෙන්ම පරාජය භාරගන්නවාද ඩෑෂ් පහරක් ඊට එල්ල කරනවාද යන තීරණය ඇත්තේද අප අතමය.

– චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

20 − seven =