කින්නියාවල දරුවන් 4 දෙනාගේ මරණ ‘හදිසි අනතුරු’ නොව සාමූහික මිනීමැරුක්

කින්නියාවල පාලම් පාරුවක් පෙරළිලා මියගිය අහිංසක දරුවන් හතර දෙනා ගේ මරණ ‘හදිසි අනතුරු’ නෙවෙයි සාමූහික මිනීමැරුම්.

අවුරුදු 72ක් තිස්සේ මේ රට මේ තියන තැනට ඇදගෙන ආපු පාලකයන්… පහුගිය දශක ගාණක් තිස්සේ එක එක ආණ්ඩුවල තනතුරු දරලා, පරම්පරා හතකට ධනය උපයලා, මේ වෙලාවෙත් පාර්ලිමේන්තුවේ පිස්සු නටන අවස්ථාවාදීන්… හැම ආණ්ඩුවක් එක්ක ම බිස්නස් කරන, කොන්ත්‍රාත් ගන්න, යටිමඩි ගහන ජාවාරම්කරුවන්… තමන් ගේ ආත්මාර්ථකාමී වුවමනා වෙනුවෙන් මේ දූෂිත ක්‍රමය දැනටත් නඩත්තු කරගෙන මේ රටේ බහුතර ඡන්ද දායකයන් වගේ හුඟක් අය මේ සාමූහික මිනීමැරුම්වලට එක තරමට ම වගකියන්න ඕනෙ.
දැක්මක් නැති බලකාමයෙන් පිරුණු උන්මත්තකයන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට සිදුවුණු පළමු මරණයත්, අවසන් මරණත් මේවා නෙවෙයි. දශක ගණනාවක් තිස්සේ මේ රටේ ගණන් කරන්න බැරි තරම් මිනිසුන් ප්‍රමාණයක් පාලකයන් ගේ අසමත්කම් වලට තමන් ගේ ජීවිතයෙන් වන්දි ගෙව්වා. අපි හැම වෙලාවකම ඒවා ඒ මිනිසුන් ගේ “කරුමේ”, “අවාසනාව”, “ලබා උපන් හැටි” කියලා දවසක් දෙකක් දුක්වෙලා අමතක කරලා දැම්මා.
මේ මරණවලටත් වෙන්නේ ඒ ටික ම තමයි. ඒ මැරුණ දරුවන් ගේ ඇඳුම් දැකලා, සෙරෙප්පු දැකලා හදවත් උණුවෙලා හැඟීම්බර කතන්දර ලියන මිනිස්සුන්ට තව දවස් දෙකකට වඩා මේ කිසි දෙයක් මතක තියෙන්නේ නැහැ.

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර මේ දවස්වල තියන ටෙස්ට් තරගය ලංකාව දිනපු ගමන්, තිස්සකුට්ටිආරච්චි තව මොකක් හරි ගොන් කතාවක් කියපු ගමන්, දේශපාලන පක්ෂයක් කොළඹට මිනිස්සු ගෙන්නලා ඔළුගෙඩි පුරවලා සංදර්ශනයක් කරපු ගමන් මේ හැම හැඟීම්බර කතන්දරයක් ම අමතක වෙලා යනවා.
මේ රටේ අනාරක්ෂිත ප්‍රවාහන ක්‍රම ගැන, මාර්ග සංවර්ධනයට වැය කරන මුදල් ගැන, හයි වේ – ජොගිං ට්‍රැක්වල උපයෝගිතාව ගැන මේ දවස්වල විශ්ලේෂණ ලියන අයටත්, කියවන අයටත් ඒ හැම දෙයක් ම අමතක වෙලා යනවා.

ඊට පස්සේ කින්නියාවල ළමයිනුත්, තිස්සමහරාමයේ ළමයිනුත් තමන්ට පුළුවන් විදියට ඉස්කෝලෙ යනවා, පාර්ලිමේන්තුවේ ඉන්න උන් පිස්සු නටනවා, මිනිස්සු පුපුරලා යන්න ඔන්න මෙන්න තියන ගිනිකන්දක් මුදුනට වෙලා එදිනෙදා තියන සිල්ලර මාතෘකා එක්ක දවස් ගතකරනවා.

ඒ මිනිස්සු ම ආයෙ ඡන්දයක් තියෙනකොට එක්කෝ තමන්ට පුද්ගලිකව මොනව හරි දෙයක් කරගන්න හිතාගෙන… එහෙම නැත්නම් වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම්, නාග ධාතු වගේ අතේ පැළවෙන දේශපාලන බොරුවලට අහුවෙලා… එහෙම නැත්නම් කටේ කෙළ විසිවෙනවා වගේ දෙන ඡන්ද පොරොන්දුවලට රැවටිලා… එහෙමත් නැත්නම් රජ කාලේ වගේ තාත්තගෙන් පුතාට හෝ අයියගෙන් මල්ලිට රජකම ලබාදෙන්න තියන වුවමනාව නිසා… අන්තිම මෝඩ විදියට තමන් ගේ ඡන්ද බලය පාවිච්චි කරනවා.

ඊට පස්සේ මේ ඉන්න තක්කඩි පිරිස හෝ මේ වගේ ම තවත් තක්කඩි පිරිසක් බලයට පත්වෙලා පරණ පුරුදු විදියට ම, දැක්මක් නැතුව, ප්‍රතිපත්තියක් නැතිව මිලියන 22ක ගව රැළක් දක්කනවා වගේ රට පාලනය කරනවා. පරිප්පු ඇටේට පවා බදුගෙවන දුප්පත් ම මිනිසුන් තමන් ගේ මූලික අවශ්‍යතාවත් සපුරන්ම බැරුව බල්ලන් බළලුන් වගේ මැරිලා යනවා.

ඔබ හිතන්නේ ලංකාවේ තියෙන සියලු ම ප්‍රශ්න විසඳලා, රටේ හැම මනුස්සයාට ම මාසයක් නිකම් කන්න දෙන්න තරම් සල්ලි ලංකාවේ මිනිස්සු ගාව නැහැ කියලාද? ඕනෙ තරම් තියනවා! ඒත් ඒ සල්ලි තියෙන්නේ හොයන්න බැරි තැන්වල. පැන්ඩෝරා පත්‍රිකාවලින්, පැනමා පේපර්ස්වලින් එළියට එන්නේ ඒවයින් ඉතා ම කුඩා කොටසක් විතරයි. ඒ එන පුංචි කොටස මෙහෙම නම්, නිරූපමා රාජපක්ෂ වගේ කෙනෙක් මේ තරම් විශාල මුදල් සම්භාරයක් අවුරුදු 10-15ක් ඇතුළත උපයලා තියනවා නම් ඊට වඩා ලොකු අය තමන් ගේ මුළු ජීවිත කාලය තුළ ම හංගලා තියෙන සල්ලි කොච්චරක් වෙන්න ඕනෙද? මෙහෙම හංගලා ගොඩගහන සල්ලිවල ඇත්ත අයිතිකාරයන් කවුද? ඒ සල්ලිවල ඇත්ත අයිතිකාරයන් දැනගන්න ඕනෙ නම් කින්නියා අනතුරෙන් මියගිය ඒ අහිංසක පුංචි දරුවන් ගේ මුහුණු දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න. ඒ වගේ තවත් කී දෙනෙකු ට මේ දේශපාලන සාපය වෙනුවෙන් වන්දි ගෙවන්න වෙයිද කියලා හිතන්න. ඒ තමයි අර ගොඩගහන සල්ලිවල ඇත්ත අයිතිකාරයන්.
ඒ නිසා මේ වෙලාවේ තියෙන ඇත්ත ප්‍රශ්නය කින්නියා දරුවන් ගේ මරණවලට වඩා ලොකුයි. ඒ ඇත්ත ප්‍රශ්නය තමයි අපි මේ කාලකණ්නි චක්‍රයෙන් මිදෙන්නේ කවදාද, මිදෙනවා නම් ඒ කොහොමද කියන එක.
මම මේ මොහොතේ මේ රටේ මිනිස්සුන්ගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මම බලාපොරොත්තු වෙන එකම දෙය මේ රටේ මිනිස්සු අඩු ම ගාණේ ඊළඟ ඡන්දය වෙනකල් හරි මේ කින්නියාවල දරුවන් ගේ මරණ සහ ඒ මරණවලට ඇත්තට ම වගකිව යුතු අසමත් පාලකයින් ගැන මතක තියාගෙන ඉඳීවි කියලා.

ඒ වගේ ම කවුරු හරි බලලෝභී උන්මත්තකයෙකු ගේ නම ඉදිරියෙන් කතිරය ගහලා තව අවුරුදු 5කට ඒ උන්මත්තකයාට බලය දෙන්න කලින් මේ පුංචි දරුවන් ගේ මරණවල ලේ තමන් ගේ අතේත් ගෑවිලා තියන බව මතක් කරගනියි කියලා.

එච්චර කල් මේ වගේ සිදුවීමක් මතක තියාගන්න පුළුවන් මිනිස්සු ලංකාවේ හිටියොත් ඡන්දයක් දෙන්න කලින්, පාලකයෙකු තෝරගන්න කලින්, දේශපාලනඥයෙකු කියන දෙයක් විශ්වාස කරන්න කලින් එක වතාවක් නෙවෙයි සිය වතාවක් හිතයි. එතකොට ටිකෙන් ටික මේ දේශපාලන අන්ධකාරය නැතිවෙන්නට පටන් ගනියි.

– රසික ජයකොඩි (fb)
24 – 11 – 2021

Leave A Reply

Your email address will not be published.

12 − 3 =