80 දශකයේ අපි දුටු බර්ටිත් දැන් රෝදපුටුවක සිටින බර්ටිත් අතර කතාවේ කොච්චර තැන් අපට මගහැරිලා ඇද්ද

ආදරණීය බර්ටි ගුණතිලක ..
මාතලේ තානායම පිහිටා තිබුණේ බර්නාඩ් පිට්ටනිය ආසන්නයේ.80 දශකයේ මගේ පියා තානායම් කළමනාකරු විදියට එතැන වැඩ කරා .මට එතකොට යන්තම් අවුරුදු හතක් අටක් ඇති .මාතලේ බර්නාඩ් එකේ තමයි හැම සැණකෙළියම ,හැම සංගීත සංදර්ශනයක්ම තිබුනේ.ඉතින් මුළු ලංකාවටම තරු වෙච්ච මිනිස්සු මට තරු වුණේ නෑ .මොකද ඒ සියලු දෙනා තානායමට එන නිසා ,මට හැම කෙනෙක් ගැනම පොඩි එකෙක් විදියට මගේ ඔළුවේ මැවුණු චිත්‍රයක් තිබුණා .ඒ අතරින් බර්ටි ,ඇනස්ලි , සැමුවෙල් ගැන තියෙන මගේ අත්දැකීම වෙනස් .සියලු දෙනා තැන් තැන් වල සතුටු සාමීචි සහ මධුවිතින් සන්තර්පණය වෙද්දි …මෙම තිදෙනා කැපී පෙනුනෙ සංගීත සංදර්ශනයේ ‘ විනෝද සමය ‘ අඩහෝරාවට තානායම් බැල්කනියේ පුහුණුවීම් කරන නිසා වෙන්නැති.එනිසා ඒ මතකය ටිකක් සුවිශේෂී එකක් වුණා .වර්තමානය තෙක්ම ‘විනෝද සමය’රසවිඳීමට ඒ මතකය ගැටගැහුනේ මටත් හොරෙන් .

මේ කාලේ ද ඒ කාලේ ද කියලා විශේෂයක් තිබුනෙ නෑ හැමදාම මිනිස්සු හිනා උනේ ආයාසයෙන් .නිරායාසයෙන් හිනාවෙන්න පුළුවන් රටක නෙමෙයි අපි ජීවත් වුණේ .හිනාවට සතුටට බාධා වු රටක විඳවීම් හැලහැප්පීම් එක්ක හුස්ම ගන්න මිනිස්සු කන්දරාවක් හිනස්සන එක මහා වගකීමක් විදිහට ගත්ත තුන් කට්ටුවක් තමයි බර්ටි ,ඇනස්ලි, සැමුවෙල් කියන්නේ .වර්තමානයේ youtube නාලිකාවන්හි comedy segments වෘත්තියක් ආකාරයටම සාධනය වූ තරුණ ජීවිතවල පූර්වාදර්ශ මතකය ද මෙය වන වග පැහැදිලියි .එනිසා මොවුන් මාවතක් පෙන්වා දුන් තිදෙනෙක් ලෙස කීම විවෘත සත්‍යයක් .

මොවුන් තිදෙනාගෙන් සැමුවෙල්, ඇනස්ලි අප හැර ගිහින් .තනිවූ බර්ටි ගොඩකවෙල, වෙහෙරහැර පිහිටි නිවසේ තම දියණිය ජීවනී සමග මෙම අසීරු කාලයේ තවමත් ජීවත් වන එකම සාක්ෂියයි.
බර්ටි 1924 අගෝස්තු 02 නුවර පළාතේ අතමිට සරු පවුලක බාලයා විදිහට උපත ලබනවා.බර්ටිට සොහොයුරන් දෙන්නෙක් සහ සොහොයුරියන් දෙන්නෙක් ඉන්නවා. ඔහුගේ පියා වතු අධිකාරීවරයෙක්. අම්පිටිය මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය අරඹන බර්ටි අටවන වසරෙන් පස්සෙ මහනුවර සංඝරාජ පිරිවෙනේ මාබෝපිටියේ මේධංකර හිමියන්ගෙන් පාලි සංස්කෘත හදාරනවා. ඔහුගේ හීනෙ වෙන්නෙ ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන එක.මූලික විභාග සමත් වෙලා බර්ටි කොළඹ ආයුර්වේද විද්‍යාලයට ඇතුළත් වෙනවා.එතකොට බර්ටිට වයස අවුරුදු දහ අටයි. මෙහෙම අවුරුද්දක් විතර ඉද්දි බර්ටි අදහස වෙනස් කරගන්නවා. බර්ටි කුලියාපිටිය ගල්පොල විද්‍යාලයට ගුරු පත්වීමක් අරන් යනවා. තවත් අවුරුද්දකින් බර්ටි “සිංහල බෞද්ධයා” පත්තරේ සෝදුපත් බලන්නෙක් විදිහට පත්වෙලා යනවා.ඉන්පස්සෙ “සිංහලේ” හා “සිංහල ජාතිය” පුවත්පත්වලත්, ලේක් හවුස් ආයතනයේ අවුරුදු එකොළහක් පමණත් සේවය කරනවා.

ළමා පිටියෙන් ගුවන් විදුලියත් එක්ක ගැටගැහෙන බර්ටි, 1952 අවුරුද්දෙදි එච්.ඩී විජේදාස මහතාගේ “ඉස්කෝලයක්” කියන ගුවන් විදුලි විකට වැඩසටහනට සම්බන්ධ වෙනවා. මේ වැඩසටහන තමයි මුල් වතාවට සැමුවෙල්, බර්ටි, ඇනස්ලි විකට ත්‍රිත්වය නිර්මාණය කරන්නෙ. 1956 අවුරුද්දෙදි ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්මයා, විජේදාස මහත්මයාගෙම “විහිළු තහළු” කියන විකට වැඩසටහන “විනෝද සමය” නමින් ප්‍රතිනිර්මාණය කරනවා. අසමසම නිර්මාපක හවුලක් විසින් ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ සටහන් කරපු අසමසම සලකුණක්, “විනෝද සමය”.
“දවසක් මමයි ඇනස්ලියි ගුවන් විදුලිය ළඟ ඉඳලා කිරිබත්ගොඩ පැත්තට යන බස් එකකට ගොඩවෙලා ඉන්නකොට කොල්ලො දෙන්නෙක් නැඟලා සණ්ඩුවක් ගැන කතාවක්. එකෙක් ඇහුවා ‘කොහොමද මචං ෆයිට් එක’ කියලා.අනිත් එකා කියනවා ‘ඌ මට ගැහුවා මට ඌ ගැහුවා’ කියලා.බලාගෙන ගියාම ගහලා තියෙන්නෙ ඌටමයි. ඒ කතාව අපි වැඩසටහනට ගත්තා. එහෙම තමයි අනික්වත්”
බර්ටි 1983 කල්පනා සඟරාවට මෙහෙම කියලා තිබුණා.
බොහෝවෙලාවල මේ තුන් කට්ටුවේ “මහත්තයා” ඇනස්ලි ඩයස්. සැමුවෙල් රොඩ්‍රිගො නිරූපණය කළේ “අමාරිස්”ගෙ චරිතය.මේ තුන්දෙනා අතර තිබුණු දැඩි මිත්‍රත්වයේ බැඳීම ඒ අයගේ නිර්මාණවල සාර්ථකත්වයට කෙළින්ම බලපෑවා.
රත්නපුරේ පදිංචි සෝමා ගුණතිලක සමඟ විවාහ වන බර්ටි සිව්දරු පියෙක්.

“විහිළු කරලා ආර්ථික තෘප්තියක් ලබන්න හිටියානම් හිනාවෙන්න නෙවෙයි අඬන්නයි වෙන්නෙ.මේක මට ආත්ම වින්දනයක් විතරයි “.
-බර්ටි ගුණතිලක –

“ජීවිතය ළඟට ඛේදාන්තයක් විදිහටත් දුරට සනීප විහිළුවක් විදිහටත් පේනවා”
– චාලි චැප්ලින්-

අවුරුදු අනූ හතක් ගෙවා නිමකර හිඳින තැන ගැන සංවාදයේ යෙදෙන්නට ඔහුගේ කටහඬ දැන් වාරු නෑ .ඔහු බැලීමට ගොඩකවෙල නිවසට ගිය අපට හිතුනේ 80 දශකයේ අපි දුටු බර්ටිත් දැන් රෝදපුටුවක සිටින බර්ටිත් අතර කතාවේ කොච්චර තැන් අපට මගහැරිලා ඇද්ද යන්නයි .

– අතුල පතිරණ (fb)

Leave A Reply

Your email address will not be published.

nine + eight =