තිස්ස කුට්ටිආරච්චි අහම්බයක්ද?

පාර්ලිමේන්තුවෙදි කාන්තාවන්ට ලිංගික අපහාස කිරීම ගැන කතානායක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට අවවාද කරලා.
එක අතකට ඒකත් පුදුමයි.
මහින්ද යාපා අබේවර්ධන කියන්නේ ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට මිනීමරුවෙක් කියල අධිකරණය තීන්දු කරපු කෙනෙකුට මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දෙන්න අවසර දීල පාර්ලිමේන්තු ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එකතු කරපු කතානායක.
නිකමට හරි ප්‍රේමලාල් ජයසේකර විරුද්ධ පක්ෂ හිටියේ නම් මහින්ද යාපා මේ තීන්දුවම දේවිද?
ඒ නිසා වැඩකට ඇති දෙයක් නොවුණත් මහින්ද යාපා වගේ කෙනෙක් එහෙම අවවාද කරපු එකත් පුදුමයි.
ආත්මය, සදාචාරය පාවා දීල හැම දෙයක්ම පක්ෂ, පාට කන්නාඩි දාගෙන බලන සමාජයක ආණ්ඩු පක්ෂයේ ඉඳගෙනම ඒ ගැන කෙලින් කතා කරපු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමීට මල් මිටක්!
ඒත් මගේ තර්කය වෙන දෙයක්.
කුට්ටිආරච්චි කියන්නේ අහම්බයක්ද?
මහ ලොකුවට බුදු දහමෙන් පෝෂණය වෙලා කියල පාරම් බෑවට ලංකාවේ තියෙන්නේ පාරට බැස්සොත්, පොදු ප්‍රවාහනයේ ගියොත්, කඩේකට ගියොත්, කාර්යාලයට ගියොත්, මාධ්‍ය ආයතනවල, සරසවිවල … මෙකී, නොකී හැම තැනකදිම ඉඟියෙන්, වචනයෙන්, බැල්මෙන්, ශාරීරිකව … මේ හැම විදියකටම කාන්තාව ලිංගික හිංසාවට ලක් කරන කුනුවෙච්ච සමාජයක්.
නීතිය රකින්න ඉන්න පොලිසියේ දිම පොලිස් කාන්තාවත් ලිංගික හිංසනයට ලක්වෙන සමාජයක්.
මේ කිසි දෙයක් වරදක් කියල නොදකින සමාජයක්.
කාන්තාවට තමන් කැමති ඇඳුමකින් සැරසෙන්න අයිතියක් නැති සමාජයක්.
තමන් කැමති කෙනෙකුට පෙම් කරන්න, ලිංගික පහස ලබන්න කාන්තාවටත් අයිතියක් තියෙනව කියල පිළිනොගන්න සමාජයක්.
තවමත් මංගල යහනේදී කාන්තාවගේ කන්‍යාභාවය හොයන සමාජයක්.
ඒ සේරම කරලා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු රැජින ගෙනල්ල දීපු බොරු, කුහක සදාචාරයට “සිංහල, බෞද්ධ සංස්කෘතිය” කියල නමක් දාගත්තු සමාජයක්.
බ්‍රිතාන්‍යය ඒ සේරම වෙනස්කරලා දැන් ගොඩක් කල්. දැන් ඒක සිංහලයාගේ ඊනියා “සදාචාරය.”
“ගෙදර බුදුන් අම්මා” කියල ප්‍රසිද්ධියේ බොරුවට කාන්තාවට උපහාර පුදලා අවස්තාව ලැබෙන හැම ක්ෂණයකදිම, හැම විදියකටම කාන්තාව ලිංගික පීඩනයට ලක්කරන ආත්මය පිළුණු වෙච්ච සමාජයක්.
ඉතින් පාර්ලිමේන්තුවේ විතරක් ඒක වෙනස් වෙන්නේ කොහොමද?
පාර්ලිමේන්තු යන්නේ මේ සමාජයේ මිනිස්සු නෙමෙයිද?
ලංකාවේ දේශපාලන රැස්වීම් ගන්න.
රිචඩ් පතිරණ කියන්නේ ගුරුවරුන්ගේ අභිමානය රකින්න විශේෂ මෙහෙයක් කරපු, හොඳ කොන්දක් තිබුණ ගරු කටයුතු අධ්‍යාපන ඇමතිවරයෙක්.
ඒත් රිචඩ් පතිරණගේ දේශපාලන රැස්වීම් අහල තියෙනවද?
ඒ රැස්වීම්වල රිචඩ් කාන්තාවට අපහාස කරද්දී, කීදෙනෙක් අත්පොලසන් දුන්නද?
අනුර බණ්ඩාරනායක තමන්ගේ අක්ක ගැන දේශපාලන වේදිකාවේ කියපු කතා මතකද?
දේශපාලන වේදිකාවේ විතරක් නෙමෙයි, ජාතික නාලිකාවක පවා මර්වින් සිල්වා කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කරද්දි, රෝසි සේනානායකල, දයාසිරිලා විරුද්ධ වෙලා නැගිටලා ගියාද?
මහා ගෞරවනීයයි කියන ලංකාවේ නීති සම්පාදනය කරන ආයතනය ඇතුලෙදිම තිස්ස කුට්ටිආරච්චි ඒ අතිශය පහත් ප්‍රකාශය කළේ මේ වගේ පසුබිමක.
ඒක අහම්බයක් නෙමෙයි.
තිස්ස කුට්ටිආරච්චි අපේ සමාජයේම කැඩපතක්.
ඔහු නියෝජනය කරන්නේ මේ කුනුවෙච්ච සමාජය.
කාන්තාවන්ට සහ ගැහැනු ලමුන්ට සිදුවෙන හිංසනයට එරෙහිව නොවැම්බර් 25 ඉඳල දෙසැම්බර් 10 වෙනකල් ලෝකේ පුරාම දවස් 16ක ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත්වෙනවා.
“Orange the World: end Violence against Women Now” ඒකෙ තේමාව. එහෙම සැමරීමක් අත මායිමේ තියාගෙන පාර්ලිමේන්තුවකින්ම මෙහෙම ඇහෙද්දි …
රෝහිණී කවිරත්න කිවුව වගේ, කතානායකගේ අවවාද කිරීම කියන්නේ දඬුවමක් නෙමෙයි.
මුළු සමාජය පුරාම සිද්දවෙන්නෙත් ඒකයි.
කාන්තාව කියන්නේ ලිංගික භාණ්ඩයක් නැත්නම් “බඩුවක්” කියන ආකල්පය වෙනස් නොවෙන තුරු, ඒ ලිංගික හිංසනයට නිසි දඬුවම් නොදෙන තුරු ඒ තිස්සත්, මේ තිස්සත් විතරක් නෙමෙයි, තවත් තිස්සලා ඔය විදියටම ඉදිරියටත් ලංකාවේ කාන්තාව හැම තැනකදීම ලිංගික හිංසනයට ලක් කරාවි.
සංවාදයට විවෘතයි.

-සරෝජ් පතිරණ (fb)

Leave A Reply

Your email address will not be published.

two × 5 =