ඔහු දිවි ගමන නිම කළේ ලෝකය වෙනස් වන බවට වන අචල විශ්වාසය සමගිනි

සිරිලාල් කොඩිකාර දියවැල ඔස්සේ ගමන නිම කරයි

තිස් වසරක සිවිල් යුද්ධය අවසානවීමත් සමගම රට පුරා හමා ගිය වර්ගොත්තමවාදයේ කලි කලහය මැද සමාජය යළි යළි ඛණ්ඩනය වෙමින් සිංහල බෞද්ධකම යන්න රටෙහි දේශපාලන අවිය බවට පත්වෙද්දී අනෙකා බැහැර කිරීම අන් කවරදාටත් වඩා දරුනු තත්වයකට පත්වූවේ රටෙහි නායකයා දැන් ඉතින් ඉන්නේ දේශප්‍රෙමී සහ දේශද්‍රෝහී යනුවෙන් කණ්ඩායම් දෙකක් බව කියමින් එක්කෝ අපේ පිලට වරෙව් නැත්නම් තොලොංචි වෙයව් යන අනතුරු ඇඟවීම සිදු කළේය. ඒ සමගම සදාචාර පොලිසිය අන් වකරදාටක් වඩා ඉදිරියට පැමිණුනේ සුපිරිසිදු, රහසින්වත් පවු නොකරන, පැවිද්දන් ඇතුළු සදාචාරවාදීන් සිය බල නන්චකු වලින් පහර දෙන්නට පටන් ගනිද්දී විචාරය සහ විවේචනය යන්න නොඉවසන අන්තවාදී කල්ලි අන් කවරදාටත් වඩා ඉස්මතු වන්නට පටන් ගත්තේය.

මේ අර්බුද සමයෙහි එක් දිනෙක හරියටම කියනවා නම් 2014 බක් මස 08 වැනිදා ලංකාවේ විසූ එක් කීර්තිධර ලේඛකයෙකු, පුවත්පත් කලාවේදියකු ලංකාදීප වීමංසා අතිරේකයෙන් අපූරු අදහස් ගණනාවක් සමාජයට ඉදිරිපත් කර තිබිණි. ඒ ගාමිණී කන්දෙපොල සමග කතාබහකට එක්වෙමිනි. බෝසත් චරිතය වන්දනීය අර්ථයෙන් මිස අන් කවර විචාරාත්මක තලයක හෝ පිහිටුවීම නොඉවසූ ඒ අවධියෙහි ඔහු අපේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය උදාහරණයට ගනිමින් ලිංගිකත්වය ගැන එඩිතරව අදහස් පල කළේ සිය දිවියෙහි අනූවෙනි විය පසු කරද්දීය. එසේ සිය දිවියෙහි නමවන දශකයෙහිද නොසැලී තම මතයෙහිම එල්බගෙන කශේරුකාව බිඳ නොගෙන සිටි මිනිසා අන් කවරකුවත් නොව සිරිලාල් කොඩිකාරයන්ය.
මේ එදා ඔහු කී වදන් ය.
ලිංගිකත්වය ජීවිතයට සම්බන්ධ දෙයක්. යම් යම් කරුණු අසභ්‍යයයි කියලා ඉවත් කරන්න පුළුවන්කමක් නෑ. පැරණි සම්භාව්ය සාහිත්‍යයේ වුනත් ඕනෑ තරම් මේ වගේ වර්ණනා තියෙනවා. සමහර ලිංගික හැසිරීම් පවා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේකරය වාගේ පොත්වලත් කලාත්මකව විස්තර වෙනවා. ඉතින් ඒවා බැහැර කළ යුතුයි කියලා මම නම් හිතන්නෙ නෑ.
බෝධිසත්වයන් වහන්තසේ සේනක පඬිවරයාව සිටින කාලයේ ඔහු විවාහ ජීවිතය ආරම්භ කළ සැටි මොන තරම් කලාත්මකව කාව්‍යශේඛරයේ මේ කව් පෙලින් ඉදිරිපත් කරනවාදැයි බලන්න.

යහනින් ඇකට ගෙන
පුළුලුරට ගත් ඇකයෙන
ගැන්නුම් පට පිලෙන
තර ව ගත් කරතඹර යුවළෙන
ඩාදිය බිඳු විපුල්
විළියෙන් පියූ නෙතුපුල්
තුනුවඟ මුව කමල්
නොහැර සිඹ රත ලවන මනකල්
සියුමැලි ගත කොමළ
විදිනෙව් විරඟ ඇඟ තුළ
ඇද වැළඳ මනදොල
පිරී සිතු ලෙස අවල කෙලි කෙල

එදා අනූවෙනි වියෙහිදී වුව කාව්‍යශේකරයෙහි සවන සගෙහි රති ක්‍රීඩා වර්ණනය (පිටු 89-91) උදාහරණයට ගනිමින් ඔහු පල කළ අදහස් අතිශය නිර්භීත වූවා සේම ඊනියා පැවිද්දන් මෙන්ම ගිහියන්ද විලිවද්දන සුළු වීය. එදා ඔහු මනුශ්‍ය ජීවිතයේ විචිත්‍රත්වය වෙනුවෙන් පෙනී සිටියේ ඊනියා සදාචාරවාදීන්ගේ ඇස නොගැටුන සම්භාව්‍ය සිංහල සාහිත්‍යය උරුමය තරව ගනිමිනි.
සිරිලාල් කොඩිකාර වෙත මා තදින් ඇදී ගිය ආකාරය මගේ දිවියෙහි නොමැකෙන අත්දැකීමකි. 1989 වසරේ දෙසැම්බර් මස නමවෙනිදා පැහැරගෙන යනු ලැබ මා බෞද්ධාලෝක මාවතේ වධකාගාරයක සිරකරනු ලැබිණි. ඒ කටුක සමයෙහි හෙටක් ගැන අපේක්ෂාවක් පවා නොමැතිව ගෙවුන හෝරාවන්හී මා සිටියේ විලංගු ලූ දෑත් සහ දෙපයින් යුතුව වැසිකිලි කාමරයකය. මට තනියට සිටියේ දිවා රෑ වියරුවෙන් මෙන් දැල්වුන විදුලි බුබුල පමණි. මේ වැසිකිලියෙහි කොනක පොත් ගොඩත් තිබිණි. නිසැකවම ඒ කිසියම් සහෝදරයෙකුගේ නිවසකින් අත්අඩංගුවට ගත් ඒවාය. එහි මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ එකතු කළ කෘතිවල සෝවියට් මුද්‍රණ තිබිණි. ඉදින් රැකවලුන් නොමැති අවස්ථාවල වැසිකිලියෙහි දොර වසා අගුළු දමා තිබීමේ වාසිය ගනිමින් මම ඒ එකිනෙක කියවීමි. මට සිරිලාල් කොඩිකාරගේ දියවැලක් ඔස්සේ හමුවන්නේ එහිදීය. දියවැලක් ඔස්සේ යනු මාගම් තෙන්කොන්ගේ දිවිසයුරෙන් දිය දෝතක්, සුමන ආලොක් බණ්ඩාරගේ සුමන මතක සහ ඇන් ටී කරැණාතිලකගේ දිගු ගමනක කෙටි සටහන් බඳු අව්‍යාජ අපදානයකි. එහෙත් එහි එක් තැනෙක සඳහන් වනුයේ දියවැලක් ඔස්සේ නවකතාවෙහි සියළු අයිතිවාසිකම් සිරිලාල් කොඩිකාර සතුය යනුවෙනි.

දියවැලක් ඔස්සේ යනු අත්දැකීම් බහුල, වාමවාදී චින්තනයෙන් පොහොසත්, ලාංකික දිවි පෙවෙත ගැන මනා අවබෝධයක් සහිත, මිත්‍යාවට එරෙහිව නොසැලී සිටගත් අව්‍යාජ මිනිසකුගේ කතන්දරයකි. ඔහු මිත්‍යාවෙහි සැබෑ ස්වරූපය වරෙක විස්තර කරනුයේ සියුම් උපහාසයක් කියවන්නා තුළ දනවමිනි. සැබැවින්ම ඔහු එදා ලියූ දේ අද තමන් බෞද්ධයන් යයි කියා ගනිමින්, ජප නූල් අතේ මැනික් කටුවෙහි සිට වැළමිට දක්වා බැඳගන්නා, අනේකවිධ ගුරුකම්කාරයන් සහ කාරියන් සරණ යන දේශපාලකයන්ගේ අවධානයට ලක් කෙරිය යුතුය.

මේ ඔහු ගුරුකම් ගැන කියනා එක් අත්දැකීමකි.
මම කහ කෑලි මිශ්‍ර පොල් තෙල් පීරිසිය ගෙන එයට බොරුවට තොල් මැතිරීමි. එසේ කොට ඒ තෙල් ආතුරයාගේ හිසේ ගෑවෙමි. ආතුරයා යි සෙත්කම් ව්‍යවහාරය අනුව කීවද ඒ අය ආතුරියෝ ය. දෙහි කොළ ඉත්තෙන් මතුරනවා සේ බොරු කළෙමි. නූල් හත් පටට ගැට හත ගැසීමේදී ද බොරුවට තොල් මැතුරුවෙමි.
මගේ කරුමයට ඒත් ඔවුන් ගේ රෝගය සුව වීය. (පිටුව 89-90)
සිරිලාල් කොඩිකාරගේ ජීවිතයෙහි තවත් වැදගත් පැත්තක් මා දුටුවේ ඔහුගේ පුත් පසන් මිය ගිය අවස්ථාවෙහිදීය. තමන්ට පෙර නික්ම ගිය පසන්ගේ දේහය දකින්නට ජයරත්න ශාලාවට පැමිණි ඔහු නිහඬව සිය පුතු දෙස බලා සිට නික්ම ගියේය. එහෙත් ඔහු සිය පුතු ගැන අපූර්ව කවියක් ලියා තිබිණි. ඒ කවිය වචනයෙන් වචනය මතක නැතත් පියකු සිය පුතු වෙනුවෙන් කළ මහඟුම ඇගයීම එය බව මම අදටත් විශ්වාස කරමි.
යමකු හට සිය දිවියේ තරුණ අවධියෙහි වාමාංශිකයෙකු වීම ඉතා පහසුය. අමාරුතම කාරිය වනුයේ දිවියෙහි වියපත් අවධියෙහිද ඒ මතයෙහිම නොසැලී සිටීමය. එහෙත් සිරිලාල් කොඩිකාර සුවිශේෂී මිනිසකුම වනුයේ වියපත් අවධියෙහිදී පවා තම මතවාදයෙහි නොසැලී සිටීමට තිබූ අදිටන්සහගත බව හේතුවෙනි. එය ඔහුද අයත් වාමාංශික ව්යාිපාරයෙහි අද ඉන්නා බොහෝ වියපත් නායකයන්ට නැති ශක්තියකි. එය පෝෂණය ලද්දේ විද්‍යාත්මක චින්තනයත්, භාෂා ඥානයත්, අව්‍යාජත්වයත්, අදීනත්වයත් එකට මුහු වීමෙනි. ඔහු වීමංසා අතිරේකයෙහි මෙසේද කියයි.
ඒ මාක්ස්වාදී ඉගැන්වීම් යල් පැන ඇතැයි යන අදහස සම්බන්ධයෙනි.
මේ අපි ගත කරන කාලය අනුව අපට එහෙම පෙනෙන්න පුළුවන්. ඒත් ඔය තත්වය සදහටම තියෙන්නෙ නෑ. ඒ නිසා මාක්ස්වාදය අවලංගු වෙනවා යැයි කීම බොරු කතාවක්. මාක්ස්වාදය ජනවිඥානගත වූවොත් එය මග හරින්න බෑ.
යළි ඔහු වර්තමාන වාමාංශික ව්‍යාපාර ගැන මෙසේ පවසයි.
ඒ සම්බන්ධයෙනුත් කියන්න තියෙන්නෙ අර දේම තමයි. දැන් ඒ ව්‍යාපාර යම් පමණකට යටපත් වෙලා තිබුණත් නැවත ඉස්මතු වෙලා එන්න පුළුවන්. ධනේශ්වර ක්‍රමයෙන්ම ප්‍රශ්න විසඳන්නෙ නැති නිසා මේ ව්‍යාපාර නැවත හිස ඔසවන්න පුළුවන්.

සිරිලාල් කොඩිකාර ලේඛණ කලාවෙහි තැබූ ඔහුගේ සළකුණ සදා නොමැකෙනු ඇත. එසේම එය වර්තමාන ලේඛකයන් සහ අනාගතයේ ලේඛණ කලාවට පිවිසෙන්නට අපේක්ෂා කරන්නන් හට මාර්ගෝපදේශයක්ද වනු ඇත.
ඔහු නික්ම ගියේ තම මතවාදයෙහි ජයක් පෙනෙන තෙක් මානකයක නැති වර්තමානයකය. එහෙත් ඔහු දිවි ගමන නිම කළේ ලෝකය වෙනස් වන බවට වන අචල විශ්වාසය සමගින් බව නම් නිසැකය. ඒ අතින් ගත් කළ ඔහු රාජධානි සමයක් කරා පල්ලම් බහින පාලක පැලැන්තියකට මුක්කු ගසනා වැහැරුණු ඊනියා වාමාංශික යෝධයන්ට වඩා යෝධයෙකි.
ඉදින් වමට ඔහු වෙනුවෙන් කළ හැකි උපහාරයක් තිබේ. ඒ ඔහු අචලව විශ්වාස කල දේ යථාර්තයක් බවට පත් කිරීමයි. ඔහු වෙනුවෙන් කළ හැකි උතුම්ම උපහාරයද එයමය.

– චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

15 + twelve =