ලු‍ණුපැහිච්චාව වැව් බැම්ම බිඳී යාමේ අවදානමක !

මැදවච්චිය, ලු‍ණුපැහිච්චාව මහවැවේ වැව් බැම්ම අවිධිමත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් බිඳී යාමේ අවදානමට ලක්ව ඇති බව ගොවීහු පවසති. වසර 65කට පසු ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ. මෙම වැවෙන් කුඹුරු අක්කර 150ක් පෝෂණය වන අතර, එහි වැව් බැම්මේ, තොටුපොළේ සහ සොරොව්වේ සංවර්ධන කටයුතු මීට මාස කීපයකට පෙර ආරම්භ කොට දැනට අවසන් කර ඇතත්, අධික වැස්සත් සමඟ වැව් බැම්ම බිඳී යාමේ අවදානමක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන්  පවසන්නේ මෙවැනි අදහසකි :

“මීට මාස හතරකට කලින් අනුරාධපුර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අපේ වැව සංවර්ධනය කරන්න පටන් ගත්තා. වසර 65කට පස්සේ අපේ වැව හැදෙද්දී, අපිත් හරිම සතුටු වුණා. එදා ඒ ආපු නිලධාරීන් කිව්වේ, අපේ වැවේ බැම්මට රුපියල් ලක්ෂ 97ක මුදලක් පාස් වුණා කියලා. අද වන විට එම මුදල රුපියල් ලක්ෂ 71කට අඩුවෙලා කියලා ඒ අයම කියනවා. ඊට අමතරට තොටුපොළට සහ සොරොව්වට තවත් රුපියල් ලක්ෂ 18ක් වෙන් වෙලා තිබුණා. මේ ඔක්කොම සල්ලි මේ අය අවභාවිත කරලා කියලයි අපට තේරෙන්නේ. ඒකයි නිශ්චිත මුදලක් මේ වැවට ගියා කියලා ඒ අයට කියා ගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් වැවේ වැඩ කරන්න ගෙනාපු මැෂින් ටික ඔක්කොම අරගෙනත් ගිහින්. වැව් බැම්මට පිඩැලි ඇල්ලු‍වෙත් නෑ. වැව් බැම්ම තැළුවෙත් නෑ. නිකම්ම බොරලු ටිකක් දාලා දෙපැත්ත ශුද්ධ කරලා සල්ලි ටික ගසාගෙන මේ අය යන්න ගිහින්. “

කෙසේ වෙතත්, මෙම ප්‍රතිසංස්කරණ කටයුත්තේ දී එල්ල වන මුදල් අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන්  ගොවිජනසේවා නිලධාරීන් පවසන්නේ, මෙම  වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් නොමැති බවත්, යන්ත්‍රසූත්‍රවල පවතින හිඟයක් නිසා ඊට ආසන්නව ප්‍රතිසංස්කරණය කරනු ලබන තවත් වැවකට එම උපකරණ රැගෙන ගිය බවත් ය●

ආර්. ජයසේන –  මැදවච්චිය

Leave A Reply

Your email address will not be published.

11 + 7 =