“මම සමහර දවස්වලට විනෝදෙට මිනීපෙට්ටියක නිදියනවා”

- ප්‍රවීණ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතාගේ අවසන් කටයුතු අද (20) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරෙයි. මෙහි පළවන්නේ 2009 වසරේ ‘රාවය’ පුවත්පතට ලබා දුන් සම්මුක සාකච්ඡාවකි.

පුංචිම කාලෙ පිළිබඳ මතකය කොහොමද?

මම උපන්නෙ තලාතුඔය කියන ගමේ. ඒ 1924 දි. පියා කොඩිකාරගේ එලියන් පීරිස් එයා හොඳ වඩුවෙක්. අම්මා මොනිටර් ගුරුවරියක් වීමට සුදුසුකම් ලැබුවා. නමුත් රස්සාව ලැබුණේ නැහැ. මවගේ පියා තොවිල් පවිල් කරපු කෙනෙක් නිසා පළාතේ වංශවත් මිනිස්සු අම්මට රස්සාව ලැබෙන එක වැළැක්වූවා. මට මහණ යෝගයකුත් තිබුණා. ඒ කාලෙ මං හිතුවා මහණ වෙලා කුලභේදයට විරුදධව බණ කියන්න ඕනෙ කියලා. ඒක ළමා කාලෙ සිතුවිල්ලක්. නමුත් පස්සේ මම වමේ නැඹරුවක් ගන්නත් කුලභේදය හේතුවුණා.

පාසල් ගියේ කොහෙද?

කෑගල්ලෙ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට. මොකද තාත්තගෙ රස්සාව නිසා කෑගල්ලට එන්න වුණා. තාත්තගෙ ගම කොග්ගල. රස්සාවකට ආපු ගමන් අම්මව බැඳලා තලාතුඔය බින්න බැස්සා. මම තුනේ ඉඳල හතරවැනි පන්තියට පාස් වෙච්ච ගමන් මගේ මව් මියගියා. එතැනින් මගේ පාසල් ගමන ඉවරයි. ඊට පස්සෙ තාතත්තඑක්ක මමයි මල්ලියි, නංගිලා දෙන්නයි හතර අතේ ඇවිද්දා. මුලින්ම තාත්තා අපිව නැවැත්තුවෙ බේරුවල නැන්දා කෙනෙකුගෙ ගෙදර. ඒ කාලෙ තාත්තා ගල්කිස්සෙ මිනීපෙට්ටි සාප්පුවක් දැම්මා. මාව එතනට ගෙනන් ගත්තා.හැබැයි පාසැලකට නොගියාට මම මේ හැම තැනකදිම පන්සල්වලට ගිහින් අකුරු ඉගෙන ගත්තා.

මේ දවස්වල තාත්ත එක්ක වැඩ කළාද?

අපොයි නැහැ. තාත්තා මට කවදාවත් සාප්පුවේ වැඩ කරන්න කියලා නැහැ. මම ඒවා කරන්න ගියෙත් නැහැ. මගේ පියා හරිම සැරයි. හැමවෙලාවෙම එයා කියන දෙයක තමයි නොගහ හදන දරුවොයි හැඳි නොගා හදන කැඳයි එක වගේ කියලා. ඒ මතය අනුව මම පොඩි වරදක් කළත් පියා ගහනවා. මම සමහර දවස්වලට විනෝදෙට මිනීපෙට්ටියක නිදියනවා. ඒකටත් තාත්තා මට ගහලා තියනවා. මං දවසක් බොරු පිස්සුවක් ගත්තා නිකං අම්මා වැහිලා වගේ. ඒ පාර පියා මට හැමදේටම ගහන එක නවතත්ලා හාමදුුරු කෙනෙකු ලව්වා මගේ හඳහන බැලෙව්වා. හාමුදුරුවො කයිලා තියනවා මේ ළමයගෙ හඳහන ඉතා හොඳයි මට ළමයව දෙනවා නම් වෙදකමයි, නක්ෂත්‍රයයි උගන්වන්නම් කියලා. ඒ හාමුදුරුවො කොග්ගල පඤ්ඤාරතන හිමි. මුලින් හිටියෙ කොග්ගල දේවගිරි විහාරයෙ. හාමුදුරුවෝ ගමේ කෙනෙක් නිසා මාව දෙන්නත් තාත්තා කැමති වුනා. මාව කොග්ගල අරන් ගිහින් සංස්කෘත ඉගැන්නුවා. එහිදී මාධවාචාර්යයන් ලියූ මාධව නිධානය නමැත රෝග නිධාන හඳුනාගත හැකි පොත හොඳට ඉගෙන ගත්තා. බෙහෙත් වර්ග හදන හැටිත් ඉගෙන ගත්තා. දෙවැනි ලෝක යුද්දෙ පටන් අරන් කොග්ගල අපේ පන්සල තියන හරියත් ගුවන් තොටුපලට ගත්තට පස්සෙ අපි වැලිගම පන්සලකට ආවා.

හාමුදුරුවො කොයි වෙලාවකවත් කිව්වෙ නැද්ද මහණ වෙන්න කියලා?

නැහැ. මේ කාලෙ මං ගමේ සාහිත්‍ය කටයුතුවලට තමයි ඇදිලා ගියේ. හාමුදුරුවන්ගෙ සෙත්කවි, වස්කවි පබැදීම් ඉගෙන ගෙන මමත් කවි ලියන්න පටන් ගත්තා. වැලිගම කවිමඩුවල හිටිවන කවි කියන්නත් ගියා. පන්සලට යන්න පෙර මිනීපෙට්ටි සාප්පුවෙ ඉන්න කොටත් මම බඩු ඔතාගෙන එන පත්තර කොළ පවා කියෙව්වා. ඒ විදියට මම දවසක් සමසමාජ පත්තර කොළයක් කියවන කොට තාත්තා බැන්න උන්ට පිස්සු උඹ පිස්සු හදාගන්න එපා කියලා.

නමුත් වැලිගමදි මට යාලුවෙක් හම්බ වුණා ධර්මසිරි කාරියවසම් කයිලා. එයාගෙ හැම පොතකම දෑකැත්තයි, මිටියයි ඇඳලා තිබුණා. ධර්මසිරිගෙන් තමයි ඉතින් මම මුලින්ම වාමාංශික දේශපාලනය ගැන ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වුණා. 47දී මම ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගෙටත් පෙනී සිටියා. කොහොමටත් මේ කාලෙ මට පන්සලෙන් අයින්වෙන්න ඕනකම තිබුණා. විභාග ප්‍රතිඵල එනතුරු මගේ ගුරු හාමුදුරුවො මාව කොළඹ මාලිගාකන්දෙ චන්ද්‍රසේන පොත් සාප්පුවේ වැඩ ඉගෙන ගනන් දැම්මා. මද්‍රුණාල වැඩත් ටිකක් පුරුදු වුණා.

පත්තර කලාවට හිත යොමු වෙන්නෙ කොහොමද?

මේ කාලෙ මම ලියන කවි පතත්රවල ගියා. මුලින්ම නවලෝකය කියන සඟරාවෙ කවියක් පළවුණා. පොත් සාප්පුවේ වැඩ කරන කාලෙ දවසක් මම නොරිස් පාර දිගේ යනකොට ‘සිංහල ජාතිය’ පත්තර කාර්යාලය දැක්කා. ඒක කළේ පියදාස සිරිසේන මහත්මයා. පසුව ගිල්බට් පෙරේරා කියන නීතිවේදියා මේ පුවත්පත මිලට ගත්තා. එයාගෙ කාලෙ තමයි මම පත්තර කාර්යාලයට ගොඩවුණේ. මට මුලින්ම එතනදි හමුවුණේ වා.ඩේ.සී. ගෞතමදාස කියන පත්‍රකලාවේදියායි. ඔහුත් වාමාංශිකයෙක්. 1948 දී ඔවුන් ගහපු වෙසක් කලාපයට මාව සම්බන්ධ කරගත්තා. මම අකුරු ඇමිණුවා. වැඩිපුරම සෝදුපත් බැලුවා. ගෞතමදාසගෙ දකුණු අත පණ නැහැ. එයාගෙ කොපි ලිව්වෙත් මම. මම ව්‍යාකරණ හා බස හොඳට දන්න නිසා එයා මට කියල ලියවාගන්න කැමතියි. විභාග ප්‍රතිඵල එනකොට මට ආයුර්වේදය තවදුරටත් ඉගෙන ගන්න ඕනකම තිබුණෙ නැහැ. පත්තර කලාවට වැටිච්ච එක ගැන ගුරු හාමදුුරුවොත් කැමති වුණා. 54දී විතර සිංහල ජාතිය පත්තර කන්තෝරුවෙන් ඉංග්‍රීසි පත්තරේකුයි, දිනපතා පත්තරේකුයි ගහන්න ගිහින් පාඩුවෙලා මුළු පත්තර කන්තෝරුවම වහන්න වුණා.

ඊට පස්සෙ කොහෙද ගියේ?

දවස පත්තරේට ගියා. ඩී.බී. ධනපාල කර්තෘ. දවසට යනකොට මං බැඳලා. අනුලා ගුරු වෘත්තියේ යෙදී සිටියා. එතනදි මගේ වාර්තාකරු කියන තනතරු සාර්ථක වුණා. මට හොඳට ප්‍රවෘත්ති ලැබෙන මාර්ග තිබුණා. විශේෂාංග ලිපි, කවි මේ කාලෙ මං දිගටම ලිව්වා.ඔන්න මං මේ දක්ෂතා එක්ක සංස්කාරක කෙනෙක් වුණා.

මේ කාලෙත් දිගටම ඇන්දෙ ජාතික ඇඳුමද? කලිසම් ඇන්දෙම නැද්ද?

මට පුරුදු ජාතික ඇඳුම. පසුකාලෙකදි මම සෝවියට් දේශයට තුන් වතාවක් ගියා. මුලින්ම කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිති සාමාජිකයෙක් හැටියට. ඊළඟට පාක්ෂිකයෙක් හැටියට තුන්වැනුව ලේඛකයෙක් හැටියට. තුන්වැනිපාර මට රුසියන් මිත්‍රයෙක් කිව්වා, අපි මිනිස්සුන්ගෙ ජාතික ගතිගුණවලට හරියට ගරු කරනවා. නමුත් අපි ඊට වඩා ගරු කරනවා සෞඛ්‍යයට. ඊට පස්සේ ඔහු කිව්වා මේ රටේ දේශගුණය සීතයි. ඔබේ ජාතික ඇඳුම හරියන්නේ නැහැ, ටයිකෝට් අඳින්න කියලා. ඒගොල්ලොම මට කලිසම් ටයිකෝට් මහලා දුන්නා. පුරුදු නැති වුණත් මං ඒ ඇඳුම් ඇඳලා හොඳ පුරුදුකාරයෙක් වගේ ගත කළා.

දවසෙ ජීවිතේ ගෙවුනේ කොහොමද?

එක යූඑන්පී විරෝධී පත්තරයක් නිසා අපි කැමැත්තෙන් වැඩ කළේ. සිරිමාවෝට සහාය දක්වන තැනක පත්තරේ තිබුණෙ. ඔන්න 64 දි සිරිමාවෝ සමසමාජ කොමියුනිස්ට් හවුලක් ඇති කර ගත්තා. ගුණසේන සමාගම මේ වැඩේට විරුද්ධ වුනා. ඔවුන් ධනපාල මහත්තයාව තමන්ගෙ පැත්තට හරවා ගත්තා. ධනපාල මෙහෙම කවියක් ලියලා පත්තරේ දැම්මා.

අගමැති රන් කඳ
ඇමති මඬලේ පුන්සඳ
නොසිතා වමේ ගඳ
බොන්න හදනා හැටි
හවුල් කැඳ

ඊට පස්සෙ මම ඇතුළු නවදෙනෙක් පත්තරෙන් අස්වෙන්න තීරණය කළා. තව හිටියා අස්වෙන්න කට්ටිය. ඒත් අන්තිම මොහොතෙ සමහරු මගහැරියා. අපි අස් වෙලා ටික දවසකින් 64 දෙසැ. 18 එච්.ජී.එස්. රත්නවීරගේ කර්තෘත්වයෙන් ‘ඇත්ත’ පතත්රේ පටන් ගත්තා. මමයි, හේම ද සිල්වයි, පියසේන ගුණවර්ධනයි තමයි මුලින්ම ඇත්තට සම්බන්ධ වුණේ. පත්තරේ පිටු හතරයි. ඇත්තටම ඇත්ත මට ගැලපුණා.

ගැලපුණා කිව්වෙ?

දේශපාලන මතය අනුවත් හරි. හොඳ පඩියකුත් ලැබුණා. ඒ කාලෙ ඉතින් කොමියුනිස්ට් පක්ෂයට රුසියාවෙන් ආධාර ලැබුණනෙ . අපට අඩුපාඩුවක් තිබුණේ නැහැ.

රංචාගොඩ ළමයාගේ ස්වරූපයෙන් කවි ලිවීම ඇරඹුණේ කොහොමද?

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මාදීලා ඉලව්වේ
දෙමට පොතු කකා කටහම යන්නාවේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ….

රංචාගොඩ ළමයා ගේ මේ කවිය තමයි මගේ නිර්මාණවලට බලපෑවේ. රංචාගොඩ ළමයා අවසාන පදයෙන් ගන්නා උත්ප්‍රාසය මම සමකාලීන දේශපාලන සිදුවීම් ගැන ලියන්න භාවිත කළා. ඒ සමගම කෝසල රජගෙ අලුත් සිහින කියන විශේෂාංගය ලිව්වා. සිරිමා පැරදිලා හත්හවුලක් එක්ක ඩඩ්ලි අගමැති වුණාම මම ලිව්වා හත්හවුල් කවිමඩුව කියලා විශේෂාංගයක්. මූලාසනේ ඉන්න ඩඩ්ලි කවියක් කියනවා. අනෙක් ඇමතිවරුන් එකිනෙකා නැගිට කවි කියනවා. අවසානයේදී ඔවුන්ම උපහාසයට ලක්වෙනවා. ඒ කාලෙ තිබුණු දෙමළ භාෂාවටත් තැනක් දීමේ දෙමළ භාෂා විධි විධාන පනතට සමහරු විරුද්ධව උද්ඝෝෂණ කළා. එහිදී දෙමළ අයටත් ලංකාවේ අතීතයට ලොකු සම්බන්ධයක් තිබුණු බව හෙළිකරන්න මම ‘මහාවංස විමංසන’ කියන විශේෂාංගය ලිව්වා.

ඔබ මධු පානයත් එක්ක ජීවිතේ තදින් සම්බන්ධ කරගත්ත කෙනෙක් පංසලේ ඉඳල මේ නැඹුරුව ඇතිවුනේ කොහොමද?

මමත් බොන්න ඕනෙ කයිලා කවදාවත්ම මම හිතුවේ නෑ. මට සිංහල සාහිත්‍යයේ මෙන්ම වෙනත් සාහිත්‍යයන්ගෙන් ගණිකාවන් ගැන කියවන්න ලැබෙනවා. ඉතින් මට යම් ආසාවක් තිබුණා කොළඹ ඇවිත් ගණිකාවක් ඇසුරු කර බලන්න ඕනෙ කියලා. ඒත් ඒකට යොමුවෙන්න කලින් මං බීමට යොමවුණා. මුලින්ම මං අඩියක් ගැහුවෙ සිංහල ජාතියෙ ගෞතමදාස මහත්තයගෙ කාමරේදි. මුලින්ම අරක්කු කට ගාපු දවසෙ මට ඒක හරියට රස වැටුණා. අදටත් ඒ රසයම දැනෙනවා. සිංහල ලේඛක සංගමය කියන එකේ මාත් හිටියා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ , වී.ඩී. ද ලැනරෝල් වගේ අයත් එක්ක මම ඒ කාලෙ ඇසුරට වැටුණා. ලැනරෝල් පුදුම බීමක්නෙ බොන්නෙ. එයාට වයස 60 පිරීම නිමිත්තෙන් තිබුණු පාටියට මටත් ආරාධනා කරලා තිබුණා. අපි හවස එයාගෙ ගෙදර යනකොට මිනිස්සු ඉස්තෝප්පුව ගාව ඉඳන් ගෙට නොයා බලන් ඉන්නවා. මම කිට්ටුවෙලා බලන කොට ලැනරෝල් මහත්තයා නිදි. මොකද දන්නවද වෙලා තියෙන්නෙ. අපි හවස එනතුරු ඉනන් බැරිව මෙයා උදේ ඉඳලම ගහලා වෙරි. ගෙදර අය අපිට පේන්න ලැනරෝල්ව තියල කොහාට හරි මගඇරලා ගිහිල්ලා. මානවසිංහ මහත්තයත් පාටියට ඇවිත් හිටියා. එයා මාවයි තව කෙනෙකුයි ඇදගෙන පිටිපස්සෙන් ගෙට ගියා. මෙන්න බොලේ කාමරේක අරක්කු බෝතල් පුරවලා. අප තුන්දෙනා බඹර පදං වෙන්න ගහලා පිටිපස්සෙන්ම යනන් ගියා.

ඔන්න මං එක කාලයක් මරදානෙ නැවතිලා හිටියා. මානවසිංහ මහත්තයා ට්‍රෑම් කාර් එකක ඇවිත් මරදාන හන්දියේ මං ඉනන්වා දැකලා බැස්සා. ලාල් යං ද මාරිඅම්මා කෝවිල පැත්තේ කියලා එයා ඇහුවා. මට හරි පුදුමයි මෙයා කෝවිල් යනවද කියලා. මමත් යං කියලා ඊළඟ ට්‍රෑම් එකේ නැගලා ගිහින් කොටහේනෙ බැස්ස. දැන් දෙන්නා ලේන් එකක යනවා. මාරිඅම්මා කෝවිලත් පහුවුණා. තව ටිකක් දුර ගිහින් මානවසිංහ මාවත් ඇදගෙන පුංචි ගේකට රිංගුවා. පුටුවක වාඩිවෙන ගමන් මාරී .. කියලා කාටද අඬ ගැහුවා. මෙන්න කොට මහත ගෑනු පරාණයක් එළයිට ආවා. බැලින්නම් ඒක තැබෑරුමක්. මාරි අයිතිකාරි.

දැන් ඔය බීමත් එක්ක ගණිකාවන් ආශ්‍රය කරන්න හිතපු අදහස යට ගියාද?

ඒ වැඩේදි මම හුඟක් දුර ගියේ නැහැ. හැබැයි ටිකක් දුර ගියා. ගෑනු කීප දෙනෙක් ආශ්‍රය කරලා බැලුවා. ඒකෙ යම් අලුත් ආශ්වාදයක් නැහැ කියන්න බැහැ. ඒ වුණාට ගෑනුන්ට වඩා මං බීමට තමයි කැමතියි. උදේට කන්තෝරුවට ගෙනල්ලත් බොනවා. බයිට් සැන්ඩි ඕනෙ නැහැ. බිව්වයි කියලා ඒක වැඩට බාධාවක් කරගත්තේ නැහැ.

ඔබේ බිරිඳ හමුවුණේ කොහොමද කියලා මට අහනන් අමතක වුණානේ?

ආ. ඒක තමයි මට කියන්න බැරිවුණා. වැලගිම සුමංගල හා සිද්ධාර්ථ විද්‍යාලවල සිසු සිසුවියන් සඟරාවක් කළා. මේක අච්චු ගැහුවෙ නැහැ. අතින් තමා ලිව්වෙ. හස්ත මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදී කියල ඒකෙ යටින් අපි ලියනවා. මමත් ඒ කාලෙ වැලිගම තරුණ කවියෙක් හැටියට මේකට සම්බන්ධ වෙලා හටිියා. මම අනුලාට යෝජනා කළා අපි කවි සංවාදයක් කරමු කයිලා. මම සුළඟ. එයා සුවඳ. මම සංවාදය ආරම්භ කරමින් සුළඟ නමින් කවියක් ලිව්වා සුළඟ විසින් සුවඳ ගහගෙන යනවා කියලා. නමුත් අනුලා ඊළඟ සඟරාවට උත්තර ලිව්වෙ නැහැ, හැබැයි මට උත්තර ලිව්වා. ඒ පාර සුළඟ විසින් සුවඳ ගහගෙන ගියා.

රුසියාවට ගිය අවස්ථාවල රුසියානු තරුණියන්ට හිත ගියේ නැදද්?

නැත්තෙ මොකෝ. හිත ගියා. ඒත් ඉතිං වොඩ්කාවලට ඊටත් වඩා මගෙ හිත ගියානෙ.

පිළිසඳර – විමලනාත් වීරරත්න

2009 මාර්තු මස 01 දා රාවය පුවත්පතේ පළවූවකි.
මෙහි ඡායාරුපය ඊට පසුකාලයක ගන්නා ලද්දකි.

 

Leave A Reply

Your email address will not be published.

19 + 7 =