‘පරමායුෂ විඳ නික්මයන සොඳුරු කොමියුනිස්ට්වාදී පත්තරකාරයා……’

‘සිරිලාල් කොඩිකාර’ යනු අපගේ වැඩිහිටි පරපුරේ සිටි දැවැන්ත එමෙන්ම වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අති විශිෂ්ට එමෙන්ම සැබෑ ප්‍රගතිශීලී පත්තරකාරයෙකි. ඔහු සමහරවිට ජීවතුන් අතර සිටි වයස්ගතම පත්තරකාරයාද විය හැකිය.
‘හේමපාල මුනිදාස, කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලියු. ඒ. සිල්වා, ජී.බී. සේනානායක, පියසේන නිස්සංක’ වැනි පෙර පරපුරේ පත්‍රකලාවේදී නිර්මාණ ලේඛකයන්ගේ අඩිපාරේ යමින් සිරිලාල් කොඩිකාර සූරීන් ස්වකීය සූරත්වය මනොවට විදහාලමින් නිර්මාණාත්මක ලේඛනයේ, එනම් ග්‍රන්ථකරණයේද නියැලුණි.

‘මානස විල සහ කණේරු මල්, කැලිස්ටාගේ සවාරිය, දියවැලක් ඔස්සේ, ගහෙන් වැටුණු ගැහැනිය සහ තවත් අය, විශ්වය තුළ විශ්ව, නොරජුන්ගේ අන්තඃපුරය, ලෙයින් ලියූ කවි, නො නෙලූ මල්, ටයර් සෑය ළඟ නම් වූ ස්ථානය, මගේ සාක්කිය’ වැනි කෘතීන් ඔහුගේ නිර්මාණශීලිත්වයට හොඳම උදාහරණයන්ය.

1948 දී ‘හේමපාල මුනිදාසයන්ගේ’ කර්තෘත්වයෙන් යුතු ‘සිංහල ජාතිය’ පුවත්පතින් ස්වකීය පත්‍රකලා ජීවිතය ඇරඹූ හෙතෙම දේශපාලන හේතූන් මත 1964 දී ‘දවස’ පුවත්පතින් ප්‍රවීණ පුවත්පත්කලාවේදී ‘හේම ද සිල්වා’ ඇතුළු පිරිසක් සමඟ ඉවත්වීමෙන් පසු එම වසරේදීම ‘ඇත්ත’ පුවත්පතේ සමාරම්භකයෙකු ලෙස කර්තෘ මණ්ඩලයට එක්වූ සිරිලාල් කොඩිකාර එහි දේශපාලන ලිපි, විශේෂාංග පිටු බාර කර්තෘවරයා වශයෙන් මෙන්ම සුළු කලක් එහි ප්‍රධාන කර්තෘවරයා ලෙසද සේවය කළ ‘අවංක ප්‍රගතිශීලී කොමියුනිස්ට්වාදියෙකි’.

‘ගැටස් සංදේශය, කෝසල සිහින, රංචාගොඩ ළමයා’ වැනි ඔහු ලියූ කාව්‍යාත්මක මෙන්ම උත්ප්‍රාසාත්මක පුවත්පත් විශේෂාංග එකල අතිශය ජනප්‍රිය විය.

එසේම ඔහුගේ රමණීය බස්වහර ‘ඇත්ත’ පුවත්පතට ගෙනදුන් ප්‍රාණය එහි කතුවරයින් වූ ‘එච්.ජී.එස්. රත්නවීරට’ හෝ ‘සිරා’ යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ ‘බී.ඒ. සිරිවර්ධනට’ නොදෙවෙනි වූයේය. සමහර විට ඔවුන්ටත් වඩා ප්‍රතිපත්තිගරුකව ස්වකීය පුවත්පත් කලා ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතයද ගත කළ සිරිලාල් කොඩිකාරයන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සියැසින් දුටු අපූර්ව නිර්මාණාත්මක සරල මනුෂ්‍යයෙක් බව මගේ අවංක කල්පනාවයි.
එසේම ඔහුගේ තියුණු දේශපාලන උපහාස ප්‍රතිවාදීන් බෙලහීන කෙරුණු අගනා පුවත්පත් විශේෂාංගයන්ය. විශේෂයෙන්ම පොදු ජන හිතසුව පිණිස ජන විඥානයට අනුරූපව යමින් ස්වකීය රචනා ශෛලිය පාඨක සිත් පුබුදු කරවමින් ඔහු හැසිරවූ ආකාරය කෙනෙකුට ඊර්ෂ්‍යාවක් හිතෙන තරම්ය.

‘සිරා’ සමහර අවස්ථාවල පත්තර කලාවේ භාෂා සීමා මායිම් අතික්‍රමණය කරමින් හැඟුම්බරව ලියුවද සිරිලාල් කවර කලෙකවත් ස්වකීය පුද්ගලික පටු පරමාර්ථ හෝ පුද්ගලික වාසි තකා එකඳු අකුරක් හෝ ලිවීමට තම පෑන යොදා නොගත් වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම සාධාරණ ප්‍රතිපත්තිගරුක පුවත්පත් කලාවේදියෙක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

කිසිදාක මුදලකට හෝ වරප්‍රසාදයකට හෝ පුවත්පත් කලාව පාවා නොදුන් ඔහු ‘මීවිතට’ කොතෙක් ඇබ්බැහිව සිටියත් අරක්කුවලට ස්වකීය ප්‍රතිපත්ති පාවා නොදුන් ගෞරවාන්විත පත්තරකාරයෙක් බව මගේ වැටහීමයි.
1989 හෝ 1990 දී පමණ ඔහුගේ මිතුරු ජයවඩුවිතාන කවියාගේ හඳුන්වාදීමක් අනුව මුල් වරට හමුවූදා පටන් මේ දැවැන්ත වැඩිහිටියා දුහුනු මා ඔහුගේ සුමිතුරෙක් ලෙස හැඳින්වීමට තරම් නිහතමානී වූයේය.

ජයවඩුවිතානයන්ගේ අභාවයෙන් පසුව කිරිඳිවැලදී අපි සංවිධානය කළ ජයවඩු සැමරුමක ප්‍රධාන දේශනය කිරීමට පැමිණි ඔහු ඉතා ආශ්වාදණීය මතකයන් අප අතර ඉතිරි කළ බවද මගේ මතකයේ ගැඹුරින්ම සටහන්ව ඇත.
පසුකලෙක 1990 දශකය මැදභාගයේ බොරැල්ලේ කිසියම් ස්ථානයක ඔහුගේ නිර්මාණවලට වස්තුබීජ සැපයූ ‘කණේරු ගසක්’ සහිත තැබෑරුමකදී නිතර ඔහු හා සල්ලාපයේ යෙදෙන්නට වරම් ලද මට 1999.03.09 වෙනිදා ඔහුගේ ජීවිත කතාව වූ ‘මගේ සාක්කිය’ පිටපතක් ‘හර්බට්කුමාර අලගියවන්න සුමිතුරාට’ ලෙස සටහන්කොට දී ඇති බවද මෙහි සඳහන් කරන්නේ මේ අප්‍රමාණ හෘදයාංගම මිනිසා වෙත උපන් අති මහත් ගෞරවයෙන් යුතුවය.

අවසන් වරට මට ඔහු නිවී සැනසිල්ලේ මුණ ගැසුණේ 2010 ට පෙර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති කිසියම් උත්සවයකදී බව හොඳින්ම මතක ඇතත් ඔහු ඇල්විටිගල මහල් නිවාසයෙන් ඔහුගේ වෛද්‍ය දියණිය වෙසෙන පන්නිපිටියට ගිය පසු ඔහුව නිවී සැනසිල්ලේ හමුවීමට තරම් කිසිදිනෙක ඉඩක් නොලැබීම මගේ බරපතල අවාසනාවකි.

එසේම ඒ අතරතුර කාලයේ ඔහුගේ පුත් පසන් කොඩිකාරගේ අකල් වියෝව මගේ මතක පොත් පිටු අතරින් හිටිවනම විදුලි සැරයක් සේ සිත අවුළුවාලයි. පසන්ගේ මළ ගෙදර ඔහු තම පුතුගේ හැරයාම දරාගෙන හුන් අයුරු අදත් මගේ මතකයේ සටහන්ව ඇත්තේ ඉතා දුක්මුසු ස්වභාවයකිනි.
එතෙකුදු වුවත් ස්වකීය ජීවිතයේ පරමායුෂ විඳ සුපහන් සිතින් අප අතරින් වෙන්ව යන මරණින් මතු ආත්මයක් නොපැතූ අවංක, ශ්‍රේෂ්ඨතම කොමියුනිස්ට්වාදී ප්‍රගතිශීලී මහා පත්‍රකලාවේදී සිරිලාල් කොඩිකාර සූරීනි, ඔබට සුබ ගමන්.

– කුමාර අලගියවන්න (fb)

2021.11.19 දින රාත්‍රී 11.40 ට කෝට්ටේ නිවසේදීය.

Leave A Reply

Your email address will not be published.

twelve − nine =