වයඃ කල්‍යාණෙ

“අපි හිච්චි එකාලා කාලෙ සීයල අප්පුච්චල බජට් එක අහපු හැටි මැවිල පේනවා.

ගංගොඩේ පිරිමි දහයක්, දොළහක් ගෙදර. උඩහ කඩේ කඩ ලෑල්ල උඩ තව සෙට් එකක්. ට්‍රාන්සිස්ටර් බැටරි කෑලි දාපු සෝනි රේඩියෝ එකෙන් තමයි අහන්නෙ. අද වගේ නින්දක් නිඳාගෙන නැඟිටින කොට බඩුවල ගණන් වැඩිවෙන සීන් එකක් ඒ කාලෙ නෑ නෙ. ඒවා ඔක්කොම බජට් එකෙන්.” ඡන්න කියාගෙන යද්දී, අතරුණ  උපාධි සෙට් එක ඡන්නගෙ මූණ දිහා බලන් උන්නෙ ‘අන්දරේ සීනි කෑව හැටි’ කතාව අහන පන්නෙ මූණු ටිකක් මවාගෙන.

“කවද්ද බජට් එක…?” කේසි ඇහැව්වෙ බොහොම අහිංසකව.

“ඒක තියල ඉවරයි.  මදැ පඩි වැඩි වෙනකල් බලං උන්නා.” රාධා කිව්වෙ හිනා පෙරාගෙන.

“නඟින පඩි තමා. ගුරු සටන නං දිනුවලු‍ නේ ද?” ආයෙ ඇහැව්වෙ කේසි.

“ඇත්ත ද? කොතලාවල පනත අකුළ ගත්ත ද…?” පුදුමෙන් ඇහැව්වෙ ඉසි.

ඒක නං නෑ. සටන් පාඨෙ ඇකි‍ළුණා. වැටුප් ඉල්ලපු තැන තිබ්බා. තව ටික දවසකින් ඇකිළිච්චි සටන් පාඨෙ කවුරුහරි එළියට ඇදං එයි. පොදු සටන් එහෙම තමයි.” ඡන්න කිව්වෙ උදුම්බරා දිහා තනි ඇහෙන් බලන ගමං.

“පඩි වගේ ද රාජ්‍ය සේවෙ විශ්‍රාම වයස 65 කළ එක ම මඳි ද රාජ්‍ය සේවකයන්ට…? නොලැබුණු දේ ගැනමයි කියවන්නෙ.” සුන්දරී කිව්වෙ තරහින්.

“ලැබුණා ලැබුණා. කවුන්සලේ දෙවැනි කොටස රාජ්‍ය සේවෙටත් ගෙනාවා එහෙනං. නාකි වුණයින් පස්සෙ වැඩ කරන්න පුළුවන් අයට දීලා යන්න විදියක් මිසක් මේක මහලු‍ මඩමක් කරන්නෙ මොකට ද? දීලා කියනවා, බරයිලු‍. බරයි නං සැහැල්ලු‍ කර ගන්න එපායැ. කවුන්සලේ නං සැහෑල්ලු‍යි.” උදුම්බරා කිව්වෙ පරිගණක තිරෙන් මූණ අහකට ගන්න ගමං.

“වයස්ගත වීමයි, නාකි වීමයි දෙකක් නෝනා. බරයි බරයි කියලා පහුගිය දවස්වල රාජ්‍ය ඇමත්තලගෙ කාර්ය මණ්ඩලෙත් පෙන්ෂනබල් කර ගත්තෙ. රජයේ සේවකයෙක් අවුරුදු 20ක් වැඩ කළොත් විතරයි පෙන්ෂන් ඒක. ඒකත් 55 වෙනකල් ඉන්න ඕනෑ. අරක අවුරුදු පහෙන්. බර නං නොකර ඉන්න එපැයි.” ප්‍රමිලා කිව්වෙ වේගෙන්.

“බර සාපේක්ෂයි. වයස දික් කළ එකෙන් වෙන්නෙ තරුණ අයට අවස්ථාව නැති වෙන එක. අවුරුදු පහක් කියන්නෙ ජීවිතෙන් දිග කාලයක්. වෙන්නෙ රස්සා ප්‍රස්නෙ තවත් උග්‍ර වෙන එක.” කල්‍යාණි කිව්වෙ විස්සෝපයෙන්.

“අපේ රාමා නං කියන්නෙ, ඒක රජයෙන් තරුණයන්ට ලබා දුන්නු හිතීමේ අවස්ථාවක් කියලයි. තව දුරටත් මෙහෙ ඉඳල වැඩක් නෑ කියලා පිටරටකට යන්න හිත දියුණු කර ගන්න දුන්නු අවස්ථාවක් කියලයි.” සීතා කිව්වෙ අලු‍ත් සොයා ගැනීමක් කළා වගේ  එකකින්.

“ඒකත් හොඳයි. තරුණ පරම්පරාව නැති වුණා ම මේක චීනෙට විකුණල ම දාතෑකි. ඒ ගොල්ලො මේකට වෙලා  සෙල්ලම් බඩු හදයි.” රාධා කිව්වෙ වතුර බිබී.

“හැට පහ ගෙනාවෙ ලොකු තනතුරුවල ඉන්න අයට. නැතුව මේ බොලාට අපට නෙවේ.” කියල කිව්වෙ පබා.

“ලොකු අය දැනුත් 60න් පස්සෙත් වැඩ නෙ. මොනව ද ඇමැත්තන්ට කරන්න බැරි. ඒක ඒ අයට දීපු එකක් නෙවේ. මං නං තාමත් කියන්නෙ මනාපය උදෙසා රජයේ සේවකයා සතුටු කිරීම කියලයි.” කියලයි රාධා කිව්වෙ.

“දැනට නැවත සේවෙ ඉන්න ලොකු සෙට් ඒක පඩියත් ගන්නවා ඉලක්කං හයෙන්. පෙන්ෂන් එකත් ගන්නවා ඒ වගේ ම ගාණකින්. 65 වුණා ම පෙන්ෂන් නෑ. පඩි විතරනෙ. මං නං කැමතියි මේක සුබවාදීව දකින්න.” ඡන්න නිකං සිල් ගත් ටෝන් එකකට මාරු වෙලා.

“කොහොම වුණත්, දරුවන්ගෙ දරුවො බලා ගන්න වයස තවත් පහකින් දික් වෙච්ච ඒකට නං මං කැමතියි.” කල්‍යාණිගෙ ඒ කතාවට නං කාගෙත් කටවල් නතර වුණේ කන් ළඟ.

 

■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

2 × 3 =