‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ නාට්‍යය ගැන පුංචි සටහනක්

මා මේ සටහන තබන්නට පොළඹවන්න ඇත්තේ, මේ කතාව තුළ තිබුණ සැබෑ ජීවිත කතන්දරය වන්නත් පුළුවනි. පහුගිය වසරක ජාතික රූපවාහිනී නාළිකාව මඟින් විකාශනය වූ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ නාට්‍යය ප්‍රේක්‍ෂකයා පුදුමාකාර ලෙස වැළඳ ගත් බව අප හොඳින් දන්නා කරුණකි තිර රචනය හා අධ්‍යක්ෂණය සුනිල් කොස්තා මහතා විසින් සිදු කිරීම මෙහි සුවිශේෂී බවට තවත් එක් සාධකයකි. කුඩා කාලයේ ‘සිරි සිරිමල්’ නැරඹූ අපට අදටත් එය මතකයේ රැඳීම තුළ ඒ බව පසක් වේ.

මෙහි එක් මවක තම දියණිය සමඟ දියණියගේ පියා සොයා දුෂ්කර ගමකට යන අතර, එහි දී ඒ ගම තුළ සිදු වන සිද්ධි දාමය අපූරුවට ගලා යයි. අමරපාල මහතා සහ ඔහුගේ බිරිඳ, ගමේ පාසල, විදුහල්පති, අලුත් ගුරුතුමා නාරද, පැංචා සහ මානසික අසනීපයකින් පෙළෙන ඔහුගේ පියා, සුරන්ගි සහ රූපසිංහ, මාතු පාල සහ ඔහුගේ පවුල, රංගා සහ ඔහුගේ මව, පැංචාගේ යාළුවන් සිරිනාථ, වලිසුදා, මව සහ සේවකයන්. මේ සියලු චරිත සමඟ මේ කතාව ගලා යයි. කිසි විටෙක රසවින්දනයෙන් හින යැයි නොසිතෙන තරමට ප්‍රේක්ෂකයා වසඟ කරගෙන ඇත. ප්‍රේක්ෂකයාට කිසි දින සිතා ගත නොහැකි ලෙස මෙහි නිමාව සනිටුහන් කිරීම සුවිශේෂී ම කරුණයි. කිසි විටක ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවූ ලෙස අයෝමාගේ මවගේ ජීවිත අවදානම ප්‍රේක්ෂක හදවතට සමීප කරවයි.

කිසියම් නිර්මාණයක් රසවිඳ අවසානයේ තවත් තිබුණා නම්… කියා සිතෙනවා නම්, නැති නම් මහා තනිකමක්… නිතර නිතර ඒ කතාවම සිහි වීමත්… සිදු වෙනවා නම්, ඒක මෙහෙම වුණේ ඇයි ? මේ ආදී සිතුවිලි ඔබටත් දැනිලා තියෙනවා නම්, ඔබ නියම ලෙස කතාව රසවිඳි අයකු බවට සැකයක් නැත. මේ නාට්‍යය අවසානයේ මගේ සිතේ චරිත දෙකක් පිළිබඳව යළි යළිත් සිහි විණි. එනම්, පැංචා හෙවත් විමලසිරි සහ වලිසුදා හෙවත් බණ්ඩාර මුදලාලි යන චරිත දෙක වේ.

පැංචාට මව අහිමියි, තම පියා ද මානසික අසනීපයකින් පෙළෙයි. දයාව, සෙනෙහස නොලබා හැදීවැඩෙන පැංචා නිරන්තරයෙන් සෙනෙහසක් බලාපොරොත්තු වුව ද, ඔහුට එය නොලැබෙයි. නිතර ම ඔහු සමඟ යහළුවන් සිටිය ද, ඔහුට අවශ්‍ය මිත්‍රත්වයේ ළෙන්ගතුකම නොලැබී යයි. අයෝමාගෙන් ඒ සෙනෙහස පැතුව ද, දිනක් පාසල් යන විට ඇයගෙන් ලද “සහෝදරයෙක් විතරයි…” යන වදනින් පසු ඔහු පාසල් ගමන ද නවතා වැලි පොළෙහි වැඩට යාමට සැරැසෙයි. ගමේ අඳුරු පැතිකඩට යොමු වන්නට අඳුරෙන් පැමිණි උපක්‍රම බලපෑ බව මෙහි දී පසක් වේ. අවසන සියල්ල තේරුම් කර දුන්  පසු ගුරුතුමාගේ හා රූපසිංහ මාමාගේ කීමට කීකරුව නැවත පාසල් යාමට විමලසිරි පෙළැඹෙයි. එලෙස විමලසිරිගේ චරිතය දැකිය හැකියි.

වලිසුදා යන නම ගමේ කාගේත් කනට ඇසෙන විට යවුල් ඇනෙන්නාක් මෙනි. කාටත් එපාම වූ චරිතයකි. මුල දී මොහුගේ නම පමණක් භාවිත කරනු ලැබූ කතාව තුළට කලකට පසුව දෘශ්‍ය මානයට පැමිණෙන චරිතයකි. මොහු තම අභිලාෂයන් ඉටු කර ගැනීම වෙනුවෙන් ‘තම ගම විනාශ වුවත් කම් නෑ’ යන මතයේ ජීවත් වන දරුණු චරිතයක් ලෙස ගම්මුන්ගෙන් දැනගන්නට ලැබේ. සැබැවින් ම මේ චරිතය ප්‍රේක්ෂක  හමුවට එන්නේ තම මව ඉදිරියේ පමණක් බෝධිසත්ව ගති පෙන්වමින්, තම සේවකයන් වහලුන් ලෙස තබා ගන්නා දුෂ්ට චරිතයක් ලෙස ය. කෙසේ වෙතත්, මොහුගේ චරිතයේ පවතින කළු පැතිකඩ මවගේ මුවින්ම සේවකයන්ට පවසයි. සැබැවින්ම මොහු කළු චරිතයක්ද…? මොහුට ද ආදරයක් අහිමි වී ද යන්න ඔහුගේ හැසිරීම් තුළ  දැකිය හැකි වේ. ඔහු ද අයෝමාට පෙම් කරයි. ඇය විවාහ කර ගැනීමට තැත් කරයි. නමුත්, මොහු කිසි දින බලෙන් ආදරයක් ලබා ගත නොහැකි බව තේරුම් ගෙන සිටියේ ය. ඊට කුඩා කල තම පවුල් පරිසරයෙන් ලැබුණ පීඩනය හේතු වන්නට ඇත. මොහු ද සෙනෙහස සොයන තවත් එක් පුතෙකි.

මේ චරිත දෙක තුළ ම සෙනෙහස හිඳී ගොසිනි. ඔවුනට සෙනෙහස නිසි ලෙස පවුල තුළින් නොලැබී යාමෙන් පැංචා සෑම තැනක ම අසරණ බවකින් යුත් චරිතයක් ලෙසත්, වලිසුදා දරුණු චරිතයක් ලෙසත් නිර්මාණය වී ඇත. පැංචා තම සිතට සතුටක් දැනුණු සෑම අවස්ථාවකම අමුතුම නැටුමක් නටමින් ඒ සතුට විඳගනියි. නමුත්, වලිසුදා සතුටක් දැනුණ විට අහිංසක සිනහවකින් තම සතුට විඳගනු දැක ගත හැකියි. එයින් මතු කරනුයේ, කොතරම් දරුණු මිනිසකු තුළ වුවත්, අහිංසක, යහපත් චරිතයක් ද ඇති බවයි. පැංචාගේ සිතට දුක දැනුණු, පාළුව, තනිකම දැනුණු සෑම මොහොතක ම ගමෙහි විශාල දමුණු ගහ මුදුනට නැඟී තම මවට කතා කරනුයේ, ඈත කඳුයාය දෙස බලාගෙන ය. වලිසුදාට දුක දැනෙන විට ඔහු කේන්තියෙන් එය පිට කර තම සේවකයන් තමා අසලින් පලවාහැර තම මවගේ ඇකයේ හිස තබාගෙන සිටී. මේ චරිත දෙක දරුණු ලෙස සහ අසරණ ලෙස නිර්මාණය වීමට සෙනෙහසේ අඩුවක් කුඩා කල සිටම බලපාන්නට ඇත.

කුඩා කල දී ම සිදු වූ මවගේ වියෝව පැංචා තනිවන්නට හේතුව විය. පියාගෙන් හෝ සෙනෙහසක් ඔහුට නොලැබී යයි. පියාගේ මානසිකත්වය පැංචාට මානසික සුවයක් නොදුන්නේ ය. වලිසුදාට තම කුඩා අවධිය තුළ ලැබූ පීඩන නිසා ඔහුගේ දරුණු චරිතය නිමැවුමට බලපෑවේ යැයි සිතිය හැකි ය. නාට්‍යය අවසාන වන විට ඔහු මව සමඟ පවසන්නේ, කුඩා කල දඬුවම් පිණිස ඔහුගේ සිරුරට දැමූ දිමිගොටුවල වූ දිමියන් කාපු තැන් තවමත් ඇදුම්කන බවයි. මේ ආකාරයෙන් ප්‍රේක්ෂකයාට ඔහුගේ අතීතය පිළිබඳව සිතා ගැනීමට ඉඩ හැර ඇත. ඔහු එවන් චරිතයකට හැඩගැසී ඇත්තේ, දෙමවුපියන් විසින් ම සිදු කරන ලද ක්‍රියාවන් නිසා බව ප්‍රේක්‍ෂකයාට වටහා ගැනීමට හැකි වේ. මොහුගේ මව සුදුවතින් සැරැසී සිටිය ද, තම පුතා යහමඟට යොමු කරනවා වෙනුවට අයහපතටම ඇද දැමීමට කටයුතු කරන්නියකි. ඇයගේ වචන සහ ක්‍රියාවන් යහපත් වූවා නම් ඔහුගේ ජීවිතය වෙනස් වන්නට ඉඩ තිබුණු බව හැඟී යයි.

වර්තමානයේ සමහර දරුවෝ තම මව, පියා තම යහළුවන්ට හඳුන්වා දීමට පවා ලැජ්ජා වෙති. එවැනි අයට පැංචා තම පියාට සලකන අන්දම ආදර්ශයකි. තම යහළුවන් ඉදිරියේ පවා පියා ගැන සත්‍ය තොරතුරු පවසන්නට පසුබට නොවේ. ඔහුට ලැබෙන ආහාරයක් හෝ තම පියාට නොදී කෑමට පවා මැලි වේ. නාට්‍යය අවසානයේ ඔහු පියා සුව කර ගැනීම පිණිස කොළඹ රැගෙන යන විට කඳුළු පිරෙන දෑසින් යුතුව ඉකිගසා හැඬීම තුළින් පිය-පුතු සෙනෙහස පැහැදිලිව දෘශ්‍යමාන වේ. ඔහුට පියා නැවත එන තුරු හෝ තනිව සිටිය නොහැකි බව පැවසීම මඟින් මවගේ වියෝවෙන් පසු තම ජීවිතයට සිටි එක ම ඥාතියා වන පියා සමඟ ඇති බැඳීම සංකේතවත් කරවයි. ඔහුගේ හුදෙකලාව දුරු කරන සෙනෙහසක අවශ්‍යතාව දැඩිව පවතින බව මෙයින් ගම්‍යමාන කරවයි.

ඒ අනුව පැංචා හා වලිසුදා උපතින් මෙවන් ලක්ෂණ රැගෙන ආවේ නැති බවත්, හැදීවැඩුණු පවුල් පරිසරය තුළින් ඒ සියල්ල ඔවුනට උරුම වූ බවත් දැක ගත හැකි ය. මෙවැනි චරිත ගම්බද පරිසරය තුළ ජීවමාන ය.

මෙම නාට්‍යය තුළ චරිත ගණනාවක් පැවැතිය ද, පැංචා, වලිසුදා යන චරිත දෙක සුවිශේෂී යැයි හැඟේ. එය කතාව තුළ යම් සම්බන්ධයක් නොතිබුණත්, දෙදෙනාගේ චරිත ලක්ෂණ තුළ අපූරු සම්බන්ධයක් පවතින බව පසක් කර ගත හැකි වේ.

මේ නාට්‍යය පුරාවට පවතින සිදුවීම් සහ ඒ ආශ්‍රිත චරිත ශ්‍රී ලංකාවට නුහුරු, නුපුරුදු ඒවා නොව සැබෑවට ම පවතින ඒවා ය. මේ චරිත දෙකත් එවැනි සුලභ චරිත වෙති. එදිනෙදා අපට හමු වන චරිත නාට්‍යය තුළින් අපට සජීවිව ලබා දෙන අත්දැකීම  අපේ හදවතට මේ කතාව සමීප වීමට ප්‍රධානම හේතුව වේ. මෙය මායාවක් නොවන අදටත් සැබෑ ශ්‍රී ලාංකේය ජීවිතය විනිවිද දුටු සත්‍ය කතාංගයකි.

 

වයි. බී. තිළිණි නිසංසලා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
Leave A Reply

Your email address will not be published.

two × three =