ආයිබොවන්ඩ සජිත්..,

ජරමර අස්සේ බරකරත්ත කිව්වා වගේ අපේ සෑර්ලා අමාරුවේ වැටිලා ඉන්න මේ වගේ වෙලාවක ඔහොම ෂපෝට්ටෙකක් දෙන එක නං එක්කුසේ උපන් බ්‍රදරයෙක්වත් නොකරන පංකාදු වැඩක් ආයිබොවන්ඩ. සජිත් ළමයගෙ මොළේට ගහන්ඩ එකක් චම්පිකගෙ 43 බි්‍රගේඩ් එකේවත් තියේ නං ඔහොම විනෝද සමයවල් පවත්තන එකක් නැහැ කියලයි අපේ සෑර් නං බඩ අල්ලගෙන හිනාවෙවී කියන්නෙ. අනේ හැබෑට ඔය දරුවට කොයි ගුරුතුමා ද ඔය උපදේසෙ දුන්නෙ. බලාගෙන යන කොට අපෙ සෑර්ගෙ කාබනික පෝර, යුගදනවි, ගුරු වැටුප්, හාල්, ගෑස්, පැට්රෝල් පෝලින් සංදර්සන අස්සෙ සජිත් ළමයගෙ මළකෝලනුත් බල බලා අපි මාර ආතල් එකක් ගන්නෙ හලෝ.

දැන් ඔය ළමයා වට කොරගෙන ඉන්න මැන්ටල්කාරයො ටික දිහා බලපුවහම අපේ සෑර්ට මඟ වරද්දපු චන්න මහාචාරිලා, නාලක, සරත් ආචාරිලා වගේ වියත් මගේ සැට් එක මොන කබ්බො ද කියලත් හිතෙනවා. හොඳයි ඉතිං අපේ සෑර් ෆේල්ම-ෆේල් කියමු කො. එහෙම වුණත්, එතුමා මේ වෙනකන් පෙන්නල තියෙන වැඩ-කිඩවලින් එක දශමෙක තරං දෙයක්වත් ඔය ළමය පෙන්නල තියෙනව ද?

අපේ සෑර් සැන්ටරල් බැංකුව බිඳපු නඩේ අල්ලලා දඬුකඳේ ගැහැව්වා. අපේ සෑර් පාස්කු ප්‍රොහාරෙ මහමොළකාරයා අල්ලා ගත්තා. අපේ සැර් චීනව, ඉන්දියන් නාඩාර්ලව විතරක් නෙවේ ඇමෙරිකන් ලෝක පොලිස්කාරවත් ඔඵවෙන් හිටෙව්වා. මාපිය සොහොන් කේස් එකේ ඉඳන් මල්වාන කේස් දක්වා සකලවිද කේසස්වලින් හත්මුතු පරම්පරාවම නිදොස් කොට නිදහස් කොළා. අපේ සෑර්ට විහිඵවට හරි පොඩි චැලේන්ජ් දෙන්ඩ දියවන්නා මන්දිරේ සජබෙට උන්නු කොඳුනාරටියක් තිබුණ එකම හපනා අර රංජන් කොල්ල ඇහක් නං කියන්ඩ සජිත් බබෝ රංජව හිරේ, විලංගුවෙ දාන එක නතර කොරගන්ඩ ඔහේ මක්ක ද කොළේ කියල ?

කොළොංපුරේට කෝටියක් ජහමනයා දොක්කන් ආවත් වැඩක් තියේ ද ආයිබොවන්ඩ අපේ සෑර් පේල් වෙච්ච විබාගෙන් ඔය ළමයා පාස් වෙන්නෙ කොහොම ද කියල කියන්ඩ බැරි නං. ඔහෙත් නිකං අර වයින් කොරපු සෙල්ලන් අස්සයෙක් වගේ උඩ පැන පැන යටිගිරියෙන් බෙරිහන් දුන්නට බඩගින්නෙ අඬන අපේ පැටවුන්ට කිරිපිටි ටිකක් ලාබෙට දෙන්නෙ කොහොම ද කියන්ඩ දන්නෙ නැහැ නෙ? යහපාලන සමයෙ සිද්ද වුණ හොර ගනුදෙනු, බැංකු මංකොල්ල වගේ මගඩි ගැන මොකුවත්ම මතක නැතුව ඇත්තෙ ඔහේ රනිල් ලොක්කගෙ කැබිනට්ටුවෙ උන්නෙ ඇටබෝල ගහන මොන්ටිසෝරි බේබි සංදියෙ හංද වෙන්ඩ ඇති මයෙ හිතේ.

සජිත් බබාට අප්පච්චිගෙන් ඉගෙන ගන්ඩ බැරි වුණ පාඩං ටික අපෙ සෑර්ගෙන් අහගන්න එක තමා ඇඟට ගුණ ආයිබොවන්ඩ. බලන්ඩ අපේ සෑර්ට කවද හරි ඔහේ දැන් ඉන්න පුටුවෙ අසුන් ගන්න වාසනාවක් ලැබුණොත්, එදාට කොහොම ද වැඩ-කිඩ පෙන්නන්නෙ කියලා. ඔය මඟ හරස් කොරපු පොලිස් රාලහාමිලාගේ ගෙවල්, දොරවල් ප්ලැට් කොරලා පරලෝකෙට පරමෝෂනුත් දීලා තමයි, පස්ස බලන්නෙ. ඒ අතින් නං අපේ සෑර්ලගෙ මැදමුලනෙ මාලිගාවෙ ඉන්න බලුකුක්කෙක් එක්කවත් ඔහෙට හැරෙන්ඩවත් බැහැ ළමයෝ.

ඔහෙලා ඊයෙ පෙරේදා කොළොම්පුරේ පත්තු කොරපු පුස් වෙඩිල්ල හන්දා අපෙ සෑර්ලා හරිම තන්සෝසෙන් ඉන්නෙ. නටපු තොයිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති ඔහොම කෙළි කොරන්ඩ නං ඉස්සරහටත් අපේ සෑර්ගෙන් පුල් සපෝට්ටෙක ලැබෙනවා සත්තයි. කිසි දේකට බයවෙන්ඩ එපා අපෙ රජෝ ඊ ළඟ ජනපති ලේබල් එක ගෝඨා බ්‍රෑන්ඩ් එකෙන් ගලවලා සජිත් බ්‍රැන්ඩ් එකේ අලවගන්න එක විතරයි දැන් ඔහේට ඉතුරුවෙලා තියෙන්නෙ●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

16 − 11 =