දේශපාලන සාක්ෂරතාවය ඕනෑකර තිබේ

මේ රටේ ජනතාව සැමදාම ආණ්ඩු විරෝධීහු ය. එනිසාම මහ මැතිවරණයක දී සාම්ප්‍රදායික ප්‍රධාන විරුද්ධ පක්ෂයට ඡන්දය භාවිත කරති. ඒ පවතින ආණ්ඩුවට විරුද්ධව ය. නව ආණ්ඩුවක් බලයට පත් වී ටික දිනකින් නැවතත් ජනතාව එම ආණ්ඩුවට ද විරුද්ධ ය. දැන් පෙරළා ඔවුහු එළවා දැමූ ආණ්ඩුව විපක්ෂය ලෙසින් භාර ගනිති. වසර හැත්තෑතුනක් තිස්සේ ආණ්ඩු බලහුවමාරුව සිදු වූයේ එලෙසින් ය. මෙම සාම්ප්‍රදායික මැතිවරණ පුරුද්ද ජනගත වූයේ පොරොන්දු දේශපාලනය හරහා ය.

ඉතිහාසය පුරා මෙරට මැතිවරණ දේශපාලනයේ සිදුව තිබෙන්නේ එයයි. සිරිමාවෝ ‘හඳෙන් හරි හාල් සේරු දෙකක් දෙනවා’ යැයි කියමින්, 1970දී ජනතාව රැවටුවා ය. බලයට පැමිණ පැවසුවේ, “හඳේ හාල් නැත” කියා ය. 1977 ජේ. ආර්. ඇට අටක් දෙන බව ද,  ආර් ප්‍රේමදාස (සජිත්ගේ පියා), “පොල් බෑය ශත 35යි. අපි ආවාම ගෙඩියම ශත 35ට දෙනවා යැ”යි පැවසී ය. බලයට පත්ව ඔවුන් පැවසුවේ, ධාන්‍ය රාත්තල් අටට වඩා වෙළෙඳපොළෙන් ගන්නට හැකි බව ය. චන්ද්‍රිකා බලයට පැමිණියේ, පාන් ගෙඩියක් 3.50ට දෙන බව පවසමින් ය. පාන් 4.50ටවත් ගත නොහැකි විය.

පසුගිය දහසය වැනිදා සජබය විරෝධතාවක් දැක්වී ය. ඒ උදෙසා තම පාක්ෂිකයන් කොළඹට කැඳවී ය. ආණ්ඩුව එයට උත්තේජනය සපයමින්, වාරණ නියෝග ගන්නට උසාවි ගියේ ය. එය සාර්ථක නොවූ තැන වසංගතය පාවිච්චි කොට කොළඹට එන්නන්ට බාධා කළේ ය. එය විසින් උද්ඝෝෂණයට වඩා එම බාධා කිරීම් පිළිබඳ ප්‍රවෘත්ති මවන ලදී. සමහර මාධ්‍ය මෙය පිළිබඳව සජීවී වාර්තාකරණයක යෙදිණි. උද්ඝෝෂණයේ සටන් පාඨ බවට පත් වූයේ, ‘ආණ්ඩුවට බැරි නම් සජබයට ආණ්ඩුව දෙන’ ලෙස ය. වසර දෙකහමාරකට ආසන්න කාලයක් තුළ ඉතා නිද්‍රාශීලි දේශපාලනයක නියැළුණු ඔවුහු දැන් අවදි වී ඇත. මෙතෙක් ගොවීන්, ධීවරයන්, ශිෂ්‍යයන්, විශේෂයෙන්ම ගුරුවරුන් ආදී වැඩ කරන ජනතාව මහ මඟ විවිධ විරෝධතාවල යෙදුණහ. එහෙත්, එදෙස නිසොල්මනේ බලා සිටි සජබය පෙරහැර අවසන සාරවිටකරු එන්නා සේ ඒ සියලු සටන් අරගලවල ගැම්ම තම බල හදිසිය වෙනුවෙන් පැහැර ගන්නට තැත් දරයි. දැන් රටේ ජනතාව ද, වමේ ප්‍රධාන පක්ෂ ද, සිවිල් සංවිධාන ද කිසිවක් කොට නැත. සියල්ල සිදු කර තිබෙන්නේ සජබය ය. එපමණක් නොව හැත්තෑතුන් වසරක රටේ විනාශයට වගකිව යුත්තේ, ඔවුන් හැර අනෙකුත් පාලනයන් ය. මෙය පක්ෂයක පටු බල වුවමනා සඳහා මහ දවල් මහජන සටන් ගසාකෑමකි; මහජන විරෝධය ගසාකෑමකි.

ඉතිහාසය පුරා මෙරට මැතිවරණ දේශපාලනයේ සිදුව තිබෙන්නේ එයයි. සිරිමාවෝ ‘හඳෙන් හරි හාල් සේරු දෙකක් දෙනවා’ යැයි කියමින්, 1970දී ජනතාව රැවටුවා ය. බලයට පැමිණ පැවසුවේ, “හඳේ හාල් නැත” කියා ය. 1977 ජේ. ආර්. ඇට අටක් දෙන බව ද,  ආර් ප්‍රේමදාස (සජිත්ගේ පියා), “පොල් බෑය ශත 35යි. අපි ආවාම ගෙඩියම ශත 35ට දෙනවා යැ”යි පැවසී ය. බලයට පත්ව ඔවුන් පැවසුවේ, ධාන්‍ය රාත්තල් අටට වඩා වෙළෙඳපොළෙන් ගන්නට හැකි බව ය. චන්ද්‍රිකා බලයට පැමිණියේ, පාන් ගෙඩියක් 3.50ට දෙන බව පවසමින් ය. පාන් 4.50ටවත් ගත නොහැකි විය. හැත්තෑහතේ එජාප පාලනයෙන් පසු බලයට ඒම සඳහා සියලු දෙනා විධායකය අහෝසි කරන බව පැවසූහ. බලයට පැමිණ එය තර කළහ. සියල්ලෝම පොරොන්දු කඩ කළෝ ය.

රටේ පළමු ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති ම එයින් කඩාගෙන ගොස් ශ්‍රීලනිපය ගොඩනැඟුවේ ය. එය අනෙකෙන් වෙනස් වූයේ ප්‍රතිපත්තියෙන් නොව නම, පාට සහ ඡන්ද ලකුණ ආදියෙන් පමණි. එජාපය ධනවාදී පෙනුම එලෙසින්ම පවත්වා ගත්තේ ය. එයට විපක්ෂය ලෙසින් ශ්‍රීලනිපය වාමාංශික මුහුණුවරකින් ධනවාදය පවත්වා ගත්තේ ය. හැත්තෑහතේ එජාප ආණ්ඩුව අවධියේ සිට විවෘත ආර්ථිකය පක්ෂ දෙකේම ආර්ථික මොඩලය බවට පත් විය.

මෙම පක්ෂ දෙක ජනතා අප්‍රසාදයට ලක් වන විට ඒවායේ නම් වෙනස් විය. ශ්‍රීලනිපයට වඩා පොදුජන පෙරමුණ වෙනස් වන්නේ පක්ෂ නායකත්වයෙන් පමණි. එජාපයට වඩා සමඟි ජන බලවේගය වෙනස් වන්නේ නායකත්වයෙන් පමණකි. ආර්ථික, සමාජයීය, දේශපාලන ප්‍රතිපත්ති හා පාලන උපක්‍රම එකම ය.

දැන් ජනතාවට සාම්ප්‍රදායික දේශපාලනයත්, තට්ටුමාරු දේශපාලනයත් තිත්ත වී තිබේ. සාම්ප්‍රදායික පක්ෂ බදාගෙන සිටින්නන්ට වඩා දැන් වෙනස්ව සිතන නිදහස් මිනිසුන් වැඩි වෙමින් තිබේ.

ඒ අතර සාම්ප්‍රදායික දේශපාලනයේ කල දුටු කල වළ ඉහ ගැනීමේ ප්‍රතිපත්තිය නැවතත් කරළියට එමින් තිබේ. හැත්තෑතුන් වසරක අත්දැකීම්වලින් පාඩම් උගත් ජනතාව දැන් එලෙස රැවටීම පහසු නැත. ජනතාවට සැබෑ විසඳුම් අවශ්‍ය නම් මෙම වංචනික, රැවටිලිකාර දේශපාලනයට එරෙහිව ප්‍රතිපත්ති මත පිහිටා රට හදන වැඩපිළිවෙළක් වටා සංවිධානය විය යුතු ය. ජනතාවගේ පුළුල් වන දේශපාලන සාක්ෂරතාව නිවැරැදි, ශක්තිමත් හා රටේ ප්‍රශ්නවලට නිවැරැදි උත්තර රැගත් නව දේශපාලන ව්‍යාපාරයක් වටා ගොනු වීමට බුද්ධිය සපයනු ඇත●

 

 

Leave A Reply

Your email address will not be published.

20 − thirteen =