ජනතාව ඉල්ලන්නේ අර්බුදයට ඉක්මන් විසඳුමක් !

තැන තැන ගෑස් පෝලිම් ය; තෙල් පෝලිම් ය; කිරිපිටි පෝලිම් ය. ඉතිහාසයේ පළමුවැනි වතාවට සල්ලි නැතිකමින් තෙල් පිරිපහදුව නතර වී ඇත. ඇමැති කියන්නේ, තෙල් හිඟයක් නැති බව ය. එහෙත්, ෂෙඩ් එකේ ‘ඩීසල් නැත’ කියා බෝඩ් ගසා ඇත. පෙට්‍රල්, ඩීසල් පමණක් නොව භූමිතෙල්වත් නැත. ගෑස් නැති වීමත් සමඟ බොහෝ අය භූමිතෙල් ළිපට මාරු වූහ. දැන් භූමිතෙල් ද ඇත්තේ නැත.

අය-වැයෙන් යම් සහනයක් ලැබේවි යැයි ජනතාව බලාපොරොත්තු වූහ. ඒත්, අය-වැයෙන් දරාගත නොහැකි බඩු මිලට කිසිදු උත්තරයක් නැත. තවත් රුපියල් කෝටි තුන්ලක්‍ෂයක ණය කන්දරාවක් හිස මත පතිත වුණේ ය. ඩොලර් අර්බුදයෙන් සියලු ව්‍යාපාරික ප්‍රජාවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී ඇත්තේ ය. සීනි, කිරිපිටි, සිමෙන්ති, ගෑස්, තෙල් අර්බුද සියල්ල ඇති වී තිබෙන්නේ, ඩොලර් අර්බුදය හේතුවෙනි. පෙනෙන තෙක් මානයක උත්තරයක්ද නැත.

පිරිපහදුව මඟින් භූමිතෙල් හා දැවිතෙල් නිපදවන්නේ ය. ලංකාවට අවශ්‍ය භූමිතෙල් නිපදවන්නේ ම පිරිපහදුව මඟිනි. භූමිතෙල් වෙනම ම ගෙන්වන්නට විශාල මුදලක් අවශ්‍ය වන්නේ ය. පහුගිය කාලය පුරාවට ම භූමිතෙල් අවශ්‍ය ප්‍රමාණයට ලබා දුන්නේ පිරිපහදුව මඟිනි. ඒත්, දැන් එහි භූමිතෙල් නිපදවන්නේ නැත.  පොඩි මිනිහාට, ගොවියාට, ධීවරයාට අත්‍යවශ්‍ය ම වන්නේ භූමිතෙල් ය. ඒ වාගේ ම ගුවන් යානාවලට තෙල් නිපදවන්නේ ද පිරිපහදුව මඟිනි. අද වෙන කොට එයත් නතර වී ඇත්තේ ය. කැලණිතිස්ස, කෙරවලපිටිය විදුලි බලාගාරවලට දැවිතෙල් සපයන්නේ ද පිරිපහදුව මඟිනි. කඩාවැටෙන වර්ෂාව නිසා මේ මොහොතේ එය ප්‍රශ්නයක් නොවන්නේ ය. එහෙත්, දිගුකල් පැවැතුණහොත්, ප්‍රශ්නය බරපතළ ය. මෙවැනි මහා අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබිය දීත්, ආණ්ඩුවේ ඇමැතිවරුන් කියන්නේ, අර්බුදයක් නැති බව ය.

කෘෂිකර්මාන්තය සුන්

පොහොර ප්‍රශ්නය ද මේ හා සමාන ය. ගොවියාට නිකම් නොව සල්ලිවලටවත් ගන්න පොහොර නැත්තේ ය. ආණ්ඩුව දෙනවා කියපු කාබනික පොහොර තවමත් ගොවියාට ලැබී නැත. ‘නැනෝ රජා’ දී ඇත්තේ ද ටික දෙනකුට ය. බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ ගොවියාට අත්‍යවශ්‍ය වී ඇත්තේ, කෘෂි රසායනික ය. ඒ කිසිවක් ගන්නට නැත. මේ නිසා ම එළවළු කුණු වන්නේ ය. අලුතෙන් වගා කර ගන්නට විදියක් ද නැත. තමන්ගේ ජීවත් වීමේ ප්‍රධානතම ආදායම් මාර්ගය මුළුමනින් ම බිඳවැටී ඇත්තේ ය. ඒත්, කෘෂිකර්ම ඇමැතිට වගේ වගක් නැත්තේ ය. “කිසි අර්බුදයක් නැතිව අපි බෙහෙත්, පොහොර බෙදලා තියෙන්නේ යැ”යි කයිවාරු ගහන්නේ ය. ඒත් බිම බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ය.

ජීවන වියදම අහස උසට

දවසින් දවස ඉහළ යන බඩු මිල කිසිවකුට දරා ගන්නට බැරි ය. සිමෙන්ති නැතිකමින් එදා වේල හොයා ගත්ත මේසන් බාස්උන්නැහැලා ද බඩගින්නේ ය. වෙනදා කඩේට ගිහින් ගන්න බඩු මල්ලට අද ඒ වාගේ දෙගුණයක් සල්ලි වුවමනා ය. වියදම වැඩි වුණාට ආදායම වැඩි වුණේ නැත. හැම දේ ම දෙගුණයක්, තුන්ගුණයක් මිල ඉහළ ගිහින් ය. මේ ගැන බන්දුල ගුණවර්ධනට ඇත්තේ උණ්ඩුකපුච්ඡි උත්තරයක් ය. නන්දසේනට නම් වගේ වගක් නැත. එහෙත්, ජනතාවට ඇති බරපතළ ම ප්‍රශ්නය නම්, දරා ගත නොහැකි බඩු මිල ය.

අය-වැයෙන් යම් සහනයක් ලැබේවි යැයි ජනතාව බලාපොරොත්තු වූහ. ඒත්, අය-වැයෙන් දරාගත නොහැකි බඩු මිලට කිසිදු උත්තරයක් නැත. තවත් රුපියල් කෝටි තුන්ලක්‍ෂයක ණය කන්දරාවක් හිස මත පතිත වුණේ ය. ඩොලර් අර්බුදයෙන් සියලු ව්‍යාපාරික ප්‍රජාවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී ඇත්තේ ය. සීනි, කිරිපිටි, සිමෙන්ති, ගෑස්, තෙල් අර්බුද සියල්ල ඇති වී තිබෙන්නේ, ඩොලර් අර්බුදය හේතුවෙනි. පෙනෙන තෙක් මානයක උත්තරයක් ද නැත. මේ නිසා ම විදේශ සංචිතය ද හිඳී ගොස් ය. ණය දෙන රටවල් ද පස්ස ගහන්නේ ය. කොයි තරම් කයිවාරු ගැහුවත්, ආයෝජකයන් එන්නේ ද නැත. කඩාවැටෙන, බංකොළොත් වෙන රටක ආයෝජනය කරන්න කිසිවකු කැමැති වන්නේ නැත.

පුපුරා යන ජනතා විරෝධය

මෙහෙම බැලුවා ම හැම තැන ම අර්බුද ය. කිසිවක් විසඳන පාටක් පෙනෙන්නට නැත. ජනතාව ඉන්නේ වේදනාව පිට කර ගන්න ක්‍රමයක් නැතිවය. පුපුරා යන කේන්තිය ගෑස් පෝලිම්වලින්, කිරිපිටි පෝලිම්වලින් එළියට එන්නේ ය. පෝලිම්වල කෑගහන්නේ, මරා ගන්නේ, බිම පෙරළෙන්නේ මේ වේදනාවට ය; කේන්තියට ය. කොටින් ම ගත්තොත්, ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක පුදුම තරහකින් ය. හෙට එළවලා දාන්න පුළුවන් නම්, හෙට ම හෝ එළවා දමන තත්ත්වයක ය. “ආණඩුව පෙරළා දාන්න ඕනෑ යැ”යි හැමෝ ම කියන්නේ මේ නිසාය.

වැඩ බැරි නන්දසේන

රට හදන්න නන්දසේන ඉල්ලුවේ විධායක බලතල ය. ඕනෑවටත් වඩා ඒ බලතල දැන් ඇත්තේ ය. ඊ ළඟට ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලතල ය. එයත් දැන් ඇත්තේ ය. සියලු බලතල තිබුණත්, රටේ ආර්ථිකය දවසින් දවස බරපතළ ලෙස කඩාවැටෙන්නේ ය. ඒ කොවිඩ් නිසා ද නොවේ ය. හාල් ප්‍රශ්නය, සීනි ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය ආදී කිසිවක් කොවිඩ් නිසා ඇති වූ ප්‍රශ්න නොවේ ය. ආණ්ඩුවේ ඔලමොට්ටල, තකතිරු තීරණ නිසා ඇති වූ ඒවා ය. ඒ නිසා කොවිඩ් පෙන්නලා තම බැරිකම වහ ගන්නට බැරි ය. මෙතැන ඇත්තේ, රාජපක්‍ෂ පවුලේ බල තණ්හාව ය. ආණ්ඩුවේ ම අනෙක් කිසිවකුට කිසි දෙයක් කරන්නට ඉඩක් නැත්තේ ය. අඩු ම ගණනේ ඔවුන්ගේ අදහසකට ඉඩක් නැත්තේ ය. එදා අත් දෙක ම උස්සලා විස්සට ඡන්දය දීපු බොහෝ අය අද ඉන්නේ කියා ගන්න බැරි කලකිරීමක ය. මේ දවස්වල තැනින් තැන විටින් විට එළියට එන්නේ ඒ කලකිරීමය.

කලකිරුණු ඇමති පිල

ගම්මන්පිල ඇතුළු කණ්ඩායම එළියට දැම්මේ ඒ කලකිරීම ය. විජේදාස රාජපක්‍ෂ විටින් විට ප්‍රහාර දෙන්නේ ඒ කලකිරීමෙන් ය. සුසිල් ප්‍රේමජයන්ත ප්‍රසිද්ධියේ ම තමන් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු නොවන බව කිව්වේ ය. අනුර ප්‍රියදර්ශන යාපා ආණ්ඩුව අසාර්ථක බව එළිපිට ම කිව්වේ ය. ඊයේ පෙරේදා ජෝන් සෙනෙවිරත්න ගෝඨාභයට තේරෙන්නේ නැති බව කෙළින් ම කිව්වේ ය. ජනතාව මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ පුදුම කේන්තියකින් බව ද කිව්වේ ය. ලොකුවට කෑ ගහන මහින්දානන්ද ම නොකියා කිව්වේ, පොහොර ප්‍රශ්නයෙන් ආණ්ඩුව අනා ගත්ත බව ය. මේ වෙන කොට බොහෝ මන්ත්‍රීවරු රූපවාහිනී වාද-විවාදවල දී ද ආණ්ඩුවේ අඩුපාඩු ඇති බව පිළිගන්නෝ ය. බොහෝ අය අපට වැරැදුණා යැයි ද කියන්නෝ ය. කොමියුනිස්ට් පක්‍ෂයේ ඩිව් ගුණසේකර නන්දසේන ගැන හොඳ ම විග්‍රහය කළේ ය. සමසමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ද කියන්නේ ය. ශ්‍රීලනිපය ඊ ළඟ ඡන්දයට වෙන ම ඉල්ලිය යුතු බවට යෝජනා ද සම්මත කර ගත්තේ ය. බිම් මට්ටමේ බොහෝ ප්‍රාදේශීය සභාවල අය-වැයවල් ද පරදින්නේ ය. ආණ්ඩුවේ ම සමහර මන්ත්‍රීවරු තමන්ගේ ම අය-වැයට විරුද්ධ වෙති.

ඇතුළත විරෝධය මෝරයි

අය-වැය කාලය තුළ ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන්ගේ විවේචන එළිපිට ම සිදු වන්නේ ය. විජේදාස රාජපක්‍ෂ අය-වැය කතාවේ දී ආණ්ඩුව පතුරු ගැසුවේ ය. ආණ්ඩුවේ කිසිවකු එය වැළැක්වූයේ නැත. බාධා කළේ ද නැත. මේ වන විට රූපවාහිනී මාධ්‍ය තුළින් ද තමන්ගේ විවේචන බරපතළව ඉදිරිපත් කරන්නේ ය. එදා නොකියපු කතා සමහර මන්ත්‍රීවරු අද කියන්නට පටන්ගෙන ඇත්තේ ය. මහනුවර මන්ත්‍රී, යාපා බණ්ඩාර පොහොර ගෙන්වීම නතර කළ ප්‍රධානතම හේතුව විදේශ විනිමය ප්‍රශ්නය යැයි එළිපිට ම කිව්වේ ය. මෙතෙක් නොකියා හිටපු දේ කිව්වේ ය. පොහොර ප්‍රශ්නයෙන් ආණ්ඩුව අනා ගත්ත බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වලේබොඩ ප්‍රසිද්ධියේ ම කිව්වේ ය. අනුරාධපුර මන්ත්‍රී, වීරසිංහ, “ඇමැති මොනවා කිව්වත්, අපේ ගොවීන්ට මොන පොහොරක්වත් ලැබිලා නැහැ යැ”යි කියන්නේ ය. මේ සියල්ලෙන් තේරෙන්නේ බුර බුරා නැඟෙන ජනතා විරෝධයත් එක්ක ආණ්ඩුව ඇතුළෙන් ම විරෝධයක් එල්ල වන්නට පටන්ගෙන ඇති බව ය. දිනපතා මහජන උද්ඝෝෂණ ඇති වන්නේ ද නැඟී එන මේ විරෝධයත් සමඟින් ය. නැඟී එන ජනතා විරෝධයත් එක්ක ආණ්ඩුව ඇතුළේ දෙදරා, ඉරිතළා යෑම් දැන් පටන්ගෙන ඇත. මේ අය-වැයෙන් එය පුපුරා යන්නේ නැති ය. එහෙත්, කොයි මොහොතේ කොයි විදියට පුපුරා යන්නේ ද යැයි සිතා ගත නොහැකි ය.

නව බලවේගයකට ඉඩක්

ජනතාවට නම්, විරෝධය කියා ගන්නට හැකියාවක් ඇත. ඒත්, ඇතුළේ මන්ත්‍රීවරුන්ට අඩු ම ගාණේ ඒ විරෝධය ළඟ ම ඉන්න කෙනකුටවත් කියා ගත නොහැකි ය. ඒ නිසා ම එය පුපුරා යන්නේ හිටපු ගමන් ය. ඉතිහාසයේ එවැනි අත්දැකීම් ඕනෑ තරම් තිබේ. ඉදිරි කාලයේ එවැන්නකට ඇති ඉඩකඩ බොහෝ ය. එය කවදා ද? කොහොම ද වෙන්නේ යන්න දැන් ම කිව නොහැකි ය. එහෙත්, ස්ථිර වශයෙන් ම නැඟී එන ජනතා විරෝධයත් එක්ක දෙදරා යෑම එළියට එන්නේ ය. දැනටමත් තුනෙන් දෙකේ බලය වෙනස් වී ඇත්තේ ය. හිටපු ගමන් බහුතරයේ බලය ද වෙනස් වන්නේ ය. එහි දිනය, වේලාව තීරණය කරන්නේ රටේ ජනතාව ය. ජනතා විරෝධයේ ප්‍රමාණයට සාපේක්‍ෂව ආණ්ඩුව ඇතුළේ දෙදරා යෑම ද තීරණය වන්නේ ය. දවසින් දවස වර්ධනය වන්නේ දෙදරා යෑමට අවශ්‍ය රත් වීම ය.

එය වඩාත්  වේගවත් වන්නේ එළියේ ගොඩනැඟෙන ජනතා විරෝධය වාගේ ම විකල්ප බලයත් සමඟ ය. ජනතාවට දැන් අවශ්‍ය වී ඇත්තේ, ආණ්ඩුව පෙරළා එයට විසැඳුමක් ලෙස නව ජනතා බලයක් ගොඩනැඟීම ය. ගොඩනැඟෙන ජනතා බලයේ නායකත්වය පිළිබඳව ද මේ දවස්වල බරපතළ සංවාදයක් ඇති වෙමින් පවතී. කොයියම් ම මොහොතක හෝ ඒ සඳහා නායකත්වය හා ජනතා බලය ගොඩනැඟෙනවා ඇත. ඒ සඳහා ගත වන කාලය වැඩි ඈතක නොවන බව නම් පැහැදිලි ය●

ජගදාක්ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

eight + 13 =