“සංසක්කාරී ඇසුරින් ඇසිය හැකි සංශයවාදී ප්‍රශ්න” – ලියනගේ අමරකීර්ති

මනෝහරි ජයලත් පැහැදිලිවම දක්ෂ ලේඛිකාවක්. ඇයට හොඳට ලියන්න පුළුවන්. සංසක්කාරි නවකතාවේ ශෛලිය ඇයගෙ ලේඛන දක්ෂකමට සාක්ෂියක්. ඒ ශෛලිය මහනුවර යුගයේ සිංහල යැයි කියවෙන භාෂා ප්‍රස්ථරයක් ඇසුරින් නිපදවාගෙන නවකතාවක් පුරා පවත්ව ගන්න එකත්, නවකතාවේ

චරිතවල විවිධ මනෝභාව වෙනුවන් සුඛ නම්‍ය කරගන්න එකත් ලේසි වැඩක් නෙමේ.

මේ නවකතාවේ ඩිංගිත්තිගෙ විවිධ චිත්ත ස්වභාවය ප්‍රකාශ කරන්නත් මේ ශෛලිය ජයලත් පාවිච්චි කරන විදිය හරිම නිර්මාණශීලියි.

එහෙම තැන් පොතේ හැම තැනම තියෙනවා.

සේපාලි මායාදුන්නේ, සුනේත්‍රා රාජකරුණානායක මේ කතුවරිය වන මනෝහරී ජයලත්ට මේ ශෛලිමය ඉඟිය දුන්න කියන්න පුළුවන්. නමුත් ඒක ස්වීකරණය කරගෙන වර්ධනය කරන බවක් පේනවා.
උඩරට රාජධානියේ අර්බුදකාරී වෙලාවක රජක කුල කෙල්ලෙක් සිංහල රාජ්‍යයත්වයේ සංකේතය වූ දළදා වහන්සේ ආරක්ෂා කරගන්න දායක වන හැටි මේ නවකතාවේ තියෙනවා.

ඇය කුල පීඩිතයි. කාන්තාවක්. ඒ වගේම ළාබාලයි. ඒ නිසා පැති කීපෙකින් නිර්ප්‍රභූ. කුලයෙන්, ස්ත්‍රී-පුරුෂභාවයෙන් සහ වයසින් නිර්ප්‍රභූ.

එහෙම කෙනෙකුට ඒ කාලෙ උඩරට රදල දේශපාලන සැලසුම්වලට මෙච්චර සම්බන්ධ වෙන්න අවකාශ තිබුණද කියන එක වෙනම ප්‍රශ්නයක්. ප්‍රබන්ධ කථාවලින් ඒ වගේ ප්‍රශ්න අහන්නත් අමාරුයි.

හැබැයි ඓතිහාසික කතාවලදි ඒව නොඅහත් බෑ.

ඩිංගිත්තිට මේ කාරක ශක්තිය ලැබෙන්නෙ නැකැත් ශාස්ත්‍රය නිසා. එයා උපදින්නෙ බලවත් නැකතක. නැකැත් ශාස්ත්‍රය වගේ දේවලට සාමාන්‍යයෙන් හේතුවාදය වගේ දේවලින් එල්ල වන්නෙ ඥානවිභාගවාදී විචාරයක්. ඒ කියන්නෙ ඒවගෙන් සැපයෙන දැනුම සත්‍යය හැටියට ගත හැකි දැනුමක්ද කියන එක තමයි අහන ප්‍රශ්නෙ.

ඒ විචාරයකින් ජෝතිෂ්‍යය, නැකැත් ශාස්ත්‍ර වගේ ජන සංස්කෘතික අංග නිෂ්ප්‍රභා කරන්න අමාරුයි. මේ නවකතාවෙ තියෙනවා වගේ නැකැත් ශාස්ත්‍රය අදාළ චරිතවලට ආර්ථික, දේශපාලන ව්‍යුහවලට සම්බන්ධ විය හැකි කාරක ශක්තිය ලබා දෙනවා නම් අර ශාස්ත්‍රවලට ව්‍යුහමය පැවැත්මක් ලැබෙනවා. ඒවා ‘ඇත්තද’ කියන ඥානවිභාග ප්‍රශ්නෙ නෙමෙයි අදාළ, ඒවා විශ්වාස කරන පිරිසක් සමාජ ව්‍යුහයක විසිර සිටිනවාද කියන එක.

අන්න එහෙමයි අද අපේ රටේ පළමු වෙනි බලවත් කාන්තාව බවට අනුරාධපුරේ ඥානක්කා පත් වෙලා ඉන්නෙ.

මේ නවකතාවේ එන තීරණාත්මක ඓතිහාසික සිද්ධි ගැන කෙළවරක් නැති ප්‍රශ්න අහන්න පුළුවන් ඇති. මේ නවකතාවේ එන රජක කුළ ප්‍රජාව තුළ පවතින්නාක් වැනි දේශපාලන සවිඥානකත්වයක්, යටත් විජිතවාදය වැනි සංසිද්ධියක් නූතන පුරවැසියන් තරමටම විග්‍රහ කරගත හැකි විඥානයක් තියෙන්න පුළුවන්ද කියල කෙනෙකුට අහන්න පුළුවන්.

උදාහරණයක් මෙහෙමයි: වර්තමාන මෙක්සිකෝව ප්‍රදේශයට කොර්ටේස් නම් ස්පාඤ්ඤ ආක්‍රමණිකයා එනකොට මෙක්සිකෝ ප්‍රදේශයේ හිටපු ස්වදේශිකයො හිතුවෙ තමන්ගෙ වර්තමාන රජ-දෙවිවරුන්ගෙ බලය පැවති යුගය අවසාන වෙලා නොවැළැක්විය හැකි අලුත් දෙවි-රජ බලවේගයක් දේව කැමැත්තෙන්ම එනවා කියලා. වර්තමාන හවායි දූපත් පැත්තට කැප්ටන් කුක් මුලින්ම එනකොට ‘දෙවියො එනවා’ කියල ස්වදේශිකයො හිතල තියෙනවා. මේ ගැන මහාචාර්ය ඔබේසේකර පොතකුත් (The Apotheosis of Captain Cook) ලිව්වා. ඔහු නම් ඒ ප්‍රවාදෙ අභියෝගයට ලක් කරනවා. ඔබේසේකර මහාචාර්යතුමා හිතන්නේ ඒ ස්වදේශිකයන් කැප්ටන් කුක්ට දේවාත්වාරෝපණය කළාය කියන කතාව යුරෝපීය නිෂ්පාදනයක් බවයි.

මාර්ටින් ශලින්ස් සහ ඔබේසේකර අතර ලොකු විවාදෙකුත් ඇති උනා මේ ඇසුරෙන්. මුහුදෙදි ශීතාද රෝගෙ හැදිල ඔක්කොම දත් වැටුණ කැප්ටන් කුක් දෙවි කෙනෙක් කියල කවුරුවත් හිතයිද කියල ඒ විවාදෙදි ඇහුණා!

හැබැයි ඉතින් දෙවියන්ට දත් තියෙන්නම ඕනැ කියල හිතෙන්න ඉඩ තියෙන්නෙ දන්ත සෞඛ්‍යය සහ දන්තමය ශෝභනත්වය ගැන අදහස් සහිත නූතන සමාජෙක නේද කියලත් කෙනෙකුට අහන්න පුළුවන්!!

යටත් විජිතවාදය වැඩ කරන්නෙ පුරාණෝක්තිමය කතන්දර නිර්මාණය කරමින්.. සංසක්කාරි කතුවරිය යටත් විජිතවාදය සහ දෘෂ්ටිවාදය අතර සම්බන්ධය තව ටිකක් වටහා ගත්තා නම් හොඳයි. මහනුවර යුගය ගැන නවකතා ලියන බොහෝ දෙනෙකු තුළ ඒ වටහා ගැනීම දකින්න අමාරුයි.

අපේ රටට යටත්විජිතවාදීන් එනකොට ඒ පැමිණීම කොහොම අර්ථ කථනය වුණාද කියන එක පැහැදිලි නෑ. යටත් විජිතවාදය සම්බන්ධ නූතන විඥානයක් තිබුණද වෙනත් අර්ථ කථනයක් තිබුණද නැතිනම් ඉහළ සිද්ධ වන බල හුවමාරු ගැන ජනයා තුළ එතරම් සවිඥානකත්වයක් තිබුණෙම නැද්දකියල අපි තවම හොයල නෑ.

මහනුවර යුගය අලුත් නවකතාවල ඉන්න ඉතා පිටිසර ගැමියො පවා විමල් වීරවංශගෙ කතා අහල ඇවිස්සුණ වර්තමාන ජාතිකවාදියො වගේ. ඒක ඒ ඓතිහාසික වශයෙන් පිළිගත හැකි කාරණයක්ද?

සමහර විට අපේ ජනයා තුළ දේශානුරාගය අනික් සියලු හැඟීම්වලට ඉහළින් අඛණ්ඩව තියෙන්න ඇති. එහෙම තිබුණා කියල හිතන එක නූතන ජාතිකවාදයේ ෆැන්ටසියක් වෙන්නත් පුළුවන්. ඔන්න ඕවා ගැන තමයි පර්යේෂණ කරන්න ඕනෙ.

මේ නවකතාවෙ පේන විදියට රජක කුල ප්‍රජාවක් දේශපාලන බල කතිකාවට මෙතරම්ම කිට්ටුවෙන් ඉන්න පුළුවන්ද කියල ඉතිහාසය දන්න අය විග්‍රහ කරයි.

ඔය ඔක්කොම අතරෙ මේක ලේඛිකාවකගෙ පළමු නවකතාව විදියට ගත්තම ආකර්ෂණීය ආරම්භයක්.

මහනුවර යුගය ගැන එකක් පසුපස එකක් එන නවකතා ඇයි එහෙම එන්නෙ? ඒවා මේ විශේෂ ඓතිහාසික යුගයම කණින්නෙ ඇයි? ඒ කැණීමෙන් විසි එක් වෙනි සියවසට ලැබෙන අන්තර්දෘෂ්ටි මොනවද?

දක්ෂ ලේඛක ලේඛිකාවන් සමකාලීන මනුෂ්‍ය පැවැත්මේ සංකීර්ණතා ගවේෂණය කිරීම වඩා උචිත නැද්ද? අවුල් වියවුල් නරනාටකයක් වූ වර්තමාන ලංකාව කොච්චර නම් මැජික්මය කතාවලට හසු කර ගත හැක්කක්ද? ඔය වගේ ප්‍රශ්න මට ඇති වෙන්නෙ මහනුවර යුගය පසුබිම් කරගත් නවකතා තොගයෙන් වැඩි කොසක් කියවූ කෙනෙක් හැටියට.

දේශපාලනමය වශයෙන් අර්බුද වෙලාවට නොයෙක් පීඩිත කුලවල ජනයා පවා දළදා වහන්සේගේ ආරක්ෂාවට තමන්ගේ ජීවිත පරිත්‍යාගය කරන්නට ඉදිරිපත් වුවත්, මේ නවකතාවේ එන හැටියට ළාබාල ස්ත්‍රීන් පවා තම ජීවිත පරදුවට තිබ්බත්, ඒ දේශපාලන අර්බුද සමනය වී යම් දේශීය හෝ විදේශීය ප්‍රභූ පිරිසක් අත දේශපාලන බලය සංකේන්ද්‍රණය වූ පස අර නොයෙක් ආකාරයෙන් බෙදී ගිය සමාජය එක් කිරීමට, නිර්මානුෂිකත්වයක් කරා පිරිහෙලන ලද නිර්ප්‍රභූ ජනයාගේ ජීවිත ඔසවා ලන්නට දළදා වහන්සේ කර ඇත්තේ මොනවාද?

නූතන අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදය නොපැමිණියේ නම්, කවර දුර්වලතා සහිතව හෝ නොපැවතියේ නම්, විවිධාකාරයේ නිර්ප්‍රභූන්ට දළදා වහන්සේ අත්කර දීමට ඉඩ තිබුණු ජීවිතය කුමක්ද? උන්වහන්සේ වැඩවසන මාළිගයට, එය බාරව ඉන්න වලව්වලට සහ පන්සල්වලට නොනැවති බැලමෙහෙ කිරීමද?

මෙවැනි ප්‍රශ්න අසන කලාවක නියැලීම ලංකාවේ වැඩ වසන දළදා වහන්සේට කෙසේ වෙතත්, ඒ දන්ත ධාතුව මුලින්ම වැඩ විසූ ශ්‍රී මුඛය හිමි අපේ බුදුහිමියන්ට කරන ලොකුම ගෞරවය නොවේද? ඉතිහාසයේ විසූ හොඳම විමුක්තිකාමියෙකුට දැක්විය හැකි ගෞරවය එය නොවේද?

මට මේ ප්‍රශ්න නොඅසා බැරි මේ නවකතාවෙ ඩිංගිත්තිලා උන්න ප්‍රදේශයේ එක යායට තවත් රෙදි වනලා තියෙනවා එතනින් යනකොට මට පේන නිසා.

– ලියනගේ අමරකීර්ති
amarakeerthi.blogspot.com

Leave A Reply

Your email address will not be published.

seven + sixteen =