ඔහු සිය පියවර ලකුණු ඉතිරි කර නික්ම ගියේය

ජීවිතයෙහි අපට කලාතුරකින් හමුවන සහෘදයෙකු හට සමුදෙමින් ඔහු රැගත් පෙරහැර සුසානභූමිය කරා ඇදෙන මොහොතේදී වෙනත් ස්ථානයක හමුවූ අප පිරිසක් අතර සමාජ වෙනසක් සඳහා වන කතාබහක් ඇවිල යමින් තිබිණි. ඊට පෙරදා රැයෙහි තවත් සහෘද පිරිසක් සමගින් කළ කතාබහේ සමුදයාර්ථය වී තිබුනේද ඔහු ගේ විශේෂත්වයමය. ඉදින් බොහෝ මිනිසුන් නිහඬවම නික්ම යන වර්තමානයක ඔහුද නික්ම ගොසිනි. එහෙත් ඔහුගේ නික්ම යාම ඇති කළ කම්පනය සුළුපටු නැත. ඒ ඔහු නැති අඩුව ඉතා තදින් දැනෙනා හෙයිනි.
සංගීතඥයෙකු, රංගශිල්පියෙකු, ගායකයකු, සමාජ ක්‍රියාකාරිකයෙකු ආදී වශයෙන් ලක්‍ෂමන් විජේසේකර නම් මිනිසා සිය කුටුම්භ ජීවිතයට භාහිරව තවත් බොහෝ ක්ෂේත්‍ර යන්හී සිය දායකත්වය සපයා තිබිණි. එහෙත් ඔහුගේ විශේෂත්වය වූවේම මේ කිසිදු භුමිකාවක් තුළ ඔහු වෙතින් වංක බවෙහි සේයාවක් හෝ දක්නට නොලැබීමය. සුපසන් රූපකායකට හිමිකම් කී ඔහු තමන්ටම ආවේනික හඬ පෞරුෂයක්ද හිමිකරගෙන සිටියේය. සිය සංගීත ඥානයෙන් ළමා පරපුර වෙත ඉතා විශාල දායකත්වයක් සැපයූ ඔහු දහස් ගණනක් ගීත සිය නම ඉදිරියෙන් නොලියූවද රසිකයනට කිසිදා අමතක කරලිය නොහෙනා ගීත කිහිපයක් ඉතිරි කළේය. සම්මාන පෙරහරවල වැජඹෙන්නට හෝ ආරවුල් කරන්නට නොගිය ඔහු අනෙක් අය සම්මාන ලබද්දී ඒ දෙස උපේක්ෂාවෙන් බලා‍ සිටියේය. හර්බට් කුමාර අලගියවන්න මිතුරා පැවසූ පරිදි ලංකාවේ පළමු ඒකාංගික ටෙලි නාට්‍යයෙහි සංගීත අධ්‍යක්‍ෂවරයා ඔහුය. එහෙත් ඔහු කිසි දිනෙක හෝ තම දායකත්ව ගැන උත්කර්ෂයෙන් කතා කරනු මා දැක නැත. ඒ වෙනුවට ඔහු සිය මදහසින් බොහෝ දේ සමාජයට ඉතිරි කළ බව පමණක්ම අපට මතකය.

මචං අපිට උඹ වගේ වෙන්න බැරිවුන එක ගැන දුකයි

ඔහු අරගලයෙහි ලෙය කෝප කරවනා ගී ගැයුවේ නැති. එසේම යුධ උන්මාදයෙන් මත්ව පිලිම වන්දනාවන්ට පෙලගැසුනේ හෝ රණවිරු උපහාර ගී ගැයුවේද නැත. යුද්ධයෙහි උමතුසං වරුසාවෙහි සිය සහෝදර ශිල්පීන් සතුටින් තෙමෙද්දී ඔහු ඔවුන්ගෙන් බැහැරව සිය මදහස රැඳි මුවින්ම ඒ දෙස උපේක්ෂා සහගතව බලා සිටියේය. ඔහුගේ සමකාලීනයෙකු මෙන්ම සංගීත ක්ෂේත්‍රයෙහි ඉදිරිපෙලම සිටි එක් අයෙක් මචං උඹ වගේ ඒ උතුම් ගතිගුණ හැම එකක්ම එකම විධිහට පිලිපදින්න මට බැරිවුනා යයි ලියා තිබෙනු දුටිමි. ඔහුගේ මිතුරන්, සමකාලීනයන් සහෝදර ශිල්පීන් බොහෝ දෙනකු සිය හෘද සාක්ෂිය අවදිවන මොහොතෙහි නොපවසා පවසන කතාවෙහි තිබුණේ මෙවන් අදහසකැයි මට සිතෙයි. මචං අපිට උඹ වගේ වෙන්න බැරිවුන එක ගැන දුකයි.
අපටද ඒ බොහෝ අයට එසේ ලක්ෂමන් වැනි මිනිසකු වෙන්නට බැරිවීම ගැන කනගාටුය. එහෙත් ලක්ෂ්මන් ගැන සිතන විට අපට දැනෙනුයේ සිත උතුරා යන සතුටක් බවද කිව යුතුමය. ඒ ලක්ෂ්මන් හට කිසිදාක හෝ ඔහුගේ අර කතාව පසවන මිතුරන් වැනි අයෙක් වෙන්නට වුවමනා නොවූ එක ගැනය. තම ස්ථාවරයෙහි නොසැලී සිටින්නට හැකිවයාව තිබූ එක ගැනය. වරප්‍රසාද පසුපස හඹා නොයමින් අසීරු මගෙක යාමට හැතියාව තිබූ එක ගැනය.
වරක් පිදෙල් කැස්ත්‍රෝගෙන් පුවත්පත් කලාවේ්දියෙකු මෙසේ අසා සිටියේය. ඒ කියුබාව සෝවියට් සහයද අහිමිව තනිව සිටි අවධියෙහිය. ‘පිදෙල් සහෝදරයා, ඔහේ තනියෙම නේද?”
පිදෙල් ඊට දුන් උත්තරය අතිශය දේශපාලනික ය.
‘ඔවු තනියෙං තමයි හැබැයි ඉහලින්ම.”
ලක්ෂ්මන්ද එසේ තනියෙම එහෙත් ඉහලින්ම සිටි මිනිසකු ලෙස හඳුන්වා දිය හැකිය.

ඔහුගේ ගමන අතිශය වේගවත් නැත

ලක්ෂ්මන් ගේ ගුරු භූමිකාව අද ගුරු පරපුර ගැඹුරින් සලකා බැලිය යුතුය. ඔහු ළමා පරපුර වෙනුවෙන් කළ මෙහෙවර වර්තමානයේ ළමා පරපුර ගැන උනන්දු නිර්මාණකරුවන්ගේ නොමද අවධානයට ලක්විය යුතුය. මේ සෑම භූමිකාවකදීම ඔහු පෙන්වා සිටියේ අදිටන් සහගත මිනිසකුට බොහෝ දුර යා හැකි බවමය. දේශපාලන වරදානයන් වෙත නොනැමුන ඔහු ඒ පසුපස හඹා යමින් ඉන් මත්ව සමාජ දූෂකයන්ගේ ‘ඩිකී ක්ලීනර්ලා’ බවට පත් තම පරපුරේ අයට ඒ මතින්ම පසුවන්නට ඉඩ හැර තමන්ට ලැබෙන සෑම අවස්ථාවකදීම සමාජ වෙනසක් උදෙසා අවංකවම කැපවී තමන් වෙනස් එකෙකු බව ක්ෂේත්‍රයටම පෙන්වා දුන්නේය. ඔහුගේ ගමන අතිශය වේගවත් නැත, එසේම අතිශය මන්දගාමීද නැත, ඒ ඔහු සැමදා පවත්වා ගත් වේගයයි. එහෙත් ඒ වේගයෙන් ඔහු සැම විටම තමන් නිවැරදිව සිටිය යුතු තැන සිටගෙන සිටිනු දක්නට ලැබුණේය. ඔහු එසේ තම වේගයෙන් ඉදිරියට ඇදෙද්දී නොයෙක්වර ඔහුට තමන් පසුකර වේගයෙන් ඉදිරියට ගිය උදවිය එක්වරම වෙනත් අතකට හැරෙනු ද යළි මාවතට පිවිස තමන් පසුකර දිවගොස් යළි වල්මත් වනුද දකින්නට ලැබුණේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඔහු ඒ කිසිවකින් කෝප ගත්තේ හෝ කම්පනයට පත්වූවේ හෝ දිරි සිඳගත්තේ හෝ නැත. ඒ වෙනුවට ඔහු දිගටම තම මාවතෙහි ගමන් කළේ බොහෝ අයට යළි යළි එහිදීම හමුවිය.

ලක්ෂ්මන් සිය ජීවිතයෙහි අවසන් කාලයෙහි යහ පාලන ආණ්ඩුව ගෙන ඒම උදෙසා කළ දායකත්වය කිසිදාක හෝ අමතක කළ නොහැකිය. ඔහු ඒ අරගලයට එකතු වූවේ පොදු අරමුණකින් මිස කිසිදු පුද්ගලික චේතනාවකින් නෙවේ. එහිදී විඳින්නට සිදුවූ ගැහැට නිහඬවම විඳදරාගත් ඔහු ආණ්ඩු බලය ලද පසුව බොහෝ අය වරදාන පසුපස යද්දී නොසැලී පසෙකට වී සිනහමුසු මුහුණින් පසුවීය. ඒ අතරම දේශපාලන බිමෙහි මැදිහත්වන අතරම ඉතා කුඩා කණ්ඩායමකගෙන් වුව සිය සංගීත දායකත්වය ඉල්ලා කෙරෙන ඉල්ලීමකදී පෙරලා ලැබෙන ප්‍රතිලාභ ගැන නොවිමසා අවංකවම තම දායකත්වය සපයා සිටියේය. යහපාලන ආණ්ඩුව තමන් මත විශාල ජනතාවක් විසින් තබන ලද විශ්වාසය කීතු කර දමද්දී, දැන් ඉතිං තමන්ටත් හැන්දක් බෙදාගන්නවා ඇර වෙන දෙයක් නැතැයි සිතන තැනකට ඔහු පත්වූවේ නැත. ඒ වෙනුවට ඔහු යලිත් සිය සුපුරුදු
වේගයෙන් සමාජ වෙනසක් උදෙසා වන උත්සාහයන්හී දායකත්වය සපයන්නට පටන් ගති. ‍

ලංසු තියනා කලාකරුවන් අතර ලක්ෂ්මන් මිනිසෙක්

ලක්ෂ්මන් විජේසේකර නම් මිනිසා සිය ජීවිතය තුළින් සමාජයට දායාද කළ දේ බොහෝය. සංගීතය එහි ඉදිරිපෙලෙහිම ඇති බව අවිවාදිතය. එහෙත් ඒ සියල්ල පරයා ඔහු ඉතිරි කළ දෙයක් තිබේ. වඩාත් වටින්නේ එයයි. අද දවසේදී ඒ ඉතිරි කළ දෙයෙහි වටිනාකම අන් කවරදාටත් වඩා ඉහලය. ඒ අල්පේච්ඡ පැවැත්මක් තුළ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් අරගල කරන්නට, කවර බාධක එල්ල වුවද, කවර වරදාන තිළින කෙරුනද ඒ නොතකා සිය අරමුණෙහි සිටින්නට ඇති හැකියාව මය. අත් හරින්නට අපට බණ දෙසමින් වස්තු පොදි බැඳීම සිය දහම කරගත් භික්ෂූන් මෙන්ම මානව හිතවාදය දේශනා කරමින් ජනතාවගේ අන්තිම සතයත් කොල්ලකන දේශපාලකයන් පමණක් නොව කලාව වෙනුවෙන් ජීවිතය යයි කියමින් නිර්ලජ්ජිත ලෙස කලාවට ලංසු තියනා කලාකරුවන් අතර ලක්ෂ්මන් මිනිසෙක් වනුයේ එහෙයින්මය.

දැන් ඉතිං නම් සියල්ලම අහවරයි කරන්න තියෙන්නෙ රටින් යන එක විතරයි කියා මේ වන විට බොහෝ දෙනකු සිතන බව සත්‍යයකි. එහි අසාධාරණයක්ද නැත. එහෙත් එසේ සිතෙනා සෑම මොහොතකම වෙනස් ආකාරයකට සිතන්නට හැකි භාවිතාවක් ලක්ෂ්මන් සිය ජීවිතය තුළින් අපට ඉතිරි කර ගිය බව අප වටහාගත යුතුය. එ මග අසීරුය, එහෙත් මිනිස් ජීවිතයට අර්ථයක් දීමට එය මහඟු අත්වැලකි.

ලක්ෂ්මන් යනු  ආදරය බෙදා දුන් මිනිසෙකි

ඔහු සිය පියවර ලකුණු ඉතිරි කර නික්ම ගියේය. ජයග්‍රහණයක සේයාවක් හෝ නොපෙනෙන අවස්ථාවක, අති බහුතරයක් දිරිසුන්ව සිටි මොහොතක ඔහු ජීවිත ගමන නිමා කළේය. එහෙත් ඒ අවසන් මොහොත දක්වාම තම ගමන් මග පිළිබඳව ඔහු තුළ පශ්චාත්තාපයක් නොතිබූ බව සහතිකය. එසේම තමන්ට ජය ‍දකින්නට නොලැබුණද මේ ලෝකය වඩා වෙනස් අතට හරවන අරගලයක් සිදුවන බවට වූ විශ්වාසය ඔහු තුළ අවසන් මොහොතේදී පවා තිබුණ බවද නිසැකය.
ඉදින් ඔහු අද අප අතර නැත. එහෙත් ඒ සුන්දර මිනිසා පිළිබඳ මතක කිසිදා අපෙන් ඈත්ව නොයන බව ස්ථිරය. අවසනට මෙසේ ලියමි.
ලක්ෂ්මන් යනු මිනිසෙකි. ඉහලම රැඳුනු මිනිසෙකි. පහලටම නැමුණ මිනිසෙකි. ආදරය බෙදා දුන් මිනිසෙකි.

– චුලානන්ද සමරනායක

මෙම ලිපිය 2021- 11- 21 ලංකා පුවත්පතේ ROSE හි පළකර ඇත.

 

Leave A Reply

Your email address will not be published.

11 − two =