රට හැර යාම අවසන් විසඳුම ද?

වර්තමානය වන විට රටේ තරුණ, වැඩිහිටි සෑම පුද්ගලයකු තුළ ම ඇති ආකල්පය නම් විදෙස්ගත වී තමන්ගේ සිහින දිනාගැනීමයි වැඩිහිටියෝ තමන් නොලද සැපවත් ජීවිතයක් තම දරුවන්ට හෝ ලබා දීමේ අරමුණින් විදේශවලට ඔවුන් යොමු කිරීමට උත්සාහ දරති. කවුරුන් හෝ සමඟ ඉතා සුළු වේලාවක් අදහස් හුවමාරු කර ගත් විට ඒ සෑම කෙනකුගේම පාහේ මුවින් පිට වන්නේ “මේ රටේ ඉඳලා නම් ගොඩ ඒමක් නෑ” වැනි අදහසකි තාරුණ්‍යය තුළ ද ඇත්තේ මෙවැනි අදහසකි. ඔවුන් තාක්ෂණය සමඟින් ඉදිරියට යාමට කැමැත්තක් දක්වන පිරිසකි. බොහෝ විට ඔවුහු විදේශවල වාහනවල සහ දුරකථනවල මිල ගණන් අපේ රටේ මිල ගණන් හා සංසන්දනය කරමින්, මේ රටේ ඉපදීම අවාසනාවක් ලෙස මැසිවිලි නඟමින් සිටිති. ඇත්තටම රට ගැන කලකිරීමටත්, එමඟින් මෙවැනි ආකල්ප ඇති වීමටත් හේතුව කුමක් ද යන්න පිළිබඳව අප සොයාබැලිය යුතු ය.

එකම පන්තියේ දේශපාලන කණ්ඩායම් දෙකකට මේ රටේ බලය වසර 73ක් තිස්සේම ලබා දෙමින්, තවමත් ඔවුන් විසින් මේ රට සුරපුරයක් බවට පත් කරනු ඇතැයි අපි අන්ධ විශ්වාසයකින් යුතුව සිටිමු.

පළමුවැනිම කරුණ නම් සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ අතෘප්තිමත්භාවයයි මිනිසාගේ මූලිකම අවශ්‍යතා වන්නේ හොඳ ආහාර වේලක්, නිවෙසක්, හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් වැනි දේ ය. මෙවැනි මූලිකම අවශ්‍යතා ද නිසි ලෙස සම්පූර්ණ කර ගත නොහැකි මිනිස් සමාජයක් අප රට තුළ ගොඩනැඟී තිබේ. මෙවැනි සමාජයක් අපට තිළිණ කොට ඇත්තේ, කප්පරක් බලාපොරොත්තු සමාජගත කොට ඒ මඟින් මුළා වුණු ජනතාවගේ කැමැත්තෙන්ම රට පාලනය කරන හා මෙතෙක් දුරට පාලනය කරන ලද දේශපාලන කණ්ඩායම් විසිනි.

එකම පන්තියේ දේශපාලන කණ්ඩායම් දෙකකට මේ රටේ බලය වසර 73ක් තිස්සේම ලබා දෙමින්, තවමත් ඔවුන් විසින් මේ රට සුරපුරයක් බවට පත් කරනු ඇතැයි අපි අන්ධ විශ්වාසයකින් යුතුව සිටිමු. විටෙක සිංගපූරුවක් කරන ආකාරය ද, තවත් විටෙක ආසියාවේ ආශ්චර්යය කරන බව ද, යහපාලනයක් මඟින් රට දියුණු කරන බව ද, දියසෙන් කුමරු, ගමේ මිනිහෙක්, මොළ හතක් ඇති නායකයෙක්, ආසියාවේ හොඳ ම මොළය වැනි  පුරසාරම් දොඩවමින් ද, ජාතිකත්වයන් අසමඟි කරමින්, මිනිසුන් බෙදා වෙන් කොට රවටා ඔවුන්ගේ කැමැත්ත මනාපයක් බවට පෙරළාගෙන සුර සැප විඳින පන්තියකට රට භාර දී අප රටෙන් පිට වී යාම සාධාරණ ද? අප පිටුවහල් කළ යුත්තේ මේ දේශපාලනය නොවේ ද?

වසර 73ක් මොවුන් මේ රට සුරපුරයක් කරාවි යැයි අප සිතාගෙන සිටින මනෝරාජික සිහිනයෙන් සමාජය මුදා ගැනීමට අප වෙර දැරිය යුතු ය. අපගේ පරම්පරාව මේ ව්‍යසනයෙන් රට මුදා නොගන්නේ නම්, අපගේ දරුවන් පවා මෙවැනි රටක් ඔවුනට ඉතුරු කිරීම හේතුවෙන් අපට ශාප කරනු නියත ය. තව තවත් මේ දූෂිත දේශපාලනයට නොරැවටී, යහපත් අනාගතයක් වෙනුවෙන් නව ගමන් මඟකට යොමු වීමට නිසි කාලයයි මේ…!

සිතුම් වීරතුංග
ජනසන්නිවේදන අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
Leave A Reply

Your email address will not be published.

12 + 15 =