මලාලා දැන් ක්‍රිකට් සතු වස්තුවක්

තරුණ යුවළකට මංගල සීනු හැඬවීම අමුත්තක් නොවුනද මෙම මංගල සීනු හැඬවෙන්නේ සාමාන්‍ය තරුණියකට නම් නොවේ. ඇය මලාලා යූසුෆායි ය. අඩුම වයසින් නොබෙල් සම්මානයක් හිමි කරගත් තැනැත්තියයි. ලෝකය පුරා ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් නොබියව හඬ නගන්නියයි.
පසුගිය නොවැම්බර් 09 වෙනිදා ඇය තම ට්විටර් ගිණුමේ මෙලෙස පණිවිඩයක් තබා තිබුණා ය.
“අද මගේ ජීවිතයේ අගනාම දවසයි. අසර් සහ මම ජීවන සහකරුවන් ලෙස අතිනත ගත්තා. අපි බර්මිංහැම්වල අපේ පවුල්වල උදවිය එක්ක නිවසේ කුඩා නිකාහ් (පාකිස්තාන විවාහ සම්ප්‍රදායක්) උත්සවයක් සංවිධානය කළා.”
“ඔබලාගේ යාඥාවන් අප වෙත එවන්න. අපි මේ ජීවන ගමන ඉදිරියට යන්න බොහොම උද්යෝගයෙන් බලා සිටිනවා,” ඇය තවදුරටත් එහි සටහන් කර තිබිණි.

ඇයගේ සැමියා වන අසර් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ තනතුරක් දරන බව මාධ්‍ය වාර්ථාවල දැක්වෙයි. ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික සහ දේශපාලනික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඔහු කොකාකෝලා වැනි ලොව ඉහළ පෙළේ සන්නාම සමඟ කටයුතු කර ඇත.

වාර්ථාවලට අනුව මලාලා සහ අසර් අතර සම්බන්ධතාවය පවතින්නේ 2019 වසරේ සිට වුවද ඔවුන් දෙදෙනා සිය සම්බන්ධතාවය ලෝකයට වසන් කර තබා ගෙන සිටියහ. 2019 වසරේදී අසර් විසින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට ඔහු, මලාලා සහ හිටපු පාකිස්තාන වේග පන්දු යවන්නෙකු වූ වකාර් යූනුස් සමඟ ලෝඩ්ස් පිටියේදී ගත් ඡායාරූපයක් එකතු කර තිබේ. දෙදෙනාගේ සබඳතාවය ගැන පළමු ඉඟිය ලැබෙන්නේ එයිනි.

කෙසේ වුවද නිකාහ් යනු ඉස්ලාමීය මංගල ක්‍රමයට අනුව නිකාහ් උත්සවය යනු විවාහ වීමේ පළමු අදියර වන අතර එය නීත්‍යානුකූල විවාහයක් වීමට නම් පුද්ගලික උත්සවයක් පැවැත්විය යුතු අතර එවැනි උත්සවයක් පැවැත්වූ බවක් මලාලා විසින් සඳහන් කර නොමැත. නිකාහ් චාරිත්‍රය තුළදී යුවළ විවාහ කොන්දේසියකට ඇතුළත් වන අතර දෙදෙනෙකු අත්සන් කිරීම අනිවාර්යය වේ. ඉන්පසුව යුවළ විසින් ‘මම පිළිගනිමි’ යන අරුත ඇති අරාබි ‘ක්යාබුල්’ වචනය පුනරුච්චාරණය කළ යුතු ය. ඉන්පසුව ඔවුන් කසාද ගිවිසුම අත්සන් කර ඔවුන්ගේ නව විවාහය නීත්‍යානුකූල කරගත යුතු ය. උත්සවයේ වඩාත්ම රසවත් අවස්ථාව වන්නේ යුවළ පළතුරු කැබැල්ලක් හුවමාරු කරගන්නා විට ය.

මේ අතර පසුගිය ජූලි මාසයේදී බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකට පිළිතුරු ලබාදෙමින් මලාලා පවසා තිබුණේ, “ඇයි මිනිස්සු කසාද බඳින්න ඕන කියලා මට තාම තේරෙන්නේ නැහැ. ඔබට ජීවිතයේ කෙනෙක් අවශ්‍ය නම් ඇයි කසාද ලියවිලිවලට අත්සන් කරන්න අවශ්‍ය, ඇයි මිනිස්සුන්ට සම්බන්ධතාවයන් තියාගන්න බැරි,” කියාය. “මගේ අම්මා කියන්නේ … ඒ වගේ දෙයක් කියන්න තරම් ඔයා එඩිතර වෙන්නෙපා. ඔයා බඳින්නම ඕනේ. විවාහය හරිම ලස්සනයි.”

මෙම උත්සවය සඳහා මලාලා සැරසී සිටියේ තේ දල්ලේ රෝස පැහැයෙන් යුතු ඇදුමකින් සහ සරල ආභරණ පැළඳගෙන ය. ඇගේ සැමියා වූ අසර් චාම් කෝට් ඇඳුමකින් සැරසී සිටියේය. මේ බව පවසමින් ට්විටර් පණිවිඩයක් තබා තිබූ මලාලාගේ පියා ෂියාඋද්දීන් වැඩිදුරටත් පවසා තිබුණේ “මට කියන්න වචන නැහැ. මටත් ටූර් ටත් තියෙන්නේ දරාගන්න බැරි සතුටක්.” යනුවෙනි.

මලාලා ගේ මංගල ඡායාරූප ගත් මාලින් ෆෙසාහෙයි අලංකාර සටහනක් තබමින් මෙසේ ලියා තිබිණි. “ලෝකේ අනිත් අය එක්ක මම මලාලා ගේ කතාව මීට අවුරුදු දහයකට කලින් හඹා යන්න පටන් ගත්තේ ඇය කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කරන්න ගන්න වෙහෙස නිසාම ලාබාලම නොබෙල් සම්මානලාභිනිය වෙනවා දැකලා.මම කවදාවත් හිතුවේ නැහැ අපි දෙන්නගේ මාවත් දෙක එකතු වෙලා දවසක මම එයාගෙ විවාහය ඡායාරූපගත කරාවි කියලා.”
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කියා සිටියාය. “පහුගිය අවුරුදු හය පුරාම මම මලාලා පදනම එක්ක ලෝකේ පුරා රට රටවල්වල ගැහැනු ළමුන්ගේ ද්විතීයික අධයාපනය ශක්තිමත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වුනා. ඉතින් අද දවසේ මගේ වගකීම බර්මිංහැම්වල ඇගේ පවුලේ අය සහ අසර්ගේ පවුලේ අය එක්ක මේ අවස්ථාව ඡායාරූපගත කිරීම.”

මලාලා ගේ රසිකයන් දහස් ගණනින් ඇයට සුබපැතුම් එක්කර තිබිණි. ඇයට සුබපැතුම් එකකළ පිරිස අතර කැනඩා අගමැති ජස්ටින් ටෲඩොව්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුමරු වන ෂෙයිකා බින් ෆයිසාල්. ප්‍රියංකා චොප්රා, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ද ඒ අතර සිටී.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩොව් පණිවිඩයක් තබමින්, “අසාර් සහ මලාලා ට සුබ පැතුම්, මේ විශේෂිත දිනයේ ඔබ දෙපළම සතුටින් ගතකරන්න ඇති කියලා මමත් සොෆීත් බලාපොරොත්තු වෙනවා. ජීවිත කාලයම සතුටින් ඉන්න මම ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් පවසා තිබිණි.

කෙසේ වුවද ඇය බ්‍රිතාන්‍ය වෝග් සඟරාව සමඟ පවසා තිබූ විවාහය පිළිබඳ මතභේදාත්මක කරුණු ඉස්මතු කරමින් කිහිප දෙනෙකු ඇයව ප්‍රශ්න කර තිබෙනු ද දකින්නට ලැබිණි. ඒ අතරින් බහුතරය ඇයගේ උපන් දේශය වූ පාකිස්තානයේ පිරිසකි. අයෙකු පවසා තිබුණේ පාකිස්තානය නම් අම්මාගේ පීඩනය නිසා ඇය මෙම තීරණය ගන්නට ඇති බව ය. එසේම ඇය ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ පාකිස්තාන ජාතිකයෙකු හා විවාහ වීම තවත් පිරිසකගේ නොමඳ සතුටට ද හේතු වී තිබිණි. ඇය ක්‍රිකට් සතු වස්තුවක් වූ බව පවසමින් උදම් ඇනූ පිරිසක් ද විය. මෙසේ විවිධ හැල හැප්පිලි මැද මලාලා ගේ විවාහ මංගල්‍යයේ පළමු අදියර සාර්ථකව අවසන් වූ බව කිව හැකි ය.

විවාහ සංස්ථාව නම් ආයතනය ගැන ඇයට අවිශ්වාසයක් තිබුණද, නිවැරදි පුද්ගලයා ඇගේ ජීවිතයට ඇතුළු වූ විට ඇය ඇගේ අදහස වෙනස් කළ බව පෙනේ. තම විශ්ව විද්‍යාල මිතුරන් විවාහ වී සිටින අයුරු දැකීමේ අත්දැකීම විවාහයේ අපේක්ෂාව සඳහා ඇගේ මනස විවර කළ බව ඇය පවසා ඇති බව ද උපුටා දක්වා ඇත. “විශ්ව විද්‍යාලයේ දෙවන වසර වෙනකනුත් මම හිතුවේ, ‘මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ, කවදාවත් ළමයි හදන්නේ නැහැ – මගේ වැඩ කරනවා විතරයි කියලා. මම සතුටින් මගේ පවුල සමඟ සදහටම ජීවත් වෙනවා.’ අප හැමදාම එකම පුද්ගලයා නොවන බව මට වැටහුණේ නැහැ. ඔබ වෙනස් වෙනවා වගේම ඔබ පරිණත වෙනවා.”
මලාලාගේ උපන්දිනය යෙදී තිබුණ පසුගිය ජූලි 12 වෙනිදා අසර් විසින් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සමඟ පින්තූරයක් සටහන් කිරීමත් සමඟ එතෙක් රහසක්ව පැවති ඔවුන්ගේ සම්බන්ධතාවය ලෝකයට හෙළිවන්නට පටන් ගත්තේය. කෙසේ වුවද මලාලා ගේ විවාහ ජීවිතය සහ අනාගතය දෙස ලෝකය විමසිල්ලෙන් බලා සිටිනු ඇත.
පසුගිය වසරේදී මලාලා, ආර්ථිකය, දේශපාලනය, දර්ශනය සහ ආර්ථිකය ඇතුළත් උපාධියක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් හිමිකර ගත්තා ය. ගෙවී ගිය දශකය පුරා මලාලා ගේ හඬ ලොවපුරා මූලික අවශ්‍යතාවයන් සහ අධ්‍යාපනය කඩවන ගැහැනු දරුවන් වෙනුවෙන් පැතිර ගොස් ඇත. වයස අවුරුදු පහළොවේදී පාසලේ සිට නිවස බලා පැමිණෙමින් සිටියදී මලාලා තලේබාන් සංවිධානයේ ත්‍රස්තයන්ගේ වෙඩි පහරකට ලක් වන්නී ය. එයින් ජීවිතය ගලවා ගත් මලාලා අනෙක් බොහෝ යුවතියන් මෙන් සැඟවුනේ නැත. ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ගැහැනු ළමයෙක්ව පාසල් යාමේ වරදට ය. එතැන් සිට වේගවත් ගමනක නිරත වූ මලාලා ශක්තිමත් මලාලා පදනමක් පිහිටුවන්නට සමත් වූවා ය. ලෝකයේ නන් දෙසින් ඇගේ සහයට පිරිස එකතු වන්නට විය. වයස අවුරුදු 17 දී නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන්නට තරම් ඇය ප්‍රභල චරිතයක් බවට පත්වූවාය.

රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

19 + seven =