ඉල්මහේ කඳුල

රෝහණ විජේවීර සහෝදරයා මේ සිටින්නේ අපේ රටේ දේශපාලනඥයින් සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණත් බේත් ගන්නට යන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ නොවේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රජයේ රෝහලක ය. අසනීප යෙහි විඩාව ඔහුගේ මුහුණෙන් පෙනේ.

අද නොවැම්බර් 13 වන දා දවසම ගෙවී යන්නේ ජීවිතයේ දී හමුවූ උදාරතම මිතුරා වූත්, අපට සිටි ආදරණීය මඟ පෙන්වන්නා වූත්, මේ රට සකලවිධ පීඩිත ජනයාගේ පන්ති සගයා වූත්, ඔහු පිළිබඳ මතකයේ රැඳී මෙනි. මෙම මතකය නිබද හද රිද වන්නේය.

එය 1983 අග භාගයේ දිනකි. අප සිටියේ කතරගම කැලේ යාල ජාතික වනෝද්‍යානය සීමාවට ආසන්න ඝන වනාන්තරයේ ය. 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ජවිපෙ තහනම් කර තිබූ අතර රජයේ ආරක්ෂක අංශ රෝහණ විජේවීර සහෝදරයා සොයා රට පීරමින් සිටියහ.

පක්ෂ තහනම යටතේ යටිබිම්ගත දේශපාලනයට පිවිසීමට තත්ත්වය සැකසෙන තුරු කෙටි කලක් රෝහණ සහෝදරයා වන ගතව සිටීම සුදුසු යයි පක්ෂය තීරණය කර තිබිණ. රෝහණ සහෝදරයාත් මමත් ඇද වැටුණු රූස්ස ගසක කඳ මත වාඩිවී කතා කරමින් සිටියෙමු. හොඳින් ඉර පායා තිබිණ . දිය තලයක් සොයා පියාඹන දියකාවුන් අහසේ වරින්වර දර්ශනය විය. අපි හඳ බාලකර කතා කතාකරන්නට පුරුදු සිටියෙමු. සුළඟ විසින් මිනිස්සුන්ගේ හඬ හිතනවාට වඩා බොහෝ දුර ගෙන යන බව කැලේ ගැන දන්නා අය දනිති.
“අපි පක්ෂය වේගයෙන් ගොඩනගලා තියෙන්නේ තහනම් කරලා තිබුණු වකවානුවල. මොකද ප්‍රචාරක වැඩ වලට කාලය නාස්ති වෙන්නේ නැති නිසා අපිට ජනතාව අතර දේශපාලනය කරන්න පුළුවන්. අධ්‍යාපන වැඩ වැඩ වලට සංවිධාන වැඩ වලට වැඩි බර දාන්න පුළුවන්. අපි එළියට එනකන් සහෝදරයල වෙහෙස නොබලා වැඩ කරන්නට ඕන.”

විජේවීර සහෝදරයා එසේ කියන්නේ එක් එක් දිස්ත්‍රික්ක වල වැඩ කෙරෙන අන්දම ගැන දිගින් දිගටම හරස් ප්‍රශ්න අසමිනි. ඒවාට කෙටි පිළිතුරු දී ගැලවිය නොහැක. එවිට හිනා වෙන ඔහු පවසන්නේ මල්ලි එළියෙ ඉන්න ඔයාලට වඩා කැලේ ඉන්න අපි එළියෙ වෙන දේවල් ගැන දන්නවා යනුවෙනි.
මෙහෙම ඉදීම අවදානම් නැද්ද.

“විජේවීර සොයා ආරක්ෂක අංශ රට පීරනව කියල ඊයේ පෙරේදා පත්තර වල තිබුණා.” මම වනාන්තරයෙහිදි විජේවීර සහෝදරයා හමුවූ ප්‍රථම අවස්ථාවේම ඔහුගෙන් විමසුවෙමි. ඔහු එය ගණනකට ගත්තේ නැත.
“මල්ලි ඔහේ දන්නවනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිස්සු අපිට ආදරෙයි. හදිසියක් වෙලා මැරුණත් මෙහිදී මැරෙනවට මං කැමතියි ”
විජේවීර සහෝදරයා පවසන්නේ සිනාසෙමිනි.

අල්ලාප සල්ලාපයේ යෙදීමට වඩා විජේවීර උනන්දු වන්නේ ඊළඟ වතාවේ කැලේට පැමිණෙන විට රැගෙන ආ යුතු පොත් පත් සහ දෙන්නට තිබෙන පණිවිඩ ගැනය. ඒවා එකිනෙක නැවත නැවතත් අවධාරණය කරමින් පැවසීම ඔහුගේ සිරිතය. මල්ලි ඔහෙට තේරුම් ගියයි. තේරුනෙය්. නැවත නැවතත් ඇසීම ඔහුගේ සිරිතය.
විජේවීර, ගමනායක, පාල, රාමනායක, සමන් පියසිරි, කුමාර රන්දෙණිය, ඇතුළු පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් කිහිපදෙනෙක් එහි විය. විජේවීර සහ ගමනායක හැරෙන්නට සෙස්සෝ ඒ වනවිටත් එළියෙ දේශපාලන වැඩ කටයුතු කරමින් සිට ආපසු යාම සඳහා එහි පැමිණි අයය.

වැස්සට තෙමෙමින්, තැන් මාරු කරමින් මැසි මදුරුවන්ගෙන් පීඩා විඳිමින්, ඔවුන් එහි ගත කළ ජීවිතය ගැන දැඩි කනස්සල්ලක් මා තුළ විය. ආරියසේන ඊශ්වරගේ පැවසුවේ
“ඇයි රෝහණ සහෝදරයා කිව්වේ නැද්ද අපි නිදාගන්න ගෝනි යට කීප දවසක්ම උණුසුමට ආපු පොලොන්තෙලිස්සෙක් හිටියා.” කියාය.
” නෙත්ති මෙතැන ඉදිල්ල අවදානම් නැද්දැයි” මම කතරගම නෙත්තිකුමාර සහෝදරයා ගෙන් හෙමින් සීරුවෙ ඇසුවෙමි. නෙත්ති හිනාවෙමින් පැවසුවේ,
” ඔව් ඉතින් හමුදාව සර්ච් එකක් දැම්මොත් අහු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ටැක්ටරෙන් හාන කොට නගුලට අහු වෙන්නේ නැති මුල් ඉතුරු වෙනවා. ඒ කියන්නේ සර්ච් එක දෙපැත්තෙන් ගියොත් අපි බේරෙනවා.”
ඒ කතාවට රෝහණ සහෝදරයා හිනා වුණේය.
“අපි දැන් වැඩ කරන්නේ නෙත්තිගේ තියරි වලට” ගමනායක සහෝදරයා කීවේය.
“සහෝදරයා හැමදාම මාරි විස්කෝතු කකා ඉන්න බැහැ. දඩයමක් කරමුද”
නෙත්ති හිනාවෙමින් ඇසුවේය.

” හරි වැඩක් නේ, ජේ ආර් ජයවර්ධන අපේ පක්ෂය තහනම් කළාට කැලේ ඉන්න සත්තු පලිද කන්න නැත්නම් කැලේ ඇවිදලා අල ජාති හාරගෙන කමු. මැල්ලුම් හදන කොල ජාති රාමනායක දන්නවා. දඩයම් කරන්න නොවෙයි කැලේ ඉන්නකං කොළ ඉත්තක්වත් කඩන්න තහනම් තේරුම් ගියයි”
විජේවීර සහෝදරයා කීවේය.

– උදේනි සමන් කුමාර (fb)

Leave A Reply

Your email address will not be published.

13 − 9 =