ඉල්මහේ සමුගත් මිනිස්කමක සුවඳ …

මානව සමාජය බිහිවූදා පටන් ඉල්මහ හෙවත් නොවැම්බරය උදාවෙමින් හා ගෙවී යමින් තිබුනත් ලාංකීය කොදෙව්වේ ඉල් මහ ගැන මේ තරම් කතා කරන්නට, මේ තරම් සිහි කරන්නට, මේ තරම් සංවේදී වන්නට පටන් ගත්තේ 89 නොවැම්බර ඉල් මහේ සිටය. බොහෝ දෙනෙකු හරිහැටි තේරුම් නොගත්තේ වුවද ඔවුහු අසීමිතව මහ පොළොවටත් මිනිසුන්ටත් ආදරය කළහ. වඩා යහපත් ලෝකයක් බිහිකිරීම උදෙසා අත්‍යවශයම්‍ය නිමේෂයන්හිදී තම උපරිමයෙන් දායකත්වය සැපයූහ. ඒ “උපරිමය“ට සීමාවන් තිබුණේ නැත.කොන්දේසි තිබුණේ නැත.ඔවුහු සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් අවසාන මොහොත දක්වා තම නිරවුල් වාමාංශික මතවාදය කිළිටි නොකර ගනිමින් ජීවත් වූ සැබෑ මිනිසුන්ය. සොහොන් කොත්, මනරම් ස්මාරක තනා නැති මුත් ඈත පිටිසර හේනක පුංචි පැල්පතක,නගරයේ පීඩිත කම්කරුවෙකුගේ හදවතක් තුළ, දහදිය වගුරුවන ගොවියෙකු තුළ, තවමත් ඔවුන් පිලිබඳ තනි පංගලමේ සැමරුමක් සිදු වන බව නම් විශ්වාසය. මරා දැමුණු හැට දහසකට වැඩි දෙනා අතුරින් මේ සැමරුම් වලදී වැඩි දෙනෙකුගේ අවධානයට හා කතා බහට ලක් වෙන්නේ තරමක් හෝ ප්‍රසිද්ධියට පත් සොයුරු සොයුරියන්ය. එහෙත් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවුනු, කතා බහට ලක් නොවුනු අප්‍රමාණ සගයන් පිරිසක් මේ අරගලයේදී රජයේ ආරක්ෂ බලකායන් අතින් මැරුම් කෑහ.

ඔවුන් අතරින් මෙතෙක් එතරම් කතා බහකට ලක් නොවූ සැබෑ විපලවාදියෙකු ගැන අපේ මතක ගබඩාවෙහි දොරඟුළු හැර දැමිය යුතුමය. ඒ වර්ථමාන පරපුරට ඔහු එතරම්ම ජීවයක් ගෙන දෙන ආදර්ශමත් දේශපාලන චරිතයක් නිසාය. එකල ජ වි පෙ තුල වැඩි දෙනෙකු තිස්ස අයියා නමින් ඇමතූ ඔහු ගුණසිංහ දිසානායකය.ඔහු හා බැඳුනු අපගේ මතකයන් ඉතාමත් දීර්ඝකාලීන ඒවාය. එම බැඳීම් දේශපාලනික වූ අතර තවත් විටෙක ඉතා මානුෂීය වූ බව කිව යුතුය. මේ විප්ලවීය නායකයා ගැන තරමක් හෝ තේරුම් ගැනීමට ඔහු ස්වකීය ජීවිතයෙන් සමුගන්නට පෙර සිය බිරිඳ “නාලි“ සහෝදරිය වෙත යැවූ අවසන් ලියමන ඔබ හමුවේ තැබීම ප්‍රමානවත්ය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි වධකාගාරවලට සමාන අඳුරු කුටි තුල සිරවී දින සති මාස පසු කරමින් සිටි ඇතැම් සගයින් මරණයට පෙර ඉතා කුඩා සටහනක් මගින් හෝ ස්වකීය සමීපතයන් ඇමතූහ. මරා දැමුණු දස දහසක් අතුරෙන් අහඹු ලෙසකින් හෝ එවැනි ඉඩක් කඩක් ලැබුනේ ඉතා අතලොස්සක් දෙනෙකුට පමණි.
නාලි අක්කා ඒ ලිපිය සිය දහස් වරක් පමන කියවන්නට ඇත. ඒ හැම විටකදීම ඇයගේ දෙනෙත් කඳුළින් අකුරු බොඳවී නොපෙනී යද්දී ඇය සිය පිටි අල්ලෙන් පිසදා හිස් කරගත් ඇසින් යුතුව නැවත මුල සිට කියවීම අරඹන්නට ඇත. එහි අකුරක් ගානේ වූ සංකේතාත්ම සමුගැනීම හදවතට අවශෝෂණය වන්නට වන්නට ඇතිවූ මාරාන්තික හුදෙකලා බවින් ඇය දැඩිව මිරිකෙන්නට ද ඇත. අත් හළ නොහැකි අංශුමය බලාපොරොත්තුවත් ඔහු පවසන්නා වූ “සත්‍යය“ ත් අතර වූ වේදනාකාරී ගැට්ටෙහි අඩමානයෙන් එල්ලී සිටින්නට සිදුවීම අතිශයින් බියකරුය. අහම්බය අනිවාර්යයක් බව දන්නා හෙයින් අහඹු ආශ්චර්‍යයක් පැතීම විහිලු සහගත බවට ඇය විශ්වාස කලාය.

අඩු ගානෙ මමත් එතන එයා ළඟින් හිටියා නම් ?
මමත් ඒ එක්කම මරණයට නියමිතව හිටියා නම් ?….

ඔවුන් දෙදෙනාම ස්වකීය පක්ෂ ජීවිතයේදී විවිධ දුක් කම්කටොලු හා බාධක වලට මුහුණ දී සිටි බැවින් ඇය කිසි විටකත් ජීවිතය පුදන්නට බිය වූයේ නැත. ඇය බිය වූයේ ඔහුගේ වියෝවෙන් පසු තමා ඉදිරියේ ඉතිරිව ඇති දීර්ඝ දවස් ගැනය. ජීවිතයේ එක් අර්ධයක් අහිමි වූ පසුව ඒ දිගු දවස් හා කිරීමට ඇති ගනුදෙනුව කුමක්ද ?
උගුරෙන් මතු වූ තිත්ත රසයක් සිරුරේ සියලු ස්නායු හරහා ගමන් කරන අයුරු ඇයට දැනේ. ඔහු මැරෙන්නට සුදුසු මිනිසෙකු නොවේ.ඔහු ජීවත් විය යුතු මිනිසෙකි.ජීවත් වෙන්නන් උදෙසා මාර්ගය පෙන්වන්නට සුදුසු මිනිසෙකි.ඇය හදවතින් මහහඬින් වැළපුනාය.ලිපියේ සමහර කොටස් වසර තිස් දෙකකට පසුවත් ඇගේ දෑස් තෙත් කරයි.

“මගේ මරණය සුවිශේෂී එකක් නෙවෙයි.අනෙක් හැමෝගෙම මරණය වගේ මේකත් සාමාන්‍යයයි.ඒ නිසා කණගාටු වෙන්න එපා.අහුවුනොත් මරණය අනිවාර්ය බව අපි හැමදෙනාම දැනගෙන හිටියා.මරණය හිස උඩ තියාගෙන දේශපාලනය කරන ලද මිනිස්සු හැටියට ඒ මරණයට බය වෙන්නවත් කණගාටුවෙන්නවත් ඕනෙ නෑ කියලා මම වාගේම ඔයත් දන්නවා.ජීවත්ව හිටපු කාලයේ මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න හැම මොහොතක්ම කැප කරපු එක ගැන තියෙන්නේ සතුටක්. උන් පක්ෂයේ නායකයන්ට උරුම කරපු ඉරණම ඇරෙන්න මම වෙනුවෙන් අත් වෙන්න නියමිත වෙනත් ඉරණමක් ගැන මගේ විශ්වාසය නැහ.මාව අද හෙට වෙනත් කඳවුරකට මාරු කරයි එහෙමත් නැතිනම් නිදහස් කරයි කියන බොරු හිතළුවලින් තවදුරටත් හිත රවටගන්න එපා නාලි.තියෙන ඇත්ත දේට මූන දෙන්න ඔයා හයිය ගන්න ඕනෙ. ඔයා මේකට මූන දෙන්න තරම් ශක්තිමත් කියන හැඟීම මේ මොහොතේ මට ඉතාමත් වැදගත්.

කවදාවත් සුවපහසු නොවූ ජීවිතය අවබෝධයෙන් යුතුව මා එක්ක බෙදාගත්තාට ඔයාට ස්තූතියි.අපේ දරුවෝ බිහිකෙරුවට සහ එයාලා උස්මහත් කරන්න දැනටමත් කරමින් ඉන්න ඉස්සරහටත් කරන්න වෙන කෙළවරක් නැති කැපකිරීම් වෙනුවෙන් මම ඔයාට ස්තූතියි කියනවා.වැදගත්ම දේ කොන්දේසි විරහිතව මට ආදරේ කරපු එක. සැමියා විදියට මාව පිළිගත්තු එක. ඒ තුළින් මට සමාජයත් ලෝකයත් විශේෂයෙන් මාවමත් වඩා අලුත් විදියට අත් දකින්න පහසු කල එකට ස්තූතියි නාලි. මමත් ආදරෙයි. මතක තියාගන්න ඒක.
අපේ දරුවන්ට පොළොවේ පය ගහලා ජීවත් වෙනහැටි කියලා දෙන්න ඕනෙ. එයාලා මිනිසාටත් පරිසරයටත් අසීමිතව ආදරේ කරන මිනිසුන් බවට පත් වෙනවාට මම කැමතියි. අයුක්තිය අසාධාරණය දුටු පළමු මොහොතෙදිම ඒකට එරෙහිව ඔලුව කෙලින් කරගෙන ඒ වෙනුවෙන් හිටගන්න හැටි එයාලට දැං ඉඳන් උගන්වන්න. කවදාවත්

කොතැනකදීවත් තවත් කෙනෙක් පීඩාවට වේදනාවට පත් නොක‍රන උසස් ගුණාංග එයාලාගෙ හිත් ඇතුලේ රෝපණය කරන්න. ලෝකය කැරකෙන අතට ඔහේ කැරකෙන්න දෙන්න එපා. නිර්මාණශීලි විදියට ලෝකය වෙනස් කරන්න අවශ්‍ය මාර්ගය එයාලට පෙන්නන්න. පොළොවට බරක් නැති, වචනාර්ථයෙන්ම “ඇත්ත මිනිස්සු“ බවට වෙනවා නම් ඒ හොඳටෝම ඇති “.

තිස්ස අයියා ගේ ලියමන මෙන්ම නාලි අක්කා අතට ලිපිය ලැබීමේ කතාවද ඉතා සංවේදීය.
තිස්සමහාරාම – බොකුටු පෑලැස්ස “මුලටියන නිවසේ“ සහෝදරයන් පස් දෙනෙකු හා බාල නැඟණියන් දෙදෙනෙකුද සහිත පවුලේ වැඩිමලා ගුණසිංහය. පියා මුලටියන අප්පුහාමි ගමේ විසූ සාමාන්‍ය ගොවියෙකි. ඔහුගේ මවද පවුලේ දරුවන්ට මෙන්ම අප හැම කෙනෙකුටම මවක් දක්වන ආදරය කරුණාව දැක්වූවාය. ඔහු ඉතා පැහැපත් හා නිරන්තර සිනහව පිරුණු ප්‍රියමනාපයෙන් යුතු විය. මධ්‍යම ප්‍රමාණයේ සිරුරද ක්‍රේල් කොණ්ඩයද ඒ ප්‍රියමනාප සිත් ගන්නාසුලු ස්වරූපය තවත් ඉස්මතු කලේය. වඩා උස් නොවූ අතර උස අඩි පහකට තරමක් වැඩි වන්නට ඇතැයි හැඟේ. ඔහු 1971 අරගලයේ ද කොටස් කරුවෙකි. ඒ වන විට ඔහු පාසල් යන වයසේ පසු විය. වයස අවුරුදු 16-17 ක නොමේරූ යෞවනයෙක් ලෙස ඔහු සිරගත විය. ඒ වසර කිහිපය මුළුල්ලේ ඔහු ජීවිතයට එකතු කරගත් දේ බොහෝය. 1976 වසරේ නිදහස් වැඩුණු මිනිසෙකු ලෙස විවෘත ලෝකයට පය තබන්නට හැකිවීම ගැන ඔහුට දැනුණේ සතුටකි. වසර පහක් යනු දීර්ඝ කාලයකි. සිරගෙදරදී මාක්ස්වාදී දර්ශනය ගැඹුරින් හදාරා තිබූ ඔහු ඉතා දියුණු විප්ලවවාදියෙකු ලෙස අපට හමු වුනේය. බාහිර ලෝකයෙන් අවශෝෂණය කරගත් පුළුල් සමාජ දේශපාලන දැනුම මිනිස් සමාජය වෙනස් කිරීම උදෙසා යොදවන ආකාරය ඔහු දැන සිටියේය. ඒ වෙනුවෙන් එළඹෙන ඕනෑම ගැහැටකට මූන පාන්නට තරම් හිත වඩාත් සවිමත්ව තිබුණි.

71 අරගලයෙන් පසු උදා වූ යුගය ජවිපෙට ඉතා දුශ්කර කාලයකි. අරගලයට මැදිහත් වූ වැඩි පිරිස සිරගතව සිට නිදහස් වීමෙන් පසු යළි සුපුරුදු දේශපාලන ධාරාව තුළට ඇතුලු වීම ප්‍රතික්ෂේප කළහ.සිදුවූ සංහාරයේ බියකරු බවත් අත් දකින ලද ඒ වේදනාකාරී විලාපයේ දෝංකාරයත් ඔවුන් ගල් කලා වැන්න. ඉතිරි වූවානම් ඒ බොහොම සුළුතර කණ්ඩායමකි. 71 ධවල භීෂණ කම්පනය එකල සමාජය තුල එතරම්ම බලපෑමක් කළේය. හම්බන්තොට – ඇඹිලිපිටිය – උඩවලව වැනි එකල තිබූ වඩාත් දුශ්කර පළාත් තුල තිස්ස අයියා වැඩ කටයුතු ආරම්භ කරන්නේ මෙවැනි සීතල දේශපාලන වටපිටාවක් පවතිද්දීය. හිස් බිමක් සශ්‍රීක කිරීමේ සංග්‍රාමය එතැන් සිට දහසක් දුෂ්කරතා මධ්‍යයේ ඇරඹෙයි. විටෙක සීමා රහිතව වෙහෙස වීමට සිදුවිය. විප්ලවවාදීන්ට සමහර සංසිද්ධීන් පැමිණෙන්නේ ඉවසීම පරීක්ෂා කරන්නට පැමිණි වෙස්වලාගත් දූතයන් ලෙසටය. එහෙත් දවස කවදාවත් අවසන් වෙන්නේ නැත.රාත්‍රිය යනු යම් කෙටි විරාමයක් පමණක් වූ අතර සෑම උදෑසනක්ම ආරම්භයක් බවට හැරෙයි. සාමාන්‍ය පොදුජන විඥානය ඇමතීමට තිස්ස අයියා තුළ තිබූ මනා හැකියාව නිසා මිනිස් හදවතෙහි වූ අගුල් දමන ලද දොරටු සෙමෙන් විවෘත වන්නට විය. අපේ මතකය අනුව ඔහු මුල්ම කාලයේ තවත් සගයින් කිහිප දෙනෙකු සමග දෛනික කුලී වැඩට පැමිණියවුන් ලෙස ගොවි ගම්මාන කරා ගියෝය. තවත් විටක ඔවුන් පිරිස මැනික් පතල් වලට ගොස් වැඩ කළෝය. ඒ අන් හේතුවකට නොව මිනිසුන් අතරේ මිනිස් සබඳතාවන් ගොඩනගා ගැනීමටය.වියලි සුළඟින් හා කටුක අව් රශ්මියෙන් පීඩා දෙන කෙලවරක් නැති හේන් හා වෙල් යායවල් හරහා යමින් ඔවුහු පලමුව මිනිස් සබඳතා ඇරඹුහ. එකල ජ වි පෙට තුලට හිතවතුන් සාමාජිකයින් රැගෙන ආවේ එලෙසය. ඔහු වෙතින් කැපී පෙනෙන්නට වූ ප්‍රියමනාප ලක්ෂණ තුලට කා වැදී තිබූ සොඳුරු මානුෂීය ගුණය නිසා ලෙහෙසියකට කෙනෙකුට ඔහු කෙරෙන් මිදී පලා යා ගන්නට හැකිවූයේ නැත. ශුෂ්ක දින වැසි සමයකින් සේදී යන්නාක් සේ දුෂ්කරම දවස් කාලයේ සීමාවන්ට නතුව ගලාගෙන ගියේය. 1983 ජූලි පක්ෂ තහනම වෙන තෙක්ම ඔහු වසර ගණනාවක්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නායකත්වය දරමින් දේශපාලන කටයුතුවල යෙදුණි. පක්ෂ තහනමෙන් අනතුරුව කෙටි කාලයක් ඔහු මොණරාගල දිස්ත්‍රික් සංවිධායක ලෙසද කටයුතු කරනු කළේය.

විජේවීර සහෝදරයා තිස්ස අයියා ඉතා කිට්ටුවෙන් ඇසුරු කලේය. ඔහු සතු විප්ලවීය ජීවගුණය සහ සුවිශේෂී හැකියාවන් විජේවීර සහෝදරයා ඉතා හොඳින් හඳුනාගෙන සිටියේය. ඔහු අති දක්ෂ සංවිධායකයෙක් මෙන්ම සන්නිවේදකයෙකි. ලාංකීය ජන විඥානය පිළිබඳව ඔහුට වූ ඉව ඉතා කලාතුරකින් කෙනෙකුට පිහිටන්නකි. පක්ෂ තහනම් වූ මුල් යුගයේ විජේවීර හා ගමනායක සහෝදරවරුන්ගේ රහසිගත නවාතැන් ආදිය ගැන සුමිත් සහෝදරයා හා එකතුව සොයා බලමින් ඒවා සූක්ෂම ලෙස සැලසුම් කලේ ඔහු විසිනි. 1987 වර්ෂයේ අවසන් කාලයේ වරක් සූරියවැව ආසන්නයේදී තවත් සගයෙකු සමග යතුරු පැදියක යමින් සිටියදී ආරක්ෂක අංශ විසින් තිස්ස අයියා අත්අඩංගුවට ගැණිනි. පසුදාම ඔහු ජ වි පෙ නායකයෙකු හැටියට හඳුනා ගත් ඔවුන් කොළඹ ලොන්ඩන් පෙදෙස ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන (C S D) මූලස්ථානයට රැගෙන ගොස් පුරා සතියක පමණ කාලයක් පහර දෙමින් ප්‍රශ්න කළේය. ඒ ලොන්ඩන් පෙදෙස ප්‍රචණ්ඩක්‍රියා මර්ධන මූලස්ථානය (C S D) පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරාගේ පාලනයට නතුව තිබූ කාලයයි. එකල ලොන්ඩන් පෙදෙසට රැගෙන ගොස් පහර දුන්නේ හා වධබන්ධනයට ලක් කළේ හරියට අප ටෙරන්ස් පෙරේරාගේ පුද්ගලික බූදලයක් කොල්ල කෑමට පැමිණි පිරිසකට මෙනි.

අනතුරුව තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී 88 වසරේ මැද කාලයේ රෝහලට රැගෙන යද්දී අතරමඟ රැකගෙන සිටි පක්ෂ සගයින් පිරිසක් විසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඔහු මුදවා ගත්තේය. එතැන් සිට ඔහු අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික් තුල නායකත්වය ගෙන කටයුතු කරමින් සිටියේය. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතව සංවිධානාත්මක වූ ඝාතන කල්ලි එළිපිට මිනී මරමින් සිටි සමයකි. ඒ අතරතුර පක්ෂය විසින් යෙදූ උපක්‍රමික ක්‍රියා මාර්ග දරුණු වෙමින් පැවති මර්ධනීය යාන්ත්‍රණයට සාපේක්ෂව ප්‍රමාණවත් වූයේ නැත.රට පුරා සාමාජිකයින් අත් අඩංගුවට පත් වෙද්දී ඝාතනයට ලක් වෙද්දී රට පුරාම මේ කුණාටුව දරුණුවට හමාගෙන ගියේය. නිවසට පැමිණි එක් දිනක තිස්ස අයියා බිරිඳ නාලි අක්කා හා දරු තිදෙනාද සමග ඡායාරූප ශාලාවකට ගොස් සිය පවුල හා හිඳ ඡායාරුපයක් ගත්තේය. එදින ඔහු සිය බිරියට පැවසුවේ හදිසියෙ මම නැති වුනොත් දරුවන් පියා කෙබඳුදැයි ඇසුවොත් පෙන්වීමට සේයාරුවක් වත් නොමැති බැවින් එසේ කල බවයි. ගෙවී යමින් තිබුණේ 1990 ජනවාරියයි. ඒ වෙද්දී විජේවීර සහෝදරයා ඇතුළුව පලමු පක්ෂ නායකත්වය පමණක් නොව සමන් පියසිරි ප්‍රනාන්දු, ශාන්ත බන්ඩාර වැනි සොයුරන් ගණනාවක් ඇතුළු දෙවන නායකත්වයද මර්ධනීය බලකා විසින් ඝාතනය කර තිබිණ. දිනක් ඔත්තුකරුවෙකු මගින් ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එදා කුරුණෑගල නගරය වට කොට රැකවල් ලාගෙන හිටියේ ඔහු කොතැනින් හෝ මතුවෙන තුරුය. එහෙත් ඒ ගමන ඔහුට මග හැර යා නොහැකි විය. කුරුනෑගල නගරයට ඇතුල් වී මොහොතක් ගත වෙන්නට ඇත.

අලුගෝසු අවතාර සේ හතරවටින් ප්‍රාදූර්භූත වූ ආරක්ෂක ඔත්තු සේවාවන් තිස්ස අයියා තලා පෙලා රථයක් තුලට දමා ගත්හ. පසුදා රජයේ පුවත්පත් වල “රජරට නායකයා අල්ලයි“ යනුවෙන් පලවූයේ ඔහු ආණ්ඩුවට කොතරම් අවශ්‍ය පුද්ගලයෙකු වී සිටියාද යන්න තහවුරු කරමිනි. අත්තඩංගුවට
ගෙන සතියක පමණ කාලයක් ඔහු කොළඹ ග්‍රෙගරි රෝඩ් සී ඩී බී අපරාධ විමර්ශන අංශයට ගෙනවිත් රඳවා තැබුවේය.දිනක් ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නද මේ ගුණසිංහ දිසානායක කවුදැයි කියා බලන්නට පැමිණ තිබුණි. රන්ජන් විජේරත්න ගේ මේ හමුවීමෙන් අනතුරුව මරණ වරෙන්තුවත් සමග ඔහු ආපසු කුරුනෑගල අදාළ පොලිසියටම යැවීය. සියලු දේ හෙලිදරවු වී තිබියදී මරණය විනා ජීවිතයක් නොවන බව තිස්ස අයියා නියත ලෙසම දැනගෙන සිටියේය. ඉඩක් ලද මොහොතක නාලි අක්කාට එවූ ලිපියේ ඒ බව නොසඟවා ලියන්නට ඔහු උත්සුක වූයේ බිරිඳගේ මනස පෙර සූදානමකට ලක් කිරීම යහපත් බව හැඟුනෙන් විය යුතුය.
තිස්ස අයියා රඳවා උන්නේ කුරුනෑගලට ආසන්නම පිහිටි පොලිස් ස්ථානයකය. ඔහු ජ වි පෙ නායකයෙකු බැවින් නියත මරණයක හිමිකරුවකු බවද පොලිසියේ සියල්ලෝ දැන උන්හ. එහි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉඳහිට තිස්ස අයියා සමග කතාබස් කළේය. මේ ප්‍රියමනාප මිනිසාගේ නිර්භීත භාවය පිළිබඳව පොලිස් පරීක්ෂකවරයා තුළ සඟවා නොගත් ගෞරවයක් ඇතිවිය. ඉතා බිහිසුණු නිමේෂයකත් සිය මතවාදය වෙනස් නොකරන මේ මිනිසා නුදුරු දිනක අවසන් ගමන යන බවද ඔහු දැන උන්නේය. අපූරු විප්ලවවාදී නායකයෙකු සිය පොලිසිය තුල රඳවා සිටින බව ඔහු නිවසට ගොස් සිය බිරියට කීවේය. උගත් සංවේදී ගැහනියක් වූ ඇයට ඔහු බැලීමට සිත්විය. සැමියාගේ අවසරය ගෙන පොලිසියට පැමිණි ඇය තිස්ස අයියා සමග කතා කළාය. උස් පහත් විෂම බිම් සමබිම් බවට පත් කිරීමට වෙර දැරූ මේ මිනිසාගේ කතාව ඇය අසා සිටියාය. ඔහුගේ අව්‍යාජ ගුණය ගැන පැහැදුනු ඇය ඔහුට බොහෝ උපකාර කළාය. කියවීමට කැමති පොතක් පතක් නගරයේ පොත් සාප්පුවකින් මිලදී ගෙනවිත් දුන්නේය. තිස්ස අයියා අවසන් වතාවට නාලි අක්කාට ලියූ ලිපි කිහිපයක්ම ඇය තැපල් කර තිබුණාය. ආරක්ෂාව පිළිබඳව උද්ගත විය හැකි ගැටලු නිසා නාලි අක්කාගේ වයෝවෘධ මවට පමණක් ඔහු බැලීමට අවසර ලැබුණේ මේ මානුෂීය මෙහෙවරේ ප්‍රතිඵලයක් වශයෙනි. අත්තඩංගුවට පත් දහස් ගණනකට ශාක්ෂියක් නැතිව මරණයට පත්වන්නට සිදුව තිබියදී, ඔහුට සිය අවසන් සිතැඟි හැඟුම් ප්‍රියාදර බිරිය සමග බෙදා හදා ගන්නට හැකියාව ලැබුණේ අප කිසිදාක නාඳුනන පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය නිසාය. ඒ මේලේච්ච සමයේදී ඉතා කලාතුරකින් එවැනි මිනිස් ගුණාංග වලින් පිරිපුන් මනුෂ්‍යයින් ද අපට හිඳ හිට හමු වූ බව සඳහන් කල යුතුය.

වැඩි දිනක් ගත වූයේ නැත. සුපුරුදු පරිදි නාලි අක්කාගේ මව තිස්ස අයියා බලන්නට පොලිසියට ගියාය. එහෙත් එදා ඔහු රඳවා උන් පොලිස් මැදිරිය හිස්ව තිබිණි. භීතියට පත් ඇය මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා හමුවෙන්නට වෑයම් කලද ඔහු එහි නොමැති බව කියවිණි. සිය බෑනනුවන් ගැන විමසූ විට එක්තරා පොලිස් නිලධාරියෙකු අසල උන් තවත් නිලධාරියෙකුට ඉඟි මරමින් කී දෙය ඇගේ සවන් පත්ලේ සදාකාලයට දෝංකාරය දිණි.

“ ආ… එයාද? එයා ඊයේ පැනල ගියානේ. බයවෙන්න එපා මිනිහ ළගදිම ගෙදර ඒවි.“
හිරු දෙසම
බලා හිඳි
වනස්පති
මුවාකොට
ළපටි පැල
රකියි නිති
අව් වැසිද
අකුණු සැර
දරා ඇති
පොළොව මත
හොඳම දේ
තබා යති….

සටහන – ගාමිණී මුතුකුමාරණ

මුහුණු පොතෙහි පළකරන ලද මෙම සටහන අගයකරමින් තමන ලද සටහන් දෙකක් පහත පළවේ. ලයනල් බෝපගේ සහ උදේනි සමන් කුමාර යනු කවුරුත් හඳුනන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් දෙදෙනෙකි.

ජනතාවට අසීමිතව ආදරය කළ ඔහු

ඔහෙත් ආවාදැයි, අහලා අහිංසක විදියට හිනාවෙන තිස්ස මල්ලී දකින විට මට හැමදාම මතක් වුණේ පෙරලූ නැවුම් පසේ දවීදව් කියන සුන්දර විප්ලවවාදියා. දුෂ්කර ග්රාමීය ප්රදේශවල ජනතාව අතර පක්ෂය ගොඩනගන්න සහජ කුසලතාවයක් ඔහු සතුව රෝහණ සහෝදරයා දැන සිටියා. ගාමිණී ලස්සනට ලියා තිබෙනවා. ජනතාවට අසීමිතව ආදරය කළ ඔහු ජනතාව වෙනුවෙන් දිවිපිදූ බව ජනතාව දන්නේ නෑ.

උදේනි සමන් කුමාර

සමාජ දේශපාලන අරගලවල යෙදී තම දිවිදුන් දකුණේ උතුරේ සියලු සගයන්ට අපේ උපහාරය

ගාමිණී සහෝදරයා,
ජවිපෙ ඉතිහාසය පිළිබඳව අත්‍යාවශ්‍ය මහඟු සටහනක්. මම මේ සහෝදරයා පින්තූරයෙන් හඳුනා ගත්තේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ බලාපොරොත්තු හද පුරවා ගෙන තමන් විශ්වාස කළ අදහස් වෙනුවෙන් තම දිවි පිදූ දසදහස් ගණන් සොයුරු සොයුරියන් අතරින් කෙනෙක්.
71න් පසු කාලයේ ජවිපෙ ඉතිහාසය ගැන, දිවි පිදූ දසදහස් ගණන් සොයුරු සොයුරියන් ගැන සැබෑ පර්යේෂණාත්මක කරුණු ගවේෂණයක අවශ්‍යතාවය ඉතා පැහැදිලි විය යුතුයි.
යහපත් සමාජයක් ගොඩනැඟීමේ බලාපොරොත්තුවෙන් සමාජ දේශපාලන අරගලවල යෙදී තම දිවිදුන් දකුණේ උතුරේ සියලු සගයන්ට අපේ උපහාරය හිමි විය යුතුයයි මම කල්පනා කරමි.
ඒ මතකය ආවර්ජනය කිරීම ගැන ඔබට තුති.

– ලයනල් බෝපගේ

Leave A Reply

Your email address will not be published.

three × 1 =