පිතාමහ

17

හදිසියෙ කන්තෝරුවට ගොඩවැදුණු සුභාගෙන් පබා ඇහුවෙ “කොහොම ද දැන් පොඩි එකා…‍‍‍‍” කියලයි. ඒ වෙන කොට පොඩි එකාට අවුරුදු දෙකක්.
“දැන් කතා කරනවා. හොඳට ඇවිදිනවා. හැබැයි වැඩි සැලකිලි නං තාත්තට ම තමයි. කෙසෙල් ගෙඩියක් දුන්නත්, යෝගට් එකක් දුන්නත් තව එකක් ඉල්ලලා හර්තාල් කරනවා තාච්චට. ඒ වුණාට ඔක්කොම කරල දෙන්න ඕන මම…” සුභා කියද්දී, ප්‍රමිලා කිව්වෙ, “මාර ලව් එකක්” කියලයි.
“පිස්සු ද? ලව් නෙවෙයි. පේන දේ. ළමයි කරන්නෙ පේන දේ. කොයි ගෙදර ද අම්මගෙ ළඟට දේවල් ගිහින් දීලා කන්න බොන්න කියන්නෙ. දිව ගිලෙන අමාරුවකට තේකක්වත් හදලා දෙන්නෙ එහෙමත් තැනක නෙ. උයපු බත් ටික බෙදල දෙන්න ඕනෙ. කන බොන දේවල් ළඟට ගිහින් දෙන්න ඕනෙ. ඔළුවෙ ඇම්මක්, හෙම්බිරිස්සාවක් හැදුණ ම මහාමාරිය හැදිලා වාගේ තියෙන තරං බාම් ගාන්න ඕනෙ. ඒ ටික ළමයි දකිනවා. අම්මා කියන කෙනා මැෂිමක් වගේ. ඔක්කොටම කලින් නැඟිටිනවා. තේ හදනවා. උයනවා. වළං පිඟන් හෝදනවා ගෙවල් මිදුල් අතුගානවා. ළමයින්ගෙ වැඩත් කරනවා. රස්සාවටත් යනවා. කඩෙත් යනවා. රෙදිත් හෝදනවා. මහ රෑ වෙනකම් වැඩ කරනවා. පහුවෙනිදා මහ පාන්දරත් නැඟිටිනවා. හැමදාම එක ම විදිය. ලෙඩ වෙනවා පේන්නෙත් නෑ. ලෙඩ වුණත් බාම් ගාන්න කෙනකුත් නෑ. කසාය හදන්න කෙනකුත් නෑ. එහෙම ය කියල එක තැන ඉන්නෙත් නෑ. පුරුදු පරිදි වැඩ. ඉතින් ළමයිනුත් හිතනවා අම්මා කියන්නෙ යන්ත්‍රයකට කියලා”  කියලයි උදුම්බරා කිව්වෙ.
“ඒකත් හරි තමයි. ඒක නෙ වැඩිහිටි වුණත්, ළමයි අම්මලගෙන් හරි අකාරුණික විදියට වැඩ ගන්නෙ. පුත්තුන්ගෙ ඇඳුම්, පිඟන් මේවත් හෝදන්න වෙන්නෙ අම්මට නෙ.” එහෙම කිව්වෙ ඉසිදාසි.
“අම්මලගෙන් වැඩ ගන්නවා විතරක් නං මදෑ. කවදා හරි පිරිමි ළමයි කසාදයක් බැන්දොත්, කැන්දන් එන නෝනට කරන්නෙත් ඒ ටික ම තමයි” කියලයි සීතා කිව්වෙ.
“සිරිදූවෙ ‍බහුතරයක් පිරිමි හරි ම අමානුෂිකයි. ඔෆිස් ඇරිලා ඒ ගොල්ලො ගෙදරට ගොඩ වෙන්නෙ පණ ටික අතේ වගේ. උගුර, කට වේළිලා. බඩ පිටට ඇලිලා. උදේට ඇස් අරින්නත් බෑ තේ එක නැතුව. ගෑනු රස්සාවට ගිහින් ගෙදර එන්නෙ කිසි මහන්සියක් නැතිව. බඩගිනිත් නෑ, මහන්සිත් නෑ. කෑම හදන්නත් ඕනෙ. බෙදල අතට දෙන්නත් ඕන. ප`ිගන් හෝදන්නත් ඕනෙ. ඒ ගොල්ලන්ට සකාගෙ පොතේ කරක් ගහන එකත් හෙණ වැඩක්. අපේ වැඩක් කර ගන්න ඕනෙ ඒ අයගෙ පෙහෙනිපත් කරලා ඉතුරු වෙන කාලෙන්. ඒ මඳිවට ඒ ගොල්ලන්ගෙ සරීර සුවතාවෙට අවස්ථාවක් දෙන්නත් ඕනෙ… ඒ මඳිවට බිම දූවිලි ටිකක් තිබ්බොත් ‘අද ගේ අතුගෑවෙ නැද්ද’ කියලා ප්‍රශ්න අහන්නත් එනවා. මේ පිරිමි හිතන්නෙ කොස්ස අල්ලන්න පුළුවන් ගෑනු‍න්ට විතරමයි කියලා. පිරිමි කොස්ස ඇල්ලු‍ව ම කොස්සයි, කුණුයි දෙකම කෑ ගහනව වගේ. අපොයි! මට හෙම ළමයෙක් හිටිය නං ජීවිත කාලෙ ම ඒ ළමයට දාසකම් කරන්න මට වෙන්නෙ. ඒ ළමයා දකින්නෙ මගෙ දාසභාවය ම විතරයි.” රාධා කියවාගෙන ගියෙ ඒක හුස්මට.
“අපේ ගෙදර නං එහෙම නෑ…” මනමේ කුමාරි කිව්වෙ ෆයිල් ගොඩක් උඩින් එබිලා.
“මේ දූවෙ නං කුටුම්බය කියන්නෙ ශ්‍රමය සූරාකන තැනක්. ඇත්ත ම කියනව නං ස්ත්‍රී දූෂණය ලීගලයිස් කරන තැනක්.”
“මොකද්ද ‘ග්‍රේට් ඉන්දියන් කිචන්’ ෆිල්ම් එක ගැන සංවාදයක් ද?” කියල අහගෙන වාඩි වුණේ ඡන්න.
“නෑ. ‘ග්‍රේට් ශ්‍රී ලංකන් හස්බන්ඩ්ස්’ කියල එහෙකට ස්ක්‍රිප්ට් එකක්.” ප්‍රමිලා හිනාවුණේ රාධා දිහා බලාගෙන.
 
■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ 
 

Previous articleආයිබොවන්ඩ ගෝඨා සෑර්..,
Next articleලොව ජනප්‍රියම කෙටි වාර්තා චිත්‍රපටය මලිඳුගේ Smiling Roses

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here