ආයිබොවන්ඩ ගෝඨා සෑර්..,

අපි හිතුවටත් වඩා ඉක්මනට රටවැස්සන්ටත්, මාත්තුරුබූමියටත් සවුබාග්ගිය උදා කොරල දීපු තමුන්නැහැ ඇතුළු ගැන්සියටම අපේ සකල සරීරවලින්ම පිටාර ගලන උහුලා ගන්ඩ බැරි ප්‍රීති පරමෝදය ලියාපදිංචි තැපෑලෙන්ම පොරකාස කර හිටින වගයි. දේවෝ වස්සතු කාලේන ද මොකක්ද කියල හරුපයක් ඒ කාලෙ අපේ අත්තල මුත්තල නිතර දොඩනවා මතකයි. නරපනුවන්ට ආදරයක්, කරුණාවක් දක්කන, රට, ජාතිය, ආගම වෙනුවෙන් පරාණය වුණත් පූජා කොරන්ඩ සූජානං නරපතියෙක් යම් දේසයක පහළ වන්නේ ද ඒ දේසයට සේම දේසවාසීන්ටත් කලට වැසි ලැබෙන්නේ ය., බූමිය සාර වන්නේ ය., අටු-කොටු පිරී ඉතිරෙන්නේ ය., ඉතිං නරපතියානොත්, නරපනුවොත් ඇති තරං කා-බී-නටා සැණකෙළි කොරති.. අන්න ඒ වගේ වාක්කිය රචනාවක්ලු නේද අපෙ සෑර් පරණ පුස්තකවල ලියවිලා තියෙනව කියන්නෙ..?

අනේ ඒ පුරාණ වාක්කිය රචනා බල්ලන්ට විසික්කා කොරමු ආයිබොවන්ඩ. මුසාවකට කියනව එහෙම නෙමෙයි, මේ දවස්වල වැස්ස වලාහක මහෝත්තමයාණෝ ඇට්ටි හැලෙන්ඩම දෙන වැහි කන්දරාව ගැන විතරක්ම කල්පනා කොරල බලමු. අපේ සෑර් දේසීය සම්පත්වලට මාර ලව් නිසා මිසක්ක නැත්තං මේ මහා වැහි වතුර ටික විතරක් පිටරටකට විකුණ ගත්ත නං අපේ බාන්ඩාගාරෙ ඉඩත් මදිවෙන තරමට විදෙස් විනිමය උපයන්ඩ ඇහැක්කමක් තියෙනව නෙ.. හොඳයි නැද්ද මං අහන්නේ අපෙ බුදු සෑර්..?

මහාවංසකාරයා ඉන්ඩ තිබුණෙ අද ය කියලයි අපිට නං නිතරම කල්පනා වෙන්නෙ ආයිබොවන්ඩ. මොකද කියනව නං වැඩි කොරන අපේ විරුවා හැටියට හුදී ජනතාව විසින් කිරුළු පැළැන්දූ අපේ ගෝඨා සෑර්ගෙ පාලන සමයේ ගැසට් රිවස් කොර කොර අත්තියාවස්සිය බඩු ගොඩක මිල ගණන් නහුතෙටම නැග්ගුවේ රාජකීය පවුලෙ ගජමිතුරන් වෙන දුප්පත් හාල් මෝල්කාරයන්ගේත් පරිප්පු, සීනි, කිරිපිටි ටිකේ හිටන් ගෑස්, සිමෙන්ති, පෝර, ආදි බාන්ඩ ආනයනය කොරන අහිංසක වියාපාරික ප්‍රොජාවගේත් සුබසිද්දිය පිණිස වගට මහාවංසකාරයා අනිවාරියෙන්ම ලියා තබන විත්තිය සහතික හන්දයි.

ඒ විතරක්යැ ආයිබොවන්ඩ දුටුගැමුණු මහා රජ්ජුරුවන්ගේ රුවන්වැලි චයිත්තිය රාජයාට වගේම එළාර සොහොනටයි විතරක් සැකන්ඩ් වෙන්ඩ ඉදි කොරපු සඳ-හිරු මහා සෑයයි, මා-පිය ස්මාරකෙයි ගැන වුණත් අපිට මොන තරං ආඩම්බර ද..? මහරජවරුන්ගෙ කාලෙ වගේ ලෝක බැංකු, ආසියා බැංකුවලින් ගිනි පොලියට ණය අරං තමුන්නහැ මේ හාස්කම් නොකළ බව අපි නොදන්නවයැ. අනිත් අතට වංචා, දූසන කොමිසං වගේ ඒවා ගැන අහලවත් නොතිබුණ ඒ සංදියෙ ටෙන්ඩර් මගඩි, රාජ්‍ය දේපළ අයථා විදිහට පරිහරණය කිරීම් වගේ ජාතික අපරාද ඔය මහාවංසකාරයා මහ ලොකුවට වර්ණනා කොරන රජගොල්ලො හිතේ හැටියට කොරල ඇති මයෙ හිතේ.

අන්න ඒකට අපේ සෑර්ගෙ කාලෙ. එක ඇල්පෙනෙත්තක තරංවත් ජාතික සම්පතක් හොරා කාපු එක තක්කඩියෙක්වත් තමුන්නැහැ නිදොස් කොට නිවැරදිකාරයෙක් කොරල තියෙනව ද…? කොටිංම කියනව නං යහපාලන කාලෙ එහෙම දේවල් කොරල රට පැන්න හැම එකාම කකුල් කෙටිවලින් ඇදන් ආපු හැටි රටම දන්නවා නොවැ. කිව්වට ඇස්වහක්-කටවහක් නැහැ අපෙ සෑර්. මේ ටික දොහට තමුන්නැහැ පිහිටවපු වාර්තා ටික නං ආයෙ කවදාවත් ලෝකෙ වෙන කිසිම කෙළිකාරයෙකුට බිඳින්ඩ ඇහැක් වෙන එකක් නං නැහැ.

හොඳ විස්සාසෙට ගන්ඩ ගෝඨා. පංච මහා බලවේගෙම වීදිවලට බැහැලා මේ තරං ප්‍රීති ගෝසා කොරපු යුගයක් මීට කලින් සිරිලංකා දීපෙ පහළ වෙලා නැහැ. රටේ, ජාතියේ, ආගමේ සුබසිද්දිය නාමයෙන් හා ජාතියේ පිනටම කඩාපාත් වූ රජ පවුලේ හෙට දවස වෙනුවෙන් දහසක් බාධක මැද අපේ සෑර්ලා දියත් කොරන හැම වියාපුරුතියකටම චීන, ඉන්දියන් හා ඇමෙරිකන් ආදී ගජමිතුරන්ගේ ආසිරිවාදයයි, ආරක්සාවයි නොඅඩුව ලැබේවා යන්න අපේ පරම පැතුමයි..●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

seven + 15 =