ගුරු විදුහල්පති සටනේ පණිවුඩය…

පසුගිය 10 වෙනිදා ගුරු සංගම් නියෝජිතයන් හා අගමැතිවරයා ද, මුදල් ඇමැතිවරයා ද සහභාගී වූ සාකච්ඡාවක දී මෙවර අය-වැයෙන් ගුරු – විදුහල්පති වැටුප් වැඩි වීම එකවර ලබා දීමට එකඟතාව පළ කොට ඇත. එනම්, ඇමැති අනුකමිටුව ඉදිරිපත් කළ වැටුප් වැඩි වීමේ යෝජනාවට අනුව ය. මීට ඉහත අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී එකඟ වූයේ මෙයින් තුනෙන් පංගුවක් ලබා දීමට ය. එසේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනුයේ, මෙවර අය-වැයෙන් අධ්‍යාපනය සඳහා 7.51%ක මුදලක් එනම්, රුපියල් කෝටි 3,000ක් වෙන් කරන බව ය. ගුරු – විදුහල්පති අරගලයේ ඉල්ලීම් අනුව ගත් විට මෙය සැලැකිය යුතු ජයග්‍රහණයක් සේ ගත හැකි ය. මාස ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වී තිබේ.

මහත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින වත්මන් ලාංකීය සමාජයට මෙම අරගලය වැදගත් පාඩම් රැසක් ගෙනෙන බව අපේ අදහසයි. මීට ඉහත දී ප්‍රධාන වශයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති කටයුතු කළේ වෙන වෙනම ය. ඒ අතර, ගුරු වෘත්තීය සමිති ද විශාල ප්‍රමාණයකට බෙදී තිබිණි. එහෙත්, අරගලය තුළ මේ සියල්ල එකම පෙරමුණකට එක්ව සටන් කිරීම තුළ විශාල බලයක් ගොඩනැඟිණි.

ආණ්ඩුව දිගින්දිගට ම ගෙන යන අත්තනෝමතික හා මිලිටරි පන්නයේ කටයුතුවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් ගරු කරන සමාජ බලවේග හඬ අවදි කරමින් සිටිති. ආණ්ඩුව තමන්ට බලය තහවුරු කර ගැනීමට පහසුම හා බාල වර්ගයේ උපක්‍රමයක් වන ‘ජාතිවාදය’ යොදා ගැනීමෙන්, විශේෂයෙන් පීඩාවට ලක් වන දෙමළ හා මුස්ලිම් ඇතුළු ජන කොටස්වල ද ඒවාට එරෙහි විරෝධයක් පවතී.

සටනට අනෙක් වෘත්තීය සමිතිවල සහාය ද ලබා ගැනිණි. සටන අවුල් කිරීමේ ආණ්ඩුවේ විවිධ කුමන්ත්‍රණ හඳුනාගෙන සටන් උපක්‍රම ක්‍රියාත්මක විය. සටනට විරුද්ධ බලවේගයක් ලෙස දෙමාපිය විරෝධය ඇති කිරීමට සැරැසෙන විට ගුරුවරු උපක්‍රම මාරු කර දෙමාපිය සහාය සටනට ගැනීමේ ක්‍රියාමාර්ග දියත් කළහ. 09 වෙනිදා රට පුරා දියත් වූ ජාතික විරෝධයේ ගුරු – විදුහල්පති භූමිකාව විශාල එකක් විය.

වී, එළවළු ගොවීහු ද, කුඩා තේ වතු වගාකරුවෝ ද, සුළු අපනයන වගාකරුවෝ ද පොහොර ප්‍රශ්නය හමුවේ සටනක නිරතව සිටිති. පෞද්ගලික හා රාජ්‍ය දෙ අංශයේම වැඩ කරන ජනතාව ජීවන බර ඉහළ යාම හමුවේ සාධාරණ වැටුපක් ඉල්ලා සටනක ය. විදුලි, වරාය, ඛනිජ තෙල් සේවකයෝ බලශක්තිය හා වරාය ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහි සටනක ය.  විශ්‍රාමිකයන් තම විශ්‍රාම වැටුප කොල්ලකෑමට එරෙහි සටනක ය. පරිසරවේදීන් ඉඩම් හා වනාන්තර ඇතුළු පරිසර කොල්ලයට එරෙහි සටනක ය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තමන්ට සිදු වූ අයුක්තියට එරෙහිව යුක්තිය ඉල්ලා සටනක ය. කාන්තාවන් ජීවන බර ද තමන්ගේ අයිතිවාසිකම් නොලැබීමට ද එරෙහි සටනක ය. ආණ්ඩුව දිගින්දිගට ම ගෙන යන අත්තනෝමතික හා මිලිටරි පන්නයේ කටයුතුවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් ගරු කරන සමාජ බලවේග හඬ අවදි කරමින් සිටිති. ආණ්ඩුව තමන්ට බලය තහවුරු කර ගැනීමට පහසුම හා බාල වර්ගයේ උපක්‍රමයක් වන ‘ජාතිවාදය’ යොදා ගැනීමෙන්, විශේෂයෙන් පීඩාවට ලක් වන දෙමළ හා මුස්ලිම් ඇතුළු ජන කොටස්වල ද ඒවාට එරෙහි විරෝධයක් පවතී.

සැබැවින්ම මේ සියලු අරගල සාධාරණ හා යුක්තිසහගත ය. ඒවා ද ජයග්‍රහණය කළ යුතු සටන් ය. එසේම ජයග්‍රහණය කළ හැකි සටන් ය. අවශ්‍ය වන්නේ සටන් කරන බලවේගවල සමඟිය ත්, අනෙකුත් පීඩිත බලවේග සමඟ පවත්වා ගන්නා සහයෝගයත්, නිවැරැදි උපාය උපක්‍රම තේරීමට  සමත්භාවයත්, අවස්ථාවාදයට ඉඩ නොදී, අභියෝග සහ බාධක හමුවේ නොසැලී කටයුතු කරන පරිණත නායකත්වයක් ය. ගුරු – විදුහල්පති අරගලයේ දී මේ සියලු ලක්ෂණ දැකගත හැකි විය.

සමාජය මුහුණ දී සිටින අර්බුදයේ තරම සමඟ සසඳන විට ගුරු – විදුහල්පති ඉල්ලීම් ඉටු වීම යනු තාවකාලික පැලැස්තරයක් බව ය. සියලු අයිතීන් දිනාගැනීමෙන් තොරව සටන් අවසන් වන්නේ නැත. ගුරු – විදුහල්පති අරගලයේ දී මෙන්ම මෙම අනෙකුත් සටන්වල දී ද ඇත්තේ, එකම සතුරෙකි. එම සතුරා නම් සූරාකෑම, පීඩනය, දූෂණය, අසමානතාවය, පසුගාමීත්වය ආදී සියල්ල ය. ඒවා පවත්වාගෙන යන්නේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයයි. වෙනස් කළ යුත්තේ එයයි. ඒ නිසා සතුරා මතුපිටින් නොව හරයෙන්ම දකිමින්, තාවකාලිකව නොව සදාකාලිකවම සතුරා පැරදවිය හැකි බලයක් ගොඩනැඟිය යුතු ය. එම බලය මෙම පීඩිත බලවේගවලට ඇත. පීඩිත බලවේග සටන් කරන ආකාරය පිළිබඳවත්, අවස්ථාවාදය පිළිබඳවත්, හරි වැරැදි පිළිබඳවත් ඉගෙන ගන්නේ අරගල තුළින්ම ය. ඒ සමස්ත සමාජ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අරගල කිරීමට මෙම ජයග්‍රහණය පන්නරයක් කර ගත යුතුව ඇත●

 

 

Leave A Reply

Your email address will not be published.

17 − seven =