ඔර්හාන් පමුක්ට එරෙහිව අපහාස චෝදනා විමර්ශනයක්

නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ට එරෙහිව අපහාස චෝදනා මත කැරෙන විමර්ශනයක් මේ වනවිට සිදුවෙමින් පවතී.

මේ විමර්ශනය සිදුවන්නේ පමුක් සිය නවතම ප්‍රබන්ධය වූ Nights of Plague නවකතාවෙන් ‘තුර්කි ජනරජයේ පියා’ ලෙස විරුදය ලද මුස්ටාෆා කෙමාල් අටටූර්ක්ට හා තුර්කි ධජයට අපහාස කළේයයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙනි.
වර්තමාන තුර්කිය යනු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කැරෙමින් පවතින රාජ්‍යයකි. ලේඛකයෝ, ජනමාධ්‍යවේදීහු මෙන්ම විරුද්ධ මතධාරීහු හා විපක්ෂ දේශපාලනඥයෝ විශාල ප්‍රමාණයක් සිරගතකිරීමට හා වෙනත් වදබන්ධනයන්ට සිටිති. එසේම එළිපිට අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් බුරුතු පිටින් ජනයා දැනටමත් දිනපතා දණ්ඩනයට හා හිංසනයට ලක්වෙති.

පසුගිය අපේ‍ර්ල් මාසයේ දී බටහිර තුර්කියේ නගරයක් වන ඉස්මිර් (İzmir) හි නීතීඥයෙක් පමුක්ට එරෙහිව පැමිණිල්ලක් ගොනුකළේ ඔහු මෙම නවකතාවෙන් නූතන තුර්කි ජනරජයේ ආරම්භකයා ලෙස සැලකෙන අටටූර්ක්ට (Mustafa Kemal Atatürk) හා තුර්කි ධජයට අපහාස කරමින් ජනතාව අතර වෛරය හා එදිරිවාදීත්වය පැතිරවීය යි චෝදනා කරමිනි.
ටර්කාන් උලූක් (Tarcan Ülük) නම් මේ පැමිණිලිකාර නීතීඥයා සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ ඉස්මිර් නගරයේ අධිකරණයට ය. පැමිණිල්ල ගැන විමර්ශනයක් කළ ඉස්මිර් අධිකරණය, ප්‍රශ්නගත නවකතාව ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉස්තාන්බුල් නගරයේ බැවින් පැමිණිල්ල ඉස්තාන්බුල් අධිකරණය වෙත යොමුකළේ ය.

පමුක් තමන්ට එරෙහි චෝදනා අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කළ අතර, අනෙකුත් සාක්ෂි ද සලකා බැලූ ඉස්තාන්බුල් අධිකරණය මේ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවත්වාගෙන නොයාමට පළමුව තීරණය කළේ ය. එහෙත් පැමිණිලිකාර නීතීඥයා එම තීරණයට එරෙහිව අභියායචනයක් ඉදිරිපත් කළ අතර, එය සලකාබැලීමට සාම අධිකරණ මණ්ඩලයක් පසුගිය දා තීරණය කළේ ය. ඒ අනුව පමුක්ට එරෙහි විමර්ශනය නව වටයකින් ඇරැඹී තිබේ.
තුර්කි දණ්ඩනීති සංග්‍රහයේ ”අටටූර්ක්ට එරෙහිව සිදුකරන අපරාධ සම්බන්ධ නීතිය‍” නමින් එන 5816 වගන්තිය මගින්, කිසියම්ම හෝ තුර්කි පුරවැසියෙක් ”අටටූර්ක්ගේ ස්මරණයන්ට” අපහාස කිරීම අපරාධ වරදක් සේ දක්වන අතර, ඒ යටතේ වරදකරු වන පුද්ගලයකුට වසර තුනක් දක්වා සිරදඩුවම් පැනවිය හැකි ය.

Veba Geceleri නවකතාවේ ප්‍රධාන චරිතය වන Kolağası Kamil මගින් අටටූර්ක් සංඛේතවත් කරන බවත්, “අවසානයේ ඔහු ජනාධිපති බවට පත්විය” යනුවෙන් කෘතියේ එන සඳහන එය සනාථ කරන බවත් පෙත්සම්කාර නිතීඥයා කියාසිටී. එසේම “ග්‍රීක ෆාමසියක ලාංඡනය සහිත හාස්‍යජනක ධජය” ලෙස සඳහන් කරමින් ‘වසංගත රාත්‍රීන්’ තුර්කි ධජය ද සමච්චලයට ලක් කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

සිය සාහිත්‍යකරණය හේතුවෙන් ඔර්හාන් පමුක් නීතිය හමුවට පමුණුවන ලද එකම අවස්ථාව මෙය නොවේ. 2005 දී ස්විස් පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක දී ‘තුර්කිකමට අපහාස කළේය’ යි කියමින් ඔහුට එරෙහිව නීතිමගින් කටයුතු කිරීම ඇරැඹිණි. “කුර්දිවරුන් තිස් දහසක් හා ආමේනියන්වරුන් මිලියනයක් තුර්කියේ දී ඝාතනය කැරුණත්, මා හැර අන් කිසිවෙකුත් ඒ ගැන කතාකිරීමට එඩිතර නොවෙති” යි ඔහු එම සාකච්ඡාවේ දී පැවසීම හේතුවෙන් ඔහුට මරණ තර්ජන එල්ලවූ අතර, ඔහුගේ පොත්වල පිටපත් විශාල වශයෙන් ගිනිතැබිණි. මේ සම්බන්ධයෙන් නැග ආ ජාත්‍යන්තර විරෝධය හේතුවෙන් ඔහුට එරෙහි නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග අකුලාගැනීමට තුර්කි රජයට සිදුවිය.

වර්තමාන තුර්කිය යනු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කැරෙමින් පවතින රාජ්‍යයකි. ලේඛකයෝ, ජනමාධ්‍යවේදීහු මෙන්ම විරුද්ධ මතධාරීහු හා විපක්ෂ දේශපාලනඥයෝ විශාල ප්‍රමාණයක් සිරගතකිරීමට හා වෙනත් වදබන්ධනයන්ට යටත්කොට සිටිති. එසේම එළිපිට අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් බුරුතු පිටින් ජනයා දැනටමත් දිනපතා දණ්ඩනයට හා හිංසනයට ලක්වෙති.

2006 දී සාහිත්‍යය උදෙසා නොබෙල් සම්මානය දිනාගත් පමුක්, PEN International නම් ලේඛකයන් සඳහා වන සුප්‍රකට ජාත්‍යන්තර සංවිධානයේ උප සභාපතිවරයෙක් ලෙස 2019 දී තේරී පත්විය.

– සනත් බාලසුරිය

Leave A Reply

Your email address will not be published.

5 × 5 =