ඩිජිටල් ආර්ථිකය සහ මානව සම්පත් අපනයනය

රටක් සංවර්ධනය කිරීමට නම්, ඒ රට සතුව ප්‍රමාණවත් ආදායම් තිබිය යුතු ය. ආදායම් සෙවීමට නම්, එම රටේ නිෂ්පාදනය වැඩි වර්ධනය කළ යුතු ය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය උපරිම තලයකට රැගෙන ඒම මෙහි දී ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම නව ආදායම් උත්පාදන ක්‍රමවේද කෙරෙහි මෙහි දී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එහි දී රටේ ආදායම් ඉහළ දැමීම සඳහා කළ හැකි ප්‍රධාන ම කාර්යය වන්නේ අපනයන ඉපැයීම් වර්ධනය කිරීමයි. රටක් සතු සීමිත සම්පත් ප්‍රමාණය උපරිම කාර්යක්ෂමතාවෙන් සහ ඵලදායිතාවෙන්  යුතුව යොදා ගැනීම මෙහි දී වැදගත් වේ. අපනයනය ඉලක්ක කර ගත් නිෂ්පාදන ක්‍රමවේදයක් වෙත මාරු වීම සහ විදේශීය වෙළෙඳපළ ඉලක්ක කර ගත් නිෂ්පාදන සංස්කෘතියක් ඇති කිරීමෙන් මෙම සම්පත් උපරිම උපයෝජනය ගොඩනඟා ගත හැකි ය. ඒ සඳහා වූ පැහැදිලි වැඩපිළිවෙළක් රටකට තිබිය යුතුය. නමුත්, නිදහසෙන් දශක 7කට පසුවවත් අපට මෙම පැහැදිලි දැක්ම ගොඩනඟා ගැනීමට හැකිව නැත. 

අපේ රටේ 2018 වසරේ වාර්තා වූ අපනයන ඉපැයීම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් විය. එම වසරේ දී භාණ්ඩ හා සේවා ආනයන සඳහා අප විසින් සිදු කර තිබෙන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක වෙළෙඳ හිඟයක් 2018 වසරේ දී වාර්තා විය. ඒ අනුව පැහැදිලි වන්නේ පළමුව අප විසින් මෙම හිඟය මඟහරවා ගත යුතු වීමයි. දෙවැන්න වන්නේ ආනයන වියදම් ඉක්මවාලූ අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමයි. ලෝකයේ රටවල් සිය අපනයන ආදායම් ඉහළ දමා ගැනීම සඳහා සිදු කරන්නේ අපනයන විවිධාංගීකරණ ප්‍රතිපත්තියකට මාරු වීමයි. ඊ ළඟ කරුණ වන්නේ විදේශ විනිමය උපයා ගැනීම සඳහා වූ විකල්ප ප්‍රවේශ වෙත මාරු වීමයි. විශේෂයෙන් මෑත වසරවල ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් විසින් සිදු කරන ලද ප්‍රධානම කාර්යයක් වන්නේ ප්‍රසාරණය වන ඩිජිටල් ආර්ථිකයන් සමඟ ලෝකයේ විවෘත වෙළඳපළ සඳහා ඩිජිටල් සේවා සැපයීමට (Digital Outsourcing) මූලික වී කටයුතු කිරීමයි. මේ වන විට ලෝකයේ බොහෝ දියුණු ආර්ථිකයන් තොරතුරු තාක්ෂණය සහ ඊට අදාළ සේවා බාහිර රටවල්වලින් ලබා ගැනීමට පෙළැඹී සිටී. ගෝලීය තොරතුරු තාක්ෂණ වෙළෙඳපළ තුළ ඉතා වේගයෙන් මෙම ඩිජිටල් සේවා මිල දී ගැනීම (IT Outsourcing) ප්‍රසාරණය වෙමින් තිබේ. මේ වන විට මෙම කර්මාන්තයේ ගෝලීය වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන අතර, 2025 වන විට එය ඩොලර් බිලියන 25 ඉක්මවනු ඇත. එමෙන්ම මේ වන විට ලෝකයේ සමස්ත තොරතුරු තාක්ෂණ සේවා සැපයීමෙන් 60%කට දායකත්වය ලබා දෙන්නේ ආසියාවයි. මෘදුකාංග සංවර්ධනය සහ ඊට අදාළ තාක්ෂණ සේවා සැපයීම, නිර්මාණාත්මක සහ බහු මාධ්‍ය සේවා සැපයීම, අලෙවිකරණ සේවා සැපයීම, ලේඛන සහ පරිවර්තන කටයුතු, දත්ත කළමනාකරණය සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ වෘත්තීය සේවා සැපයීම මෙහි දී සිදු වේ. මෙම ක්‍රමවේදය මඟින් සිදු වන්නේ භෞතිකව අදාළ සේවා සපයන පුද්ගලයන් සේවා ලබා ගන්නා රටවල සේවය කිරීම නොවේ. ඔවුන් සිදු කරන්නේ අදාළ ඩිජිටල් සේවා කිසිදු බැඳීමකින් තොරව (freelancing) සිය රට තුළ සිට ම අදාළ විදේශ ගැනුම්කරුවන් වෙත සම්පාදනය කිරීමයි.

Oxford Internet Institute (OII)  ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ ඉහළම අන්තර්ජාලය හරහා ශ්‍රමය (Online Labor) සපයන ප්‍රධානම රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඔවුන් ගෝලීය අන්තර්ජාල ශ්‍රම වෙළෙඳපළින් 24%කට දායක වේ. මෙහි දෙවැනි තැන හිමි කර ගන්නේ මේ වන විට ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රට බවට පත්ව තිබෙන බංගලිදේශයයි. ඔවුන් මෙම ගෝලීය අන්තර්ජාල ශ්‍රම සැපයුමෙන් 16%ක කොටසක් අත්පත් කර ගෙන ඇත. තුන් වන තැන හිමිව තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. ඔවුන්ගේ වෙළෙඳපළ කොටස 12%කි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ගෝලීය අන්තර් ජාල ශ්‍රම සැපයුමෙන් 4 වැනි තැන හිමි කර ගෙන සිටින්නේ පකිස්ථානය වීමයි. ඒ අනුව අසල්වැසි දකුණු ආසියාවේ රටවල් තුනක් විසින් ලෝකයේ මෙම අන්තර්ජාල ශ්‍රම සැපයුමෙන් 50%ක් අත්පත් කර ගෙන සිටී. ඉන්දියාව තුළ මෙම සේවා සපයන ක්‍රියාකාරී නිදහස් සේවා සපයන්නන් (Active Freelancers) මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් සිටින අතර බංගලිදේශය තුළ 6″50″000ක් පමණ සිටින බව වාර්තා වේ. ඉන්දියාව තුළ සිටින මෙම අන්තර්ජාල ශ්‍රම සැපයුම්කරුවන් විසින් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමයක් රට තුළට රැගෙන එනු ලැබේ. එමෙන් ම ඔවුහු ඉතා හොඳ ආදායම් උපයමින් ජීවත් වෙති.

මෙම අන්තර්ජාල ශ්‍රම සැපයුමේ ප්‍රධාන වැදගත්කම වන්නේ” එමඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ඇදී ඒමයි. එමෙන් ම දියුණු වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන විරැකියාවට එමඟින් ලැබෙන පිළිතුරයි. අනෙක් කරුණ වන්නේ විශේෂයෙන් ආසියානු රටවල දක්නට ලැබෙන කාන්තා සේවා වියුක්තියට එමඟින් ලැබෙන පිළියමයි. මේ වන විට ඉන්දියාව, බංගලිදේශය, පකිස්ථානය වැනි රටවල තරුණ උගත් විශාල කාන්තාවෝ ප්‍රමාණයක් මෙම අන්තර්ජාල ශ්‍රම සැපයුමේ කොටස්කරුවන් බවට පත්ව සිටිති. අනෙක් කරුණ වන්නේ මෙම සේවා සපයන්නන් රටට බරක් නොවී ආදායම් උපයන්නන් බවට පත්ව සිටීමයි. අපේ රට සැලකීමේ දී මෙම අන්තර්ජාල සේවා සපයන පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් සිටිනමුත්” ඔවුන් පිළිබඳව කිසිදු විධිමත් සංඛ්‍යාලේඛනයක් දක්නට නැත. අනෙක් පසින් රටක් ලෙස අප විසින් සිදු කළ යුතු වන්නේ ගෝලීය වශයෙන් ප්‍රසාරණය වෙමින් පවතින මෙම වෙළඳ අවකාශය ඉලක්ක කර ඊට අදාළ පුහුණු ශ්‍රමය නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා අපගේ උසස් අධ්‍යාපනය වෙනස් විය යුතුය. අනෙක් පසින් මෙම ක්ෂේත්‍රය විධිමත් කළ යුතුවාක් මෙන් ම එය නියාමනය සඳහා ද වැඩපිළිවෙළක් තිබිය යුතුය. විශේෂයෙන් මෙම වෙළඳපළ තුළ නිශ්චිත සේවා සැපයීමක් අප විසින් තෝරා ගත යුතු ය. නැතිනම් අපටම ආවේණික වූ වෙළඳ අවකාශයක් ගොඩනඟා ගත යුතු ය. නිදසුන් ලෙස ඉන්දියාව සිදු කරන්නේ මෘදුකාංග නිෂ්පාදනය (Software Development) සඳහා වැඩි ඉඩකඩක් නිර්මාණය කරගෙන සිටීමයි. ඔවුන් ලෝකයේ මෘදුකාංග නිෂ්පාදනයට අතිදක්ෂයන් ය. බංගලිදේශය අලෙවිකරණයට (Sales and Marketing Support Services) අදාළ තොරතුරු තාක්ෂණ සේවා සපයයි. ඔවුන් ඒ සඳහා ලෝකයේ ප්‍රකටය. මෙවැනි අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමත් ඉතා වැදගත්ය. 

මෙම කර්මාන්තය සංවර්ධනය සඳහා රටක් ලෙස අපට ගත හැකි පියවර කිහිපයක් වේ. ඉන් පළමුවැන්න වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය නව අවස්ථා සහිත සේවා ක්ෂේත්‍රයක් ලෙස (ICT Service Sector) මැනැවින් හඳුනා ගැනීම සහ එය විධිමත් ලෙස ස්ථාපනය කිරීමයි. මේ සඳහා රජය කෙළින්ම මැදිහත් විය යුතු ය. එමෙන්ම ගෝලීය බාහිර සේවා වෙළඳපළ (Global Outsourcing Market) පිළිබඳව වන ප්‍රමාණවත් අවබෝධය සහ එකී වෙළඳපළ ඉලක්ක කර ගත් ජාතික ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම ද වැදගත්ය. ඒ සඳහා වූ ආයතනයක් නිර්මාණය කළ යුතු ය. එමෙන්ම මෙම කර්මාන්තයට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීම මෙහි ප්‍රධාන කොන්දේසියකි. ඊට සමාන්තරව අන්තර්ජාල සේවා සහ ඒවායේ ගුණාත්මක බව මෙන්ම විශේෂයෙන් එහි වේගය සංවර්ධනය කළ යුතුය. මක් නිසාද යත්, මෙම අන්තර්ජාල සේවා සැපයීමේ ප්‍රධානම භූමිකාව ඉටු කරන්නේ ගුණාත්මක බවින් ඉහළ මෙම අන්තර්ජාල සේවය හරහා වීමයි. තරුණ පිරිස්, තාක්ෂණයට ඇල්ම කරන කුසලතාවන්ගෙන් සහ හැකියාවන්ගෙන් පිරිපුන් තරුණයන් (Tech-Savvy) බවට පත් කිරීමත් මෙහි දී ඉතා වැදගත් වේ. එය ඉලක්ක කර ගත් මානව ප්‍රාග්ධන සංවර්ධනයක් වෙත (Human Capital Development) රට තල්ලු‍ කළ යුතු ය. ඒ සඳහා වූ විධිමත් වැඩපිළිවෙළක් වෙත අප අවතීර්ණ විය යුතු ය. නමුත්, රට කරවන ඇත්තන්ට මෙවැනි දැක්මක් තිබේ ද යන්න මෙතෙක් නම් ඔප්පු කර නොමැත.

■             අනුහස් බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

15 − 1 =