ඇත්ත ඉදිරියේ හැප්පෙන ‘ජනතා කැමැත්ත’

බිය තුරන් කරනවා වෙනුවට පාසල් දරුවන්ට එහා මෙහා පෙනෙන බෑග් රැගෙන යාමට නිර්දේශ කිරීම, මැතිවරණයට දින කිහිපයකට පෙර සිට නැවතත් පාසල් අසල හමුදාව රැඳවීම, තැනින් තැන හමුදා මාර්ග බාධක යෙදවීම වැනි දේ සිදු කළේ ආරක්ෂාව වෙනුවෙන් ද නැතහොත් භීතිය යළි සිහිපත් කිරීමේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් වශයෙන් ද යන්න නැවත සිතා බැලිය යුතු ය.

මෙවර ජනාධිපතිවරණය සම්පූර්ණයෙන්ම මාධ්‍ය මෙහෙයුමක් බවට පත් වී තිබිණි. විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය ගණනාවක්ම මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂයේ පාර්ශ්වයට පක්ෂග්‍රාහීත්වයක් දැක් වූ අතර, එළිපිටම මාධ්‍ය සදාචාරයන් පමණක් නොව මැතිවරණ කොමිසම මඟින් නිකුත් කළ උපමානයන් ද කඩා දැම්මේය. අනෙක් පසින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් ද මේ මෙහෙයුමේ විශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබීය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙවර වැඩියෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබූයේ මාධ්‍ය සහ ආගමික නායකයන් බවයි. අනෙකුත් ආගමික නායකයන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශාල මැදිහත් වීමක් සිදු කළ බවක් පෙනෙන්නට නොතිබූ නිසා මේ චෝදනාව එල්ල වන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාටම බව පැහැදිලිය. එසේම පෞද්ගලික මාධ්‍ය වෙනුවෙන් නියාමනයක් ඇති කළ යුතු බවත්, එසේ නොමැති නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කිරීමේ බලය පෞද්ගලික මාධ්‍ය වෙත ලබා දිය යුතු බවත් කියන්නට තරම් තත්ත්වය බරපතළ වී තිබිණි. කෙසේ වෙතත්, මාධ්‍යයන්ගේ තිබිය යුතු මධ්‍යස්ථභාවය පමණක් නොව පොදු දේපොළක් වන ගුවන්විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත පවා අවභාවිත කරමින් සිදු කළ මාධ්‍ය මෙහෙයුමේ අවසානයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් විය. එය ‘ජනතා කැමැත්ත’ ලෙස සලකුණු වී තිබේ.   

ප්‍රතිඵලයේ ස්වභාවය

එහෙත් ප්‍රකාශයට පත් වූ ප්‍රතිඵලය රටක් වශයෙන් නැවත සිතා බැලිය යුතු ප්‍රතිඵලයකි. ඊට හේතුව අන් කවර මැතිවරණයකටත් වඩා මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බොහෝ සෙයින් ධ්‍රැවීකරණය වී තිබීමයි. උතුරු නැඟෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 77.14ක් හෙවත් ඡන්ද 11,52,624ක් ලබාගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස විසිනි. එම පළාත්වලින් ගෝඨාභය රාජපක්ෂට ලබා ගත හැකි වූයේ සියයට 16.1ක් තරම් වූ අඩු ප්‍රතිශතයකි. එනම්, ඡන්ද 2,77,019ක් පමණි. උතුරු නැඟෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය ඊට බොහෝ සෙයින් වෙනස් මුහුණුවරක් ගනු ලැබී ය. එම ප්‍රදේශවල සමස්ත ප්‍රකාශිත ඡන්ද වලින් ඡන්ද 66,47,236ක් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වී ඇත. සජිත් ප්‍රේමදාසට ලැබී ඇත්තේ ඡන්ද 44,11,615කි. මේ අනුව උතුරු නැඟෙනහිර හැර සෙසු ප්‍රදේශවලින් සජිත් ප්‍රේමදාස 35.49ක ඡන්ද ප්‍රතිශතයක් ලබා  ගන්නා විට ගෝඨාභය රාජපක්ෂ 56.6ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. ඒ අනුව ජාතිකත්වය මත ඡන්ද පදනම් බෙදී ඇති බව පැහැදිලිය. දකුණ සිංහල බෞද්ධ ඡන්ද පදනම් දෙසට ධ්‍රැවීකරණය වී ඇති අතර, උතුර ද ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, සිංහල අපේක්ෂකයකුට වුව ද, එහි ප්‍රකාශිත පදනම ජාතිකත්වයම බව පැහැදිලිය.

ආරක්ෂාවේ භීතිය

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පෙරමුණේ ප්‍රධානම තේමාව වූයේ ‘ජාතික ආරක්ෂාව’යි. ඒ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන පුළුල් අර්ථයෙන් නොවූ අතර, හුදෙක් ජාතිවාදය පදනම් වූ මුස්ලිම් සහ දෙමළ ජනතාවගෙන් ඇති තර්ජනවලින් ආරක්ෂා වීමක් ලෙස ලඝු වී තිබේ. ශරීර ආරක්ෂාවෙන් ඔබ්බට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික කරුණු වන ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සුරක්ෂිතතාව, මානව හිමිකම්වල සුරක්ෂිතතාව වැනි කරුණු වෙත කිසිදු අවධානයක් හෝ ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොවුණු අතර, ජාතික ආරක්ෂාව යනු හුදු සන්නද්ධ බලයක් තහවුරු කිරීමක් බවට වන මතයක් සමාජය තුළ ප්‍රතිනිර්මාණය කරනු ලැබීය.

එවැන්නක් විශේෂයෙන් සිංහල බෞද්ධ සමාජය තුළ ස්ථාපනය කිරීම ද ඉතා පහසු කාර්යයක් වන අතර, පාස්කු ප්‍රහාරය ඒ සඳහා ඕනෑවටත් වඩා උත්තේජනය සැපයීය. වසර තිහක යුද්ධයෙන් බැට කෑ සිංහල සමාජයට එතෙක් ‘දෙමළ කොටියා’ පෙන්වමින් සිටි අතර, පාස්කු ප්‍රහාරයත් සමඟ ‘කොටි’ යට කරමින් සහරාන්ලා, සාෆිලා මෙන්ම ෂරියා විශ්වවිද්‍යාලය ද කරළියට පැමිණියේය.

ප්‍රධාන නගරවල පමණක් නොව බස් රථවල පවා පිපුරුණු බෝම්බවල බිහිසුණු බව අත්විඳ ඇති සමාජයකට පාස්කු ප්‍රහාරයෙන් නැවතත් එම බියම  ඇති වීම අරුමයක් නොවේ. එහෙත්, ඒ බිය තුරන් කරනවා වෙනුවට පාසල් දරුවන්ට එහා මෙහා පෙනෙන බෑග් රැගෙන යාමට නිර්දේශ කිරීම, මැතිවරණයට දින කිහිපයකට පෙර සිට නැවතත් පාසල් අසල හමුදාව රැඳවීම, තැනින් තැන හමුදා මාර්ග බාධක යෙදවීම වැනි දේ සිදු කළේ ආරක්ෂාව වෙනුවෙන් ද නැතහොත් භීතිය යළි සිහිපත් කිරීමේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් වශයෙන් ද යන්න නැවත සිතා බැලිය යුතු ය. අනෙක් පසින් මේ වන තෙක් පැවැති ආණ්ඩුව ද පාස්කු ප්‍රහාරය සිදු වී දින කිහිපයක් තුළ හමුදාව සිදු කළ පරීක්ෂා කිරීම්වල දී අත්අඩංගුවට ගත් පිරිස ගැන කියනවා හැර ඉන් ඔබ්බට කළ කිසිවක් නැත. ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටි බවට තොරතුරු අනාවරණය වී තිබිය දී පවා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ ඉල්ලා අස් වීමත්, පොලිස්පති පූජිත් ජයසුන්දරව අනිවාර්ය නිවාඩු යැවීමත් පමණක් සිදු කර ඇඟ බේරා ගැනීමට උත්සාහ දැරූ බව පැහැදිලි ය. එවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය ජනතාවට ජාතික ආරක්ෂාව යනු හමුදා පරීක්ෂා දැඩි කිරීම වැනි එකක් බවට තේරුම් යාම අතිශය සාධාරණ ය.   

සමාජයේ මතුවන ප්‍රකාශ

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ආධාරකරුවන්ගෙන් ඇතැමකුගේ හැසිරීම ඉතාමත් වෛරී ස්වභාවයක් ගත් අතර, සමාජ මාධ්‍ය තුළ එය ඉතාමත් හොඳින් කැපී පෙනිණි. ‘මීගමුවේ ජනතාවට තවත් බෝම්බ ගහන්නයි සහරාන්ලට තිබුණේ’, ‘ජාතික ගීය දැන් ඉතින් සිංහලෙන් පමණයි’, ‘යුද්දෙ අන්තිම කාලෙ ඉතුරු දෙමළු ටිකටත් බෝම්බ දාල ඉවරයක් කරන්නයි තිබුණේ’ වැනි ප්‍රකාශ මේ වන විටත් සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතින්නේ තමන් තුළ කැකෑරෙන අනෙකා සම්බන්ධයෙන් වන වෛරය නිර්ලජ්ජිත ලෙස ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය පළමු කථාවෙන්ම තමන් ජනාධිපති වූයේ සිංහල ඡන්දවලින් පමණක් බව කීමෙන් මේවාට තවත් උත්තේජනයක් සැපයීය. එවැනි තත්ත්වයක් තුළ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂය නියෝජනය කරන නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පවා උතුරේ සහ නැඟෙනහිර බලහත්කාරයෙන් සිංහල ජනතාව පදිංචි කරවීම ජනාධිපතිවරයාගේ පළමු කාර්යය බව පැවසීම එක් අතකට තවත් ජන සංහාරයක මූලාරම්භයක් දැයි සිතෙන තරමේ ප්‍රකාශයකි. එහෙත්, බලය ලබා ගැනීමෙන් පසු මෙවැනි මත ප්‍රකාශ වීම හුදු අහම්බයක් නොවේ. බලය ගැනීමට පෙර සමාජය පෙළගස්වමින් සිටි මතවාදයන් අතර ජාතිවාදය පදනම් කර ගත් ආකල්ප පෙරමුණට ගෙන තිබූ තත්ත්වයක් තුළ තමන්ගේ අනුගාමිකයන්ගෙන් ජාතිවාදී හැසිරීමක් ප්‍රකාශ වීම අතිශය තර්කානුකූල තත්ත්වයකි.

බලයට පැමිණීමට පෙර සිටි මතවාද

ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ දේශපාලන කටයුතුවල දී මූලික සටන් පාඨ කිහිපයක් ඉදිරියට ගනු ලැබී ය. මේ සඳහා ඔවුන්ට සහයෝගය ලබා දුන් තවත් කණ්ඩායම් සහ සංවිධාන ද පෙරමුණ ගෙන කටයුතු කළේ ය. ඒ අතුරින් කිහිපයක් පහත දක්වා තිබේ.

01. ජිනීවා යෝජනා

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම, යුද්ධය පැවැත්වෙන සමයේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂව විදුලි පුටුවට ගෙන යාමට සූදානම් බව, යුද අපරාධ විභාග කිරීම සඳහා විදෙස් අධිකරණයමය මැදිහත්වීමක් සිදු කිරීමට සූදානම් බව මෙසේ එල්ල වූ එක් චෝදනාවකි.

02. වඳ පෙති ප්‍රශ්නය

සිංහල ජනතාව වඳභාවයට පත් කිරීමට මුස්ලිම් ජනතාව විසින් සැලසුම්සහගතව ක්‍රියා කරමින් සිටින බවට දිගින් දිගටම මතයක් රැගෙන ගිය අතර, අම්පාර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව බවට පත් වූයේ ද එම මතවාදයයි. ඉන් පසුව ද විටින් විට මෙවැනි සාකච්ඡා කරළියට පැමිණි අතර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් සිදු නොවන බවත්, ඉක්මනින්ම මේ රට මුස්ලිම් රටක් බවට පත්වීමේ අවදානමක් ඇති බවත් සඳහන් විය.

03. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ කොටි නැඟිටීමේ අවදානම

යුද්ධයෙන් පසු උතුරේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාමාන්‍ය ජනතාව සතු ඉඩම්වල පවත්වාගෙන යන හමුදා කඳවුරු ඉවත් කිරීම, අත්අඩංගුවේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය. එය නැවත ‘කොටි නැඟිටීමකට’ අතවැනීමක් බව හුවා දැක්වී ය.

04. පාස්කු ප්‍රහාරය සහ ඇමෙරිකානු මැදිහත්වීම

මෙම පෙරමුණේ ප්‍රමුඛ ප්‍රකාශකයකු වන උදය ගම්මන්පිල කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ අරමුණ මුස්ලිම් – කතෝලික ගැටුමක් ඇති කරවා ඒ හරහා ලංකාවට ඇමෙරිකාව ගොඩබැස්සවීම බවයි. ඉන් පසුව හලාවත සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල සිදු වූ ගැටුම්වලට හේතුව ද එය බවම ඔහු පැවසී ය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ පසුව ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් මහමොළකරුවන් අත්අඩංගුවට නොගෙන සිටින්නේ එම සැලැස්ම අනාවරණය වීම වැළැක්වීම සඳහා බවට ද ඔහු චෝදනා කළේ ය.

05. වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම් ප්‍රශ්නය

රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ මොහොමඞ් සාෆි විසින් සිංහල බෞද්ධ කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක් කරන්නේ යැයි එල්ල වූ චෝදනාව පාස්කු ප්‍රහාරයෙන් පසුව වැඩිම කතාබහට ලක් වූ සිදුවීම බවට පත් විය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි ද විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර, අතුරලියේ රතන හිමියන් ඇතුළු විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් ද එය සත්‍යයක් බවට දැඩි විශ්වාසයෙන් යුතුව පැවසූහ. ඒ නිසා මුස්ලිම් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සිංහල ජනතාව තුළ විශාල සැකයක් වර්ධනය වූ අතර, වෛද්‍ය විද්‍යාත්මකව එය කෙසේ දැයි පැහැදිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ ඉදිරිපත් නොවීය. ඒ සම්බන්ධයෙන් වූ අනෙක් කරුණ වූයේ සාෆි සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටත්, පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටත් මතයක් ගෙන යාමය.

06. හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලය

නැඟෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ‘ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලය’ නමින් ඉදි වෙමින් පවතින්නේ සම්පූර්ණයෙන්ම ෂරියා නීතිය උගන්වන, ඒ සඳහා මුස්ලිම් විදේශිකයන් මෙරටට ගෙන්වන විශ්වවිද්‍යාලයක් බවට ප්‍රබල උද්ඝෝෂණයක් මතු විය. එවකට නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය දරමින් සිටි එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මෙම විශ්වවිද්‍යාලය ඉදි කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ අතර, සෞදි අරාබියෙන් මේ සඳහා මුදල් ආධාර ද ලැබී ඇති බවට හෙළි විය.

07. සෝෆා සහ ඇක්සා ගිවිසුම්

සෝෆා සහ ඇක්සා ගිවිසුම්වලට වහාම විරුද්ධ විය යුතු ය සහ ඒවා අහෝසි කිරීමට කටයුතු කළ යුතු ය යන මතයේ ගෝඨාභය රාජපක්ෂට හිතවාදී කණ්ඩායම් ද පෙනී සිටි අතර, එවැනි රටට අහිතකර ගිවිසුම්වලට තමන්ගේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම එළඹෙන්නේ නැති බව ද ඔවුහු ඉතා දැඩිව ප්‍රකාශ කර සිටියහ.

08. MCC ගිවිසුම

ජනාධිපතිවරණය ආසන්නයේ දීම කරළියට පැමිණි තවත් ගිවිසුමක් වූයේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම හෙවත් MCC ගිවිසුමයි. මේ මඟින් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විශේෂිත ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරන බවත්, ඒ නිසා ලංකාවට ඉඩම් අක්කර ලක්ෂ දොළහක් අහිමි වන බවත්, එම ආර්ථික කොරිඩෝව තුළ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු නීතිය බවත් පැවසීය.

මෙම චෝදනාවන්ගෙන් ඇතැම් චෝදනා පදනම් විරහිත ඒවා වූ අතර, ඇතැම් ඒවා අර්ධ සත්‍යය මත පදනම් වූ ඒවා ය. ගිවිසුම් සම්බන්ධයෙන් වන චෝදනාවල සැලැකිය යුතු මට්ටමේ සත්‍යතාවක් ද තිබේ. එසේම මේ චෝදනාවන්ට හේතු වූ ඇතැම් දේවල් පසුගිය රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන දැනම සිදු කළ ඒවා බව ද ඉතාමත් පැහැදිලි ය.

ඉදිරි අභියෝග

දැන් චෝදනා කිරීම් අවසන්ය. චෝදනා කළ පිරිස දැන් බලයට පැමිණ ඇත. ඔවුන් පැවසූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත්, මේ කිසිවක් කරන්නට නොදෙන බව ය. ඒ නිසා දැන් අලුත් ජනාධිපතිවරයාට ඇත්තේ අභියෝගයකි.

එක් පසෙකින් නව ජනාධිපතිවරයා, තමන් සිංහල ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කර ඇති බව කීව ද, ඒ සමඟම තමන් සියලුම ජාතිකත්වයන්ට එක සමානව ජනාධිපති බව ද පවසයි. ඒ නිසා සියලු ජාතිකත්වයන් අතර ඇති සැකය දුරු කිරීම නව ජනාධිපතිවරයාගේ වගකීමකි.

ඒ සඳහා මෙතෙක් තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ තුළ එල්ල කළ චෝදනා එකින් එක ප්‍රායෝගිකත්වයට ගෙන ආ යුතු ය. සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවට හානියක් නොවන පරිදි සිංහල ජනතාව වඳ කරන්නට ‘වඳ පෙති’ ගෙන්වන්නේ කවුරුන් ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කර ඔප්පු කළ යුතු ය. එවැන්නක් නොමැති නම් එය ද රට හමුවේ තැබිය යුතු ය. සාෆිගේ වඳ සැත්කම් ප්‍රශ්නය නිරවුල් කළ යුතුය. ෂරියා විශ්වවිද්‍යාලයට කරන්නේ කුමක් ද යන්න පැහැදිලිව රටට පෙන්විය යුතු ය. එසේම ‘සෝෆා’, ‘ඇක්සා’ ගිවිසුම් අහෝසි කරන්නේ ද, එම ගිවිසුම් මඟින් රටට තිබෙන ඇත්ත අවදානම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා ද යන්න හෙළි කළ යුතු ය. MCC  ගිවිසුම පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග පමණක් නොව ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් ද තමන්ගේ ස්ථාවරය කුමක් ද යන්න පැහැදිලි කළ යුතු වේ.

අනෙක් පසින් පසුගිය  ආණ්ඩුවේ දූෂිත ගනුදෙනු, විශේෂයෙන්ම මහ බැංකු කොල්ලය හා සම්බන්ධ ප්‍රධාන චූදිතයා වන අර්ජුන් මහේන්ද්‍රන්, ඊට අනුබල දුන් රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ දේශපාලකයන් මෙන්ම මහමොළකරුවන් සිටින්නේ නම්, ඔවුන්ට ද අදාළ දඬුවම් ලබා දිය යුතුය.

ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ චූදිතයන් නැවතත් සුද්ධවන්තයන් බවට පත් වන්නේ නම්, දූෂිත මිග් ගනුදෙනුව ද ඇතුළු වංචා චෝදනා ලැබූවන් යෙහෙන් වැජඹෙන්නේ නම්, අධිකරණයෙන් මරණ දඬුවම හිමි වූ තම හිතවතුන් නිදහස් කරන්නේ නම්, රනිල් – මෛත්‍රී ආණ්ඩුව කළ පරිදිම දැන් විපක්ෂයේ සිටින, මෙතෙක් පාලකයන්ව සිටි කණ්ඩායම සමග ඩීල් දේශපාලනයට යන්නේ නම් මේ වසර පහ ද මෙතෙක් පැවැති හැත්තෑ එක් වසරේම තවත් දිගුවක් පමණක් වනු ඇත.

අපි බලා සිටින්නෙමු. එහෙත් ‘බොදුබල සේනා’ සංවිධානය විසුරුවන්නට තීරණය කරන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ නිසා මේ සියල්ල විසඳෙන්නේ ය, රට සුඛිත මුදිත වන්නේ ය යන විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය නොදුන් සියයට හතළිස් අටක පමණ මේ රටේ ජනතාවට ද නොමැති බව ද අවධාරණය කළ යුතු වේ.

■             චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

2 × one =