ඒක අධිකාරීත්වය පතුරුවන කතාවක්

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව ජාතිය අමතා කළ කතාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. මෙම කරුණු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දකින්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළෙමු. එම ව්‍යාපාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටු සාමාජික මහාචාර්ය ලියනගේ අමරකීර්ති හමු වී උක්ත කරුණු පිළිබඳව කළ සාකච්ඡාවයි මේ:

■   ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විවිධ අය විවිධ ආකාරවලට විග්‍රහ කරන බව පේනවා. ඔබ මෙම ප්‍රතිඵලය දකින්නේ කොහොම ද?

ජාතික ජන බලවේගය හැටියට අපි මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ, මූලික පදනමක් උඩ. සජිත් ප්‍රේමදාස මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් දෙදෙනා අතුරින් දිනන්නේ කවුරුන් ද කියලා සාපේක්ෂ බැලීමක් අපට තිබුණේ නෑ. අපි ඉදිරිපත් කළ දෘෂ්ටිවාදය ඔය දෙදෙනාටම වෙනස් එකක්. අපි ජනතාව අතරට ඒ මතවාදය ගෙන ගියේ, ඔය දෙන්නා ම එකයි කියන පදනමේ ඉඳලා. ඒ දෙන්නාගෙන්

සාපේක්ෂ කෙනෙක් හොයන්න ගියේ නෑ. අදත් ඒ මතයේ අපි ඉන්නවා. හෙටත් එහෙමයි. අපි ජනතාව අතරට ගෙන ගිය දෘෂ්ටිවාදයට ජනතාව ඡන්දය දීලා නැහැ. ඒ මිස දෘෂ්ටිවාදය පරාද වෙලා නැහැ. අනෙක අපි දැනගෙන හිටියා, ඡන්දයේ දී ඔය දෙන්නාගෙන් කෙනෙක් දිනන බව. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒක. අපි ගෙන ගිය දෘෂ්ටිවාදයට ජනතාවගේ ඡන්දය ලබා ගන්න ඉතා අසීරු බව අපි දන්නවා. මේ මොහොතේ දී ජාතික ජන බලවේගය බලන්නේ, දිනුවේ කවුරුන් ද කියන එකටත් වඩා අපේ ප්‍රතිපත්ති මාලාවට ජනතාව ඡන්දය නොදුන්නේ ඇයි කියන මූලික ප්‍රශ්නය.

■    ප්‍රතිඵල නිකුත් වෙලා දැනට දවස් කීපයයි. ඒ ගැන සම්පූර්ණ විශ්ලේෂණයක් කර ගන්න කල් මඳි නේද?

තවම ඒකට කල් වැඩියි. නමුත්, යම් දළ අදහසක් තියෙනවා. නමුත්, එක දෙයක් හරිම නිශ්චිතව කියන්න පුළුවන්. ඒ බලවේග දෙකටම පරාද කරන්න ඕනෑ ප්‍රතිපත්ති මාලාව තිබෙන්නේ අපි ළඟ. දැනට ඡන්දයෙන් ජයග්‍රහණය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද ගණනින් සජිත් ප්‍රේමදාස මහත්තයාව පරාජය කරන්න ඕනෑ වෙන්න පුළුවන්. හැබැයි, ගුණයෙන්, අන්තර්ගතයෙන් ගත්තාම ඔය දෙන්නාටම පරාජය කරන්න ඕනෑ කරලා තිබුණේ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති.

■    ඔබේ ප්‍රකාශය තව ටිකක් සරලව පැහැදිලි කරන්න.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දවලින් සජිත් ප්‍රේමදාස මහත්තයාව පරාජය කරලා බලය ගන්න ඕනෑ කරලා තිබුණේ. ඒ බලය ගැනීමේ දී බුද්ධිමය වශයෙන්, දෘෂ්ටිවාදීමය වශයෙන්, චින්තනමය වශයෙන් පරාජය කරන්න ඕනෑ කරලා තිබුණේ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව. අපේ මැතිවරණ ව්‍යාපාරයේ දී මුලදීම ඒ බව අපි වටහාගෙන තිබුණා. අපි ගෙන යන බලවේගයේ දුෂ්කරතාවන් ඉතා හොඳින් දැක්කා.

අපි කිසි ම ගමකට ගිහිල්ලා, “සිංහල ජනතාව ලෝක පරිමාණ අනතුරකට මුහුණ දීලා ඉන්නේ. රටේ ජාතික ආරක්‍ෂාව තර්ජනයකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා රටේ පැවැත්ම අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ” වාගේ කිසිම දෙයක් නොවෙයි කිව්වේ. අපි කිව්වේ, “රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරලා තියෙන්නේ. අන්තවාදී කොටස් කොයි පැත්තේ හිටියත්, මෙල්ල කරලා තියෙන්නේ. සමහර අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන” කියලා. හැබැයි, අපිට වැදගත්ම අභියෝගය තියෙන්නේ, මේ රටේ ඉන්න සියලුම ජන කොටස් අන්තවාදය දිහාට තල්ලු නොවී ශ්‍රී ලාංකික එක්සත් බව, සමඟිය, යුක්තිය, ආර්ථික වර්ධනය වාගේ දේවල් සියලු ජන කණ්ඩායම් අතර බෙදා ගැනීම. ආගමික ජන කණ්ඩායම් පොදු අනන්‍යතාවක් යටතේ ඒකරාශී කර තියා ගන්නේ කොහොම ද කියන එක වගේ ප්‍රමුඛතා. එහෙ ම අභියෝගයක් අපි හමුවේ තිබෙන බවයි ජනතාවට කිව්වේ.

කොටින් ම අපේ පණිවුඩය ජනයා බලමුළුගන්වන, ජනයා අතර සහයෝගීතාව ඇති කරන, සියලු ජනවර්ග එකතු කරන සහ එක්සත් කරන පණිවුඩයක්. නමුත්, ඔය ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයත් ඔහුට සහයෝගය දක්වපු පුවත් පත්, රූපවාහිනී නාළිකා, භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාම කළේ ජනවර්ග සහ ආගම් අනුව ජනයා බෙදන ව්‍යාපෘතියක්. මැතිවරණ ප්‍රතිඵලයෙන් හොඳට පැහැදිලි වෙන්නේ, ඔය දෙන්නා පොදුවේ ගෙන ගිය පණිවුඩ දෙකෙන්. ජනතාව ජනවාර්ගික රේඛාවක් ඔස්සේ බෙදන දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණයක්ය. අපි දකින්නේ, මැතිවරණයක් වශයෙන් ඒ ගොල්ලන්ට ඒක ජයක්. හැබැයි, රටක් වශයෙන් ගත්තාම අපි කාටත් පරාජයක්.

■     කාටත් පරාජයක් නම්, කවුරුත් දිනන ක්‍රමයකුත් තියෙන්න ඕනෑ නේද?

අන්න එතැනයි අපේ වගකීම තියෙන්නේ. ඉතාම කෙටි කාලයක් ඇතුළත ජනතාව එකතු කරන, ජනතාව අතර සහෝදරත්වයට ආමන්ත්‍රණය කරන, විවිධ ජන කොටස් එකතු කරන, උතුර, දකුණ එකම පුරවැසි සමාජයක් ඇතුළට ගන්න දේශපාලන ව්‍යාපාරයක් විදියට වඩාත් සක්‍රිය වෙන්න ඕනෑ. ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී කර ගන්න ක්‍රියාමාර්ගවල අඛණ්ඩව නිරත විය යුතුයි. ඇත්තට ම කියනවා නම්, ජනතාවට ආපහු හැරිලා බලන්න තියෙන්නේ ජාතික ජන බලවේගය ව්‍යාපාරය විතරයි. මේ ව්‍යාපාරය ගොඩනඟා තිබීම ඒ වෙනුවෙන් සෑහෙන තරමේ ජයග්‍රහණයක්.

ඒ වගේම බලන්න ඕනෑ, අපේ පණිවිඩය වඩා හොඳින් ජනයා අතරට අරන් යන්නේ කොහොමද කියලා. සමාජයේ කුමන කොටස්වලට ද ඒ පණිවිඩය වැඩියෙන් කියන්න ඕනෑ. උදාහරණයකට ඔය පණිවිඩය නාගරික උගත් මධ්‍යම පන්තිකයන් අතරට ගෙන යන්න ලේසියි. එහෙම නම්, ග්‍රාමීය ජනයාට කියන්නේ කොහොම ද,  මොන වගේ වචන පාවිච්චි කරලද කියන්නේ , මොන වගේ සන්නිවේදන උපක්‍රම ද පාවිච්චි කරන්නේ , වගේ කරුණු ගැන ගැඹුරින් කල්පනා කරන්න වෙනවා.

■    වෙනත් මැතිවරණවලින් ජය ගන්න වපුරන ප්‍රචාර එතැනින් ඉස්සරහට ගෙන යන්න බලන්නේ අඩුවෙන්. හැබැයි, මෙවර සිංහල අන්තවාදය දිගින් දිගටම ගෙන යන බවක් පේනවා. මේ සම්බන්ධයෙන් ඔබේ නිරීක්ෂණ කොහොමද?

මම ඉස්සෙල්ලා කිව්ව විදියටම ජනතාව ආගමික රේඛාවක් ඔස්සේ හෝ ජනවාර්ගික රේඛාවක් ඔස්සේ හෝ බෙදන දේශපාලන දෘෂ්ටිවාදයම තමයි, ඔය ක්‍රියාත්මක වෙන්නේ. ඒ දෘෂ්ටිවාදයක් කියන්නේ, දිගටම නඩත්තු කරගෙන යන එකක්. ඒ ගොල්ලන්ගේ උපක්‍රමය තීරණය වෙන්නේ ඡන්ද ප්‍රතිඵලය දිහා බලලා. ඒ අනුව අපි හිතමුකෝ දෙමළ සහ සිංහල අය එකතු කරන්න ඕනෑ කියලා. අන්න එතකොට තෝරන්නේ ඒ දෙගොල්ලන්ටම පොදු සතුරෙක් මවලා පෙන්වන එක.

“අන්න මුස්ලිම් මිනිහා එනවා. ඒ නිසා එකතු වෙමු” කියලා ගෙනයනවා. ඊ ළඟට මුස්ලිම් හා සිංහල අතර එකඟ බව ඇති කරන්න ඕනෑ නම්, “අන්න දෙමළ” කියලා පෙන්වන්න පුළුවන්. ඒ විදියට එක එක වෙලාවට එක එක සතුරන්, ද්‍රෝහීන් නිර්මාණය කරනවා. අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදියාත් ද්‍රෝහියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත් නම්, විචාරාත්මක චින්තකයන්, කලාකාරයන්, විදේශිකයන්, යම් ආගමික කණ්ඩායමක් වාගේ ඕනෑම කෙනෙක් ද්‍රෝහියෙක් කරන්න පුළුවන්.

රටට, ජාතියට, ආගමට තර්ජනයක් තියෙන බව කිව්වාට පස්සේ ඒ තර්ජනය එල්ල කරන කෙනා පෙන්වන්න වෙනවා නේ. එක්කෙනෙක් පෙන්නුවාම ඊට ප්‍රතිවිරෝධීව අපි එතැනින් තර්ජනයක් නැති බව ඔප්පු කළාට පසු තව කෙනෙක් පෙන්වනවා. ඉදිරියට පාලනය ගෙන යන්න ඉඩ තියෙන්නේ ඔය මාර්ගයේ. මැතිවරණයෙන් පස්සෙත් ඉතාම අශිෂ්ට ප්‍රචාර සමාජ මාධ්‍යවල පළකරන එකෙන් බලයට පත්ව ඉන්න දෘෂ්ටිවාදී ව්‍යාපෘතියේ ස්වභාවය හෙළිදරව් කරනවා. ‘මීගමුවට බෝම්බ ගහලා මඳි’ කියලා ඉතා තදබල අන්තවාදී මතයක් දැම්මාම, ඒක අශිෂ්ට ප්‍රකාශයක් බව කියන්නත් විශාල පිරිසක් ඉන්නවා. එහෙම කියන හැමෝ ම ජාතික ජන බලවේගයට

ඡන්දය දුන්න අය නොවෙන්න පුළුවන්. මේ ආණ්ඩුව දවස් දෙකට කරලා තියෙන සමහර දේවල් පවා අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා, ඝට්ටන, ඉරිතැළීම්වලට තුඩු දෙන ඒවා බව කාටත් පේන සත්‍යයක්.

■     නව ජනාධිපතිවරයා දිවුරුම් දී කළ කතාව ගැන දේශීය, විදේශීය මාධ්‍යවල අවධානය යොමු වී තිබෙනවා. මේ කතාව ගැන ඔබට තිබෙන විග්‍රහය මොන වගේ ද?

අතීතයේ පත් වූ ජනාධිපතිවරුන් කතා කළ ස්වරූපය නොවෙයි, මේ කතාවේ තියෙන්නේ. බොහො ම නිලධාරී කතා ශෛලියක් තියෙන්නේ. දේශපාලන ස්වරයෙන් කළ කතාවක් නොවෙයි. ජනතා හදවත්වලට ආමන්ත්‍රණය කර එක්සත් කරන්න කතා කිරීමක් පෙර නායකයන් කළේ. උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර භේදයක් නොපෙනෙන කතාවක් ඔවුන් කළේ. “ඡන්දය දුන්නු, නොදුන්නු කාගේත් ජනාධිපති මම.” කියලා අලුත් ජනාධිපති  කිව්වා. ඒක ඇත්ත. හැබැයි, ඊට කලින් කිව්වේ මොකක් ද? එයා දැනගෙන හිටියා කියලා, සිංහල ජනතාවගේ ඡන්දවලින් විතරක් දිනන්න පුළුවන් කියලා.

දිවුරුම් දෙන උත්සවයේ දී හිතේ තිබුණත්, එහෙම කියන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා කියන්නේ, ලංකාවේ අනාගතය ගැන ටිකක් බිය ඇති කරන කතාවක්. මෙතැන නොකියා කිව්වේ, “අනෙක් අයව නොසලකා හරින්නත්, ඕනෑ නම් මට පුළුවන්” කියන දේ. මේ ප්‍රකාශය තර්ජනයක් කියලා ඇඟවීමක් වෙන්නත් පුළුවන්. ඒ කතාවේ විශේෂයෙන් මගේ අවධානයට යොමු වුණේ ඒ වාගේ කොටස්.

එහෙම නැතිව “මා සම්බන්ධයෙන් විශාල භයක් සමාජයේ තියෙනවා වෙන්න පුළුවන්. මම ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටිය කාලේ සිද්ධ වුණු සමහර දේවල් නිසා. ඒවාට මා වගකිව යුතු නැති වුණත්, මා ගැන භයක් තියෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් මට ඡන්දය නොදුන්නේ. ඒ අයට මම කියන්නේ. භය වෙන්න අවශ්‍ය නෑ. මම අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න යන්නේ. ඔබත් මාත් එක්ක එකතු වෙන්න” කියලා නේ කියන්න ඕනෑ. එහෙම කිසි දෙයක් නොකර අධිකාරීත්වය පැතිරුවා. දැන් රාජ්‍ය නාළිකාත් ඔය කියන්නේ ඒ කතාවම නේ.

හැබැයි, මෙයා කිව්වේ, “මට ඡන්දය දුන්නේ නෑ. ටිකක් භය වෙලා ඉන්න එක හොඳයි” වගේ කතාවක්. සිංහල ජාතිවාදීන් ඒ කතාව හරියට අගය කරලාත් තිබුණා. ඒ අගය කිරීමේ එක්තරා තීරණාත්මක අවස්ථාවක් හැටියට හිටපු හමුදා නිලධාරියෙක් ආයෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බවට පත් කළා. ඒකෙනුත්, අපට පෙන්වන ඉඟි තියෙනවා. ආරක්ෂණවාදී පාලනයක් ගොඩනඟන ලක්ෂණ ඒ තුළින් අපි දැක්කා.

■     සමාජයක් හැටියට ගත්තාම ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ප්‍රචාර ගෙන ගියේ ඡන්දදායකයා බය කර ඡන්දය ගන්න. ජාතිය අමතා කළ කතාව තුළ ඒ මහජන බය දිගටම නඩත්තු කිරීමේ බාහිර කවයක් අතට ගන්න උත්සාහයක යෙදුණු බවක් පේනවා නේද?

විවිධ කණ්ඩායම් මේ වාගේ මාතෘකා විවිධ පුද්ගල කේන්ද්‍රීය අභිලාෂයන් වෙනුවෙන් යොදා ගත්ත බව අපි දන්නවා. බාහිරින් ඉන්න අය අතුරින් ඒ වගේ අය දකින්න පුළුවන්. ඒ අතර, අලුත් ජනාධිපති කතා කරන ස්වරූපය තුළ දරදඬුකමක් තියෙනවා නේ. අන්න ඒ තත්ත්වය ටිකක් හොඳට සැලසුම් කරලා ඒ සැලසුමට අනුවම හොඳින් සැලසුම් කළ බව පේනවා. ඊ ළඟට එන ආණ්ඩුවේ තියෙන ස්වරූපය ඒ කතාවේ ස්වරයේ ම තියෙනවා. ඒ කියන්නේ, ‘නිවේදනාත්මක’ එකක්. “ඔයගොල්ලො කවුද කියන එක මම දන්නවා. ඒක මගේ පළමුවැනි කතාවෙන්ම නිවේදනය කරනවා” වගේ ස්වරූපයක් තියෙන්නේ. මහාචාර්ය නලින් ද සිල්වා එහෙ ම ඒක හරියට අගය කරලා තිබුණා. මම දකින ප්‍රධාන දේ මෙන්න මේ අය තෘප්තිමත් කරන්න ඒ කතාව සැලසුම් කර තිබීමයි. මහාචාර්ය නලින් ද සිල්වා කියා තිබුණේ,

“බය නැතුව සිංහලයන් වෙනුවෙන් කතා කළා” කියලා. ඔහු ඒක අගය කරලා තිබුණේ, “සුළු ජාතීන්ට යම් සංඥාවක් නිකුත් කළා” කියන අර්ථයෙන්. සුළු ජාතික දේශපාලන නායකයන්ට, සුළු ජාතික කණ්ඩායම්වලට ඉඟියක් වෙන්න පුළුවන්. “දැන් එකම ගැලවීම අපිත් එක්ක එකතු වීම” වගේ දේකින් නලින් ද සිල්වලා වගේ අය භාර ගන්න ඇති. සල්ලිවලට පැති මාරු කරලා හෝ පාර්ලිමේන්තුවේ බල හුවමාරුවකට යන තත්ත්වයක් දකින්න පුළුවන්.

මේ බව මැතිවරණ ව්‍යාපාරය තුළ ගෝඨාභය කඳවුරේ ඉන්න මුස්ලිම් ජාතික නීතිඥවරයකුගෙන් අපි දැක්කා. මුස්ලිම් පිරිසකට ඔහු කියා තිබුණේ, “ගෝඨාභයට ඡන්දය දුන්නේ නැත් නම්, ඒකේ පලවිපාක විඳින්න වෙයි” කියලා. මෙතැන ජාතිය අමතා කළ කතාවේ තියෙන්නේ, ඒ පණිවුඩයේ දිගුවක්. ඔය තත්ත්වය සුළු ජාතිකයන් සම්බන්ධයෙන් ඉදිරියට පවත්වාගෙන යන්න නියමිත බවයි, මම දකින්නේ.

■     රට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන හිතන්නේ කොහොම ද?

සංවර්ධනය කියලා ඒ ගොල්ලො විශ්වාස කරන ව්‍යාපෘති සම්බන්ධයෙනුත් කලින් පැහැදිලි කළ ආකල්පයම පවත්වාගෙන යයි. ඒ ගොල්ලෝ ව්‍යාපෘතිය තීරණය කරනවා. ඊට අනුගත නොවන අයට ප්‍රතිචාරය ගැන දකින්න පුළුවන්. ඉස්සරහට මොක ද වෙන්නේ කියලා අපට බලන්න පුළුවන්. ඔය වගේ තත්ත්වයක් හමුවේ අපේ වගකීම පසුබසින එකවත්, ජාතිවාදයට එක් වන එකවත්, සුළු ජාතිකත්වයන් ප්‍රශ්න කරන එකවත් නොවෙයි. ජාතික ජන බලවේගයට ඒවා අදාළ නෑ. අපේ ප්‍රතිපත්ති මාලාවේ තිබුණු සාරගර්භ බව ඒ විදියටම, පුළුවන් තරම් හොඳින් ජනතාවට නිවේදනය කරන්න ඕනෑ.

■     යහපත වෙනුවෙන් විධායක ජනාධිපති බලතල පාවිච්චි කරන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැති බවත් කිව්වා. මේ ප්‍රකාශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ‘ඔක්තෝබර් 26’ කුමන්ත්‍රණය මතක් වෙනවා කීවොත් හරි ද?

මම විධායක බලය පාවිච්චි කරන්න පැකිළෙන්නේ නෑ කීම තුළ ඡන්ද බලයට අමතරව තියෙන විශාල දෘෂ්ටිවාදී බලය නඩත්තු කිරීමක් දකින්න පුළුවන්. ඔවුන් කරන කියන හැමදේම නිවැරදියි කියලා තහවුරු කරනවා. ඒ දෘෂ්ටිවාදය නඩත්තු කරන්නත් ටී.වී. නාළිකා තියෙනවා නේ. ‘යහපත’ කියන දේ නිර්වචනය කිරීමේ සම්පූර්ණ බලය එන්නේ පාලකයන්ට. ‘යහපත මොකක් ද?’ කියලා සංවාදාත්මකව නිර්වචනය කරන්න ඉඩක් නෑ. සම්පූර්ණ කතිකාමය බලය තියෙන්නේ එයාලාට. විධායක ජනාධිපති හැටියට තියෙන බලය “රටේ යහපත වෙනුවෙන් පාවිච්චි කරනවා”ය කියලා කියන්නේ.

මම අර කලින් කිව්වෙත් ඒකයි. ඒ ගොල්ලන්ගේ සංවර්ධන ව්‍යාපෘති. ඒ ගොල්ලන්ගේ සියලුම රාජ්‍ය වැඩකටයුතුවල චර්යාව ඒ වාක්‍යයෙන් නිරූපණය වෙනවා. “යහපත කියන්නේ මොකක් ද කියලා අපි දන්නවා. ඒක අපි භය නැතුව ක්‍රියාත්මක කරනවා. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න” වගේ දෙයක් තියෙන්නේ. ඔහු ඒක කියන්නේ, දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධායක බලතල කොච්චර තියෙනවා ද කියලත් නොසලකා. විධායක බලතල විශාල වශයෙන් අඩු වුණු ජනාධිපතිවරයෙක් කියන දේ නොපෙන්නා ඉන්න උත්සාහ කළා. ඒ නිසා නිශ්චිත ක්‍රියාමාර්ග ගන්න ගියාම සමහර විට ව්‍යවස්ථාව හරහට හිටීවි. සමහර විට ඒ ගොල්ලෝ ආපහු දහඅටට යයි. ‘රාජ්‍යයේ යහපත‘ කියලා විශ්වාස කරන දේ වෙනුවෙන් විධායක බලතල යොදන්න නම් දහනවයට කලින් තිබුණු ව්‍යවස්ථාව ඕනෑ. සමහර විට මේ ගොල්ලෝ ජේ. ආර්.ගේ ව්‍යවස්ථාව තරම් ම බලවත් එකක් හදන්න පුළුවන්. ඔබ ඔය මතු කළේ ඒ කතාවේ තිබුණු බරපතළ වාක්‍යයක් තමයි.

■     මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය හැටියට ජනතාවට දෙන්න යම් පණිවුඩයක් තිබෙනවා ද?

ජාතික ජන බලවේගයට මීට වඩා ඡන්ද ලැබෙයි කියලා හිතුවා නේ. ඡන්දවලින් ප්‍රකාශ නොවුණත්, ජාතික ජන බලවේගය වටා විශාල ජනතාවක් එකතු වුණා. ඒ ජනතාවට අපි ස්තුති කරනවා. අපේ මැතිවරණ ව්‍යාපාරය බොහොම සජීවී එකක් කරන්න ජනතාව බොහොම දායක වුණා. ඉන් සමහර දෙනෙක් අපට ඡන්ද නොදෙන්න ඇති. ඒ අයටත් ස්තුති කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ සියලු කණ්ඩායම්වලට කියන්නේ, අනාගතයේ දී ජනතාවට මේ ජනාධිපතිවරයා යටතේම ආපසු හැරෙන්න තියෙන ශක්තිමත්ම බලවේගය හැටියට කටයුතු කරමු කියලා. ඒ නිසා අපි මේ දුෂ්කර අවස්ථාවේ දී නින්දා, අපහාස විඳගෙන අපි එකට ඉමු කියන යෝජනාව කරන්න ඕනෑ.

■  සංවාද සටහන – ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

13 + eleven =