අපි ජනතාව වෙනුවෙන් දිගටම කටයුතු කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික
කේ.ඩී. ලාල්කාන්ත

සිංහල බෞද්ධ ජනතාවගෙන් අති බහුතරයකට තමන්ගේ ජාතියට හා ආගමට හානියක් වෙමින් එනවා කියා බියක් තිබුණා. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තෝරා ගත්තේ එයට උත්තරයක් විදිහටයි. දෙමළ හා මුස්ලිම් සමාජයේ බහුතරයකට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවොත් ඔවුන්ට හානියක් වේ යැයි බියක් තිබුණා. ඒ නිසා ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්මයා තෝරා ගත්තා. මේ කාරණය හරිම සරලයි.

පසුගිය ඡන්ද ප්‍රතිඵලය ගැන ඔබ සෑහීමකට පත් වෙනවා ද?
සෑහීමකට පත්වෙන්නේ නැහැ. ප්‍රමාණවත් නැහැ. මීට වඩා ඡන්ද ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා. නමුත් ලැබී නැහැ. එය රටේ මේ මොහොතේ තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික තත්ත්වය මත සිදු වී ඇති දෙයක්.
සෑමදාම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැලිවලට එන විශාල සෙනඟ ප්‍රමාණය මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදෙන්නේ ඇයි ?
ඔවුන්ට රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න ඕනෑකමක් තිබෙනවා. අපට සිතිය හැක්කේ ඔවුන් ඒවා දැනගෙන තමන්ට රිසි පරිදි ඡන්දය පාවිච්චි කරනවා කියලයි.
සංවිධාන තිස්දෙකක් ජාතික ජන බලවේගයට එකතු වුණත්, ඔවුන් එයට ඡන්දය දී නැහැ නේද?
සංවිධාන වශයෙන් ඡන්දය දුන්නා ද නැද්ද කියලා බලන්න බැහැ. ඡන්දය දීපු ප්‍රමාණය භාර ගන්නවා මිසක් මේ වගේ වෙලාවක ඒ සංවිධාන ඡන්දය දුන්නා ද නැද්ද කියලා කලබල තීරණ ගන්න යන එක හොඳ වැඩක් නොවෙයි.
ඡන්දයකට පස්සේ මාධ්‍යයෙන් මෙහෙම ප්‍රශ්න අහනවා. ඔබලාත් පිළිතුරු දෙනවා. නමුත් ඒකෙන් කිසිම වැඩක් වෙලා නැහැ නේද?
වැඩක් වෙලා තිබෙනවා. ඡන්දය අවසන් වන විට රටේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි අපේ දේශපාලන මතය අප ගෙන ගොස් තිබෙනවා. එහි බලපෑමක් බලයට එන ඕනෑම කෙනෙකුට තිබෙනවා. එසේ ම සමාජයේ ප්‍රබල මතයක් ගොඩනැඟීමේ ආරම්භයක් මෙයින් සකස් වුණා. අනාගතයේ එහි හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
දැන් සමාජය තුළ අලුතින්ම කතාබහට ලක් වන්නේ ජනාධිපතිවරණයක දී ලබා ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර ඔබලා ලබා ගත් බවයි. නමුත්, වෙන කවරදාටත් වඩා ඔබලාගේ
රැස්වීම්වල මෙවර සෙනඟ හිටියා නේද?
ගෝල්ෆේස් රැලියේ නම් විශාල සෙනඟක් හිටියා. අනෙක් සෑම රැලියකම විශාල සෙනඟක් හිටියා කියලා කියන්න බැහැ. මීට වඩා සෙනඟ සිටි අවධීන් අප දැක තිබෙනවා. එසේම ඉතිහාසයේ වෙනත් වෙනත් අවස්ථාවන් සමඟ මේ අලුත් තත්ත්වය සංසන්දනය කරන එක කිසිම තේරුමක් නැහැ. එම සංසන්දන අවිද්‍යාත්මකයි.
ඔබලා රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් උද්ඝෝෂණ කරලා, ඔවුන්ට රැකියා ලබා දීමට සිදුවන තැනට ඒ ඒ රජයන් පෙළඹවූවා. ජනතාවගෙන්
බැනුම් අසමින් රජයේ සේවකයන් වෙනුවෙන් උද්ඝෝෂණ කරලා ඔවුන්ගේ වැටුප් වැඩි කර දුන්නා. නමුත් ඒ අය කළගුණ සලකලා නැහැ නේද?
එක එක්කෙනාට වෙන වෙනම කරපු උදව්වලට කළගුණ සලකන්න යනවා නම් වැඩියෙන්ම කළගුණ සලකන්න ඕන මෙච්චර කල් මේ රට ආණ්ඩු කරපු පක්ෂවලට නේ. ඉඩම් බෙදලා තිබෙන්නේ, වතුර බෙදලා තිබෙන්නේ, විදුලිය බෙදලා තිබෙන්නේ කවුරු උද්ඝෝෂණ කළත්, අවසානයේ රැකියා දී තිබෙන්නේත්, කවුරු සටන් කළත් අවසානයේ පඩි වැඩි කර තිබෙන්නේත් ඒ අයයි. එසේ දෙන දේවල් මත දේශපාලනය තීන්දු වෙන්නේ නැහැ.
මේ දේවල් ගැන ජනතාව දැනුවත්භාවයක් නැද්ද?
දැනුවත්භාවයක් තිබෙනවා. නමුත් ජනතාව දේශපාලන තීන්දු ගන්නේ දැනුවත්භාවයට වඩා ඇතැම් ප්‍රබල සාධකවල බලපෑම නිසයි.
ඔබ හිතන විදිහට මෙවර ඔවුන් මේ තීන්දුව ගන්න ඇත්තේ කුමන සාධක මත ද?
සිංහල බෞද්ධ ජනතාවගෙන් අති බහුතරයකට තමන්ගේ ජාතියට හා ආගමට හානියක් වෙමින් එනවා කියා බියක් තිබුණා. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තෝරා ගත්තේ එයට උත්තරයක් විදිහටයි. දෙමළ හා මුස්ලිම් සමාජයේ බහුතරයකට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවොත් ඔවුන්ට හානියක් වේ යැයි බියක් තිබුණා. ඒ නිසා ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්මයා තෝරා ගත්තා. මේ කාරණය හරිම සරලයි.
පවතින තත්ත්වය යටතේ ඔබලාගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?
ඉදිරියටත් සිදුවන්නේ අප ජනතාවට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මත පිහිටා මැතිවරණවලට ඉදිරිපත් වීම හා එම ප්‍රතිපත්ති මත ශක්තිමත්ව පිහිටා ජනතාවගේ පැත්තෙන් සිතා දිගටම කටයුතු කිරීමයි.

සටහන – පද්මා වේරගොඩ ආරච්චි

Leave A Reply

Your email address will not be published.

four × 3 =