පළමු ප්‍රහාරය ස්වාධීන කොමිෂන්වලට ද?

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කණකොකා හැඬුවේ 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී තිබුණු සභික ධුර වෙනුවෙන් පත් කිරීම් සිදු නොකළ ජනාධිපතිවරයා එය අක්‍රිය තත්ත්වයට පත් කළේ ය. ඉන් අනතුරුව 2010දී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා ඒ වෙනුවට ‘පාර්ලිමේන්තු සභාව’ නමින් හැඳින්වුණු නව ආයතනයක් පිහිටුවන ලදී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කර ඉදිරි කටයුතු කරගෙන යන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යවලට පැවසී ය.

19වන සංශෝධනයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති කර තිබෙන බව ද ඔහු පැවසී ය. පසුගිය වසර පහක පමණ කාලයේ රට තුළ පැවැති අස්ථාවර තත්ත්වයට හේතුව 19වන සංශෝධනය යැයි කෙනකුට බැලූ බැල්මට පෙනුණ ද, ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත් වූ මීට පෙර අවස්ථාවල දී ද මෙවැනි ම අස්ථාවර තත්ත්වයක් ඇති විය. 2001 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයගෙන ආණ්ඩුවක් පිහිටුවන විට ජනාධිපති ධුරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. ඇය විසින් 2003 නොවැම්බර් මාසයේ දී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යාංශ තුනක් පවරා ගනිමින් නිර්මාණය කරනු ලැබූ තත්ත්වය අවසන් වූයේ 2004දී හදිසි මහ මැතිවරණයක් පවත්වා එකී ආණ්ඩුව පරාජය කිරීමෙනි. එවකට ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුව අභිබවා ගිය අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති අද මෙන් වසර හතරහමාරක් බලා සිටිය යුතු වූයේ නැත.

මේ පිළිබඳව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් මෙසේ පැහැදිලි කර තිබේ. “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබිණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70වන වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලුත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.” (උපුටා ගැනීම: කලම්බු ටෙලිග්‍රාෆ්)

19වන සංශෝධනය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහු රටේ ජනාධිපති බවට පත් කිරීමට අදහස් කරන්නේ යැයි කියන ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ යන දෙදෙනාට ඍජුව බලපාන ගැටලුවක් ඇති කරන ලද බව ඇත්තකි. පුද්ගලයන් ඉලක්ක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම යහපත් තත්ත්වයක් නොවන මුත්, ශ්‍රී ලංකාවේ එවැනි ආණ්ඩුක්‍රම සංශෝධන සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහින්ද රාජපක්ෂ තමන් වෙනුවෙන් තුන්වන වරටත් ජනාධිපති පදවියට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය කර ගත්තේ ය. ඔහු 2015 ජනාධිපතිවරණයට තරග කළේ ඒ අනුව ය. එහෙත්, ඔහු පරාජය විය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව දෙවරක් පත් වූ ජනාධිපතිවරයකුට නැවත ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි ය. එසේ ම, ජනාධිපති ධුර කාලය ද වසර හයක සිට පහ දක්වා අඩු කරන ලදී.

එසේ ම, ජනාධිපති ධුරය සඳහා තරග කිරීමේ අවම වයස අවුරුදු 35 දක්වා වැඩි කිරීම හේතුවෙන් නාමල් රාජපක්ෂට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි විය.

ඊට අමතරව, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන ලදී. එමඟින් අගමැතිවරයා වඩා බලවත් වූ අතර, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා පාර්ලිමේන්තුව අවම වශයෙන් වසර 4 1/2ක් කල් පැවතිය යුතු විය. ජනාධිපතිවරයාට හිතුමතේ අගමැති පත් කළ නොහැකි අතර, අග්‍රමාත්‍ය ධුරයට පත් විය හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් ඇති මන්ත්‍රීවරයාට ය.

මේ කිසිවක් අවුල්සහගත නැත. රූකඩ, බලය නැති අගමැතිවරුන් පත් වන ඉතිහාසය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් වෙනස් විය.

එහෙත්, මේ කිසිවක් වර්තමානයේ දී මහින්ද රාජපක්ෂට අභියෝග වන්නේ නැත. එහෙත්, අභියෝගාත්මක දේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබේ. ස්වාධීන කොමිෂන් සභා ඒ අතුරින් ප්‍රධාන ය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කරන ලද වෙනස්කම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මාලදිවයින් පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවේ දී පැහැදිලි කළේ මෙසේ ය:

“19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පූර්ණත්වයට ආසන්න නීති මුක්තියක් තිබුණා. එය ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සීමා කළා. ඒ අනුව, මූලික හිමිකම් අධිකරණය බලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරයාගේ නිල කටයුතු පරීක්ෂා කළ හැකියි. 2018දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද මෙම විධිවිධානය යටතේයි.

“19වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය  වුණේ පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයන් නිසායි. නිදසුනක් ලෙස, 2013දී එවකට අග්‍රවිනිශ්චයකාර වූ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරනු ලැබුවේ විධිමත් දෝෂාභියෝග ක්‍රියාවලියකින් තොරවයි. ඒ හා සමානව, රාජ්‍ය සේවය සහ පොලිසිය දේශපාලනීකරණය ද ඉහළ ගියා. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා පිහිටු වීමෙන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා. එම ස්වාධීන කොමිෂන් සභා වන්නේ,

  1.  ස්වාධීන අධිකරණ සේවා කොමිසම
  2.  ස්වාධීන පොලිස් කොමිසම
  3.  ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම
  4.  මැතිවරණ කොමිසම
  5.  මූල්‍ය කොමිසම
  6. ජාතික විගණන කොමිසම

“මෙම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින්. අග්‍රවිනිශ්චයකාරවරයාගේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ ද, පොලිස්පතිවරයාගේ සහ නීතිපතිවරයාගේ ද පත්කිරීම් අනුමත කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. වර්තමානයේ දී ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන නම් විකල්ප නිර්දේශ සමඟ ඔහු වෙත ආපසු යැවීමේ හැකියාව ව්‍යවස්ථාදායක සභාවට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්නේ කතානායක, අගමැති, විපක්ෂ නායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයකු සහ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනකුගෙනුයි.

“ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වා දීම මඟින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු ශක්තිමත් කරනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් පිහිටුවනු ලැබුවා. එමඟින් පාර්ලිමේන්තුවේ සම්මත වන නීති යෙදැවෙන ආකාරය, විශ්ලේෂණය, තක්සේරුව හා අගැයීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඵලදායීතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට උපකාර කරනවා. සියලු පනත්, යෝජනා සම්මතයන්, ගිවිසුම් සහ වාර්තා පාර්ලිමේන්තුව විසින් සලකා බැලීමට පෙර අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ.” (උපුටා ගැනීම: ප්‍රජා වෙබ් අඩවිය)

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභ්‍යන්තර මූලධර්ම අතුරින් එකක් වන ‘ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මූලික හිමිකමක් බවට පත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ 2001 වසරේ දී සියලු පක්ෂවල එකඟතාවෙන් සම්මත කර ගන්නා ලද 17වන සංශෝධනයෙනි. එහි අරමුණ ම වූයේ රාජ්‍ය සේවයේ, අධිකරණ සේවයේ සහ පොලිස් සේවයේ ඉහළ නිලවලට පත් කිරීම් කිරීමේ දී ජනාධිපතිවරුන් විසින් සිදු කරන ලද අත්තනෝමතික ක්‍රියා වැළැක්වීමයි.

එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වූයේ අගමැතිවරයා, කතානායකවරයා (සභාපති) විපක්ෂ නායකවරයා, ඔවුන් විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සිවිල් සමාජ නියෝජිතයන් පස්දෙනෙක් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ විසින් නම් කරනු ලබන නියෝජිතයෙකු වශයෙන් සාමාජිකයන් 10දෙනෙකුගෙනි. එහි සාමාජිකයන් හත් දෙනකු ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සිවිල් සමාජ නායකයෝ වූහ.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කණකොකා හැඬුවේ 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු වී තිබුණු සභික ධුර වෙනුවෙන් පත් කිරීම් සිදු නොකළ ජනාධිපතිවරයා එය අක්‍රිය තත්ත්වයට පත් කළේ ය. ඉන් අනතුරුව 2010දී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර දමා ඒ වෙනුවට ‘පාර්ලිමේන්තු සභාව’ නමින් හැඳින්වුණු නව ආයතනයක් පිහිටුවන ලදී. එය සමන්විත වූයේ අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් දෙදෙනෙකු වශයෙන් පස්දෙනෙකුගෙනි. ස්වාධීන සිවිල් සමාජ නියෝජනය සම්පූර්ණයෙන් ම ඉවත් කරන ලදී. ‘ගෙදර යන ගමන්’ ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීමක් ද රැගෙන යා හැකි තත්ත්වයක් නැවත ස්ථාපිත වූයේ ඒ සමඟ ය.

බොහෝ විට ලංකාව ආපසු එතැනට රැගෙන යාමට වත්මන් පාලකයන්ට වුවමනාව තිබිය හැකි ය.

■ අජිත් පැරකුම් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

eighteen + 2 =