යහපත් සමාජයක් උදෙසා ආකල්පමය වෙනස් වීමක අවශ්‍යතාව…

කොරෝනා වසංගතය ඔස්සේ අප වෙත නිකුත් වූ ප්‍රධානම පණිවුඩය වන්නේ රටක් වශයෙන් අප සතු කර ගත යුතු ආකල්පමය වෙනසයි. ‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ යන සාම්ප්‍රදායික පාඨය මෙහි දී  අපගේ සිහියට නැඟේ. කොරෝනා වසංගතය හමුවේ සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ එකම කාරණා යළි යළිත් ප්‍රකාශ කිරීමට සිදු වූයේ අප තුළ පවතින ආකල්පමය දුගීභාවය හේතුවෙනි.

‘ඉන්දියානු සාගරයේ මුතු ඇටය’ ලෙස විරුදාවලිය ලබා ඇත්තේ, ශ්‍රී ලංකාව රටක් වශයෙන් ගත් කල වැදගත් ප්‍රධාන හේතු කාරණා දෙකක් මූලික කරගෙන බව පැහැදිලි ය. ඉන් පළමුවැන්න වන්නේ ස්වභාවධර්මය මඟින් ලැබී ඇති අලංකාරයයි. ඉතා කෙටි දුර සීමාවක දී රට තුළ පවතින පරිසර සාධකයන්ගේ වෙනස සහ ජෛව විවිධත්වය ඕනෑම සංචාරකයෙක් පුදුමයට පත් කරනු ඇත. ඒ නිසාවෙන්ම මේ වන විට බොහෝ විදේශිකයන්ගේ සංචාර සඳහා අප රට තෝතැන්නක් වී තිබේ. දෙවැනි ප්‍රධාන කාරණාව ශ්‍රී ලංකාව තුළ පවතින වැදගත් ඓතිහාසික සාධකයන් ය. මහාචාර්ය රාජ් සෝමදේවට අනුව අප රටට නූතන මානවයාගේ (Homo sapiens sapiens) පය තැබීම වසර ලක්ෂයකටත් වඩා එපිට කාලයක දී සිදුව ඇත. ඉන් මෙහා ගත් කල, බළන්ගොඩ මානවයාගේ හමුවීම (වසර 30,000කට පමණ පෙර) සහ අනෙකුත් විවිධ සොයාගැනීම් මඟින් ශ්‍රී ලංකාව තුළ පුරාණ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කතාවස්තු දිගහරිනු ලැබේ.

අප රටේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමේ දී වඩාත් කතාබහට ලක් වන්නේ දේවානම්පියතිස්ස රජු සමයේ සිදු වූ මහින්දාගමනය හා බැඳි සිදුවීම් හා ඒ ඔස්සේ රටට උරුම වූ දායාදයන් පිළිබඳව ය. එතෙක් පැවැත ආ සම්ප්‍රදායයන්, සංස්කෘතික චර්යාවන් සහ අනෙකුත් ජීවන පැවතුම් කෙරෙහි මහින්දාගමනය බලපෑ බව ඉතිහාසය සාක්ෂි දරයි. එදා සිට අද දක්වා පැවත එන වසර 2,300ක් පමණ වන ඉතිහාසය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජ පසුබිම සහ ජීවන රටාව වෙනස් කළ අයුරු විවිධ සිදුවීම් ඔස්සේ විස්තර වේ. මෙකී කාලය තුළ විශේෂයෙන්ම දකුණු ඉන්දියානු ආක්‍රමණ ඔස්සේ සිදු වූ බලපෑම්වල සාධක අදටත් පවතී. එමෙන්ම වෙළෙඳ කටයුතු සඳහා පැමිණි මුස්ලිම් ජනයා ශ්‍රී ලංකාව තුළ පදිංචි වීම හරහා ද විවිධ සංස්කෘතික. ආගමික හා සමාජ වෙනස් වීම්වලට අප රට ලක් වූ බව පැහැදිලි ය. මේ සියලු‍ සංකලනවලට අමතරව ශ්‍රී ලංකාවට සිදු වූ විශාලතම බලපෑම වන්නේ යුරෝපීය ආක්‍රමණයි. ඒ අනුව පෘතුගීසීන් 1505දීත්, ලන්දේසීන් 1656දීත් සහ ඉංග්‍රීසීන් 1796දීත් කළ ආක්‍රමණ නිසා ශ්‍රී ලංකාවේ සමාජ, සංස්කෘතික පසුබිමට සිදු වූ බලපෑම අදටත් පවතියි. ඒ ඔස්සේ සිදු වූ සමාජ, ආගමික, භාෂාමය සහ දේශපාලනික වෙනස්කම් හමුවේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු වූ බලපෑම පුද්ගල ආකල්පවල වෙනසක් සිදු කළ බව පිළිගත යුතු කරුණකි. සමස්තයක් වශයෙන් ගත් කල අද පවතින සමාජ ආකල්ප කෙරෙහි ඉහත සිදුවීම් සියලු‍ විවිධ මට්ටමින් බලපෑම් කළ බව පැහැදිලි ය.

ගෝලීය වශයෙන් මුහුණ දෙන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සඳහා අප වෙත විශේෂයෙන්ම වෛද්‍ය අංශ මඟින් නිතර ලබා දුන් උපදෙස් කිසිදු ගණනකට නොගෙන, සිය අභිමතයට අනුව හැසිරෙන පුද්ගලයන් දුටු කල අපට පසක් වන කාරණය වන්නේ රටේ අභිවෘද්ධිය උදෙසා ආකල්ප සංවර්ධනය කෙරෙහි වඩාත් වැඩි සැලැකිල්ලක් දැක්වීම සහ ඒ වෙනුවෙන් ආයෝජනයක් කිරීම අත්‍යවශ්‍ය බවයි.

පරිපූර්ණ මිනිසකු බිහි කිරීම

රටේ අනාගත ජීවනාලිය වන්නේ දරු පරපුර නිසා රටේ අනාගතය සුබ වන්නට නම් දරුවන්ගේ අනාගතය සුබ විය යුතුය. එසේ නම් වර්තමානයේ කළ යුතු ප්‍රධානම ආයෝජනය වන්නේ, දරුවන්ගේ අධ්‍යාපන රටාවේ වෙනසක් කිරීම ය.

පසුගිය වසර 35ක හෝ ඊට එපිට කාලය සැලැකීමේ දී අපට පැහැදිලි වන කාරණය වන්නේ දැනුම මූලික කර ගත් දරු පරම්පරාවක් බිහි කිරීමට වැඩි උත්සාහයක් දරා ඇති බවයි. දැනුම ලබා දීම අනිවාර්යය වේ. එහෙත්, දැනුම හා බැඳුණු අනෙකුත් අත්‍යවශ්‍ය උපාංග කිහිපයක් පවතී. පරිපූර්ණ මිනිසකු බිහිකිරීම උදෙසා මේ සියලු‍ දෑ පිළිබඳ අවධානය යොමු කිරීම වටී. දැනුම හඹා යමින් තරගකාරී මානසිකත්වයක් පවත්වා ගනිමින් ලබා ගන්නා අධ්‍යාපනය තුළ සමහර අත්‍යවශ්‍ය ගුණාංග දරුවන් තුළින් ගිලිහී යන ආකාරය පසුගිය දශක කිහිපය දෙස බැලීමේ දී පැහැදිලි වේ. දැනුම පදනම වූ කල බාහිර උපකාරක පන්ති හරහා ගොඩනැඟුණු දැනුම ගොඩගැසීමේ සංස්කෘතිය තුළ දරුවන් රොබෝවරුන් වීමේ ප්‍රවණතාව පැහැදිලිව දිස් වේ. එසේ ගොඩනැඟෙන දරුවන් මානව ප්‍රජාවට, සතා සිවුපාවන්ට, ගහ කොළ, ඇළ, දොළ ඇතුළු මුළු මහත් පරිසරයට  ම සංවේදී නොවනු ඇත. එය දරුවන්ගේ වරදක් නොවේ. එහි වගකීම සමස්ත රටවැසියාටම බෙදී යයි. අප විසින් ලබා දෙන ඉලක්ක හමුවේ දරුවන්ගේ මනස නිතර ක්‍රියා කරනුයේ, කෙසේ හෝ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු විය යුතු ය යන අරමුණ ඇතිව ය. එය අතිශය තරගකාරීත්වයකින් ළඟා කර ගත යුතු, කිහිප දෙනකුට පමණක් අවස්ථාව උදා වන අසීරු අභියෝගයකි.

මා යුරෝපයේ අධ්‍යාපනය ලබන අවධියේ එවකට අට වන පන්තියේ ඉගෙනුම ලැබූ යුරෝපීය දරුවකුගෙන් “ඔබ ඉගෙන ගන්නේ අනාගතයේ දී කවරකු වන්නට දැයි” ඇසූ පැනයට ඔහු එකහෙළා පිළිවදන් දුන්නේ, පරිසර විද්‍යාඥයකු වීමට යනුවෙනි. මෙරට දරුවන්ගේ සිත් තුළ එවැනි අභිමතාර්ථ තිබුණත්, ඒවා ප්‍රකාශ කිරීමටවත් ඔවුන් නොපෙළෙඹෙන්නේ මවුපියන්ගෙන් ලැබෙන අධික පීඩනය හේතුවෙනි. දරුවා කවරකු විය යුතු ද යන්න බොහෝ විට තීරණය කරනු ලබන්නේ මවුපියන් විසිනි. එසේ නම්, නූතන ලෝකයේ ඇති අභියෝග හමුවේ දරුවන් සඳහා දැනුම පමණක් ලබා දීම ප්‍රමාණවත් නොවේ. ඒ හා බැඳුණු අනෙකුත් ගුණාංග පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ ආකාරයේ මතිමතාන්තර මීට ඉහත දී විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව බැලීමේ දී දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය විය යුතු සිව් වැදෑරුම් උපාංග ලෙස 1. දැනුම 2. කුසලතා 3. සාරධර්ම 4. ආකල්ප සැලැකිය හැකිය.

නූතන අධ්‍යාපන රටාවේ දී වඩාත් මූලික වන්නේ ආකල්ප වැඩිදියුණු කිරීම වන අතර, ඊට සමගාමීව දැනුම ලබා දීම, කුසලතා වර්ධනය හා සාරධර්ම සංවර්ධනය සැලැකිල්ලට ගැනේ. එසේ නම් මෙකී පෙළගැස්ම අප රටේ අනාගත සංවර්ධනය ඉලක්ක කොට ආයෝජනය කළ යුතු යමක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. විශේෂයෙන්ම ජපානය වැනි රටවල ආකල්ප සංවර්ධනය කෙරෙහි වැඩි අවස්ථා උදා කර දී ඇත. අපේ රට ගැන සිතීමේ දී ආකල්ප වැඩිදියුණු කිරීම පෙර පාසලෙන් ආරම්භ කර පාසල් අධ්‍යාපනය ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පුළුල් කිරීම මඟින් වඩාත් යහපත් දරු පරම්පරාවක් බිහි වනු ඇත. මෙකී කාර්යය අද ආරම්භ කළහොත්, තවත් වසර 15කින් හෝ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි වන අතර, ඉන් පසු එය අඛණ්ඩව සිදු වනු ඇත. මෙම ලිපියේ අදහස මේ තාක් කිසිවකුත් මේ කෙරෙහි අවධානය යොමු නොකර කිසිදු පියවරක් නොගෙන ඇති බව ප්‍රකාශ කිරීම නොවන නමුත්, මෙය විධිමත් ලෙස ඉලක්කගතව සිදුව නැති බව අවබෝධ කර ගත යුතු ය. ආකල්පගත අධ්‍යාපන ක්‍රමවේදයේ දී දරුවන් තුළ පෝෂණය කළ යුතු කාරණා අතර, ශ්‍රී ලාංකේය අනන්‍යතාව, දේශීය දෑ අගය කිරීම, මානව ගුණධර්ම ප්‍රගුණ කිරීම හා ඒ ඔස්සේ එකිනෙකාට ගරු කිරීම, පරිසරයට ආදරය කිරීම හා එහි අගය වටහා ගැනීම, රටේ ආර්ථිකයට දායක වන පරිදි අනාගතය සකස් කර ගැනීමේ වගකීම, සියලු‍ වෘත්තීන්ගේ ඇති වැදගත්කම සහ සියලු‍ වෘත්තීන් ඔස්සේ රටේ ප්‍රගමනයට සහාය විය හැකි බව අවබෝධ කර ගැනීම ප්‍රධාන වේ.

විශේෂයෙන්ම මානව ප්‍රජාවගේ වගකීම පිළිබඳව දරුවන් තුළ තිබිය යුතු අවබෝධය සහ ඒ ඔස්සේ එකිනෙකා මනා ලෙස හඳුනා ගනිමින් ජීවත් විය යුතු පිළිවෙළ පිළිබඳව ද ආකල්ප සංවර්ධනය ඔස්සේ දරුවන්ට ප්‍රායෝගිකව අත්දැකීමේ ලැබීමේ අවස්ථාව උදා කර දිය යුතු ය.

අධ්‍යාපන ක්‍රමවේදය

වඩාත් ප්‍රායෝගිකව මෙය කළ හැක්කේ වර්තමානයේ කතාබහට ලක් වන අධ්‍යාපනය ලබා දීමේ රටාව ඔස්සේ ය. මීට පෙර අධ්‍යාපනය ලබා දීම සිදු වූයේ ගුරුවරයා කේන්ද්‍රකොට ගෙන වන අතර, බොහෝ අධ්‍යාපන ආයතනවල එය තවමත් සිදු වෙමින් පවතී. එහෙත්, නූතන ක්‍රමවේදයේ දී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් ප්‍රගුණ කෙරේ. විශේෂයෙන්ම ෆින්ලන්තය වැනි රටවල පාසල් අධ්‍යාපනය පවා මෙම ක්‍රමය ඔස්සේ සිදු කරයි. එහි දී දරුවන් සිය කුසලතා සහ දැනුම වර්ධන ක්‍රියාකාරකම් කළ යුතු අතර, මූලිකවම ආකල්ප වැඩිදියුණුව අපේක්ෂා කෙරේ. කණ්ඩායම් හැඟීම, අවම තරගය, එකිනෙකාට ගරු කිරීම, පරිසරය සහ මිනිසුන් සමඟ සම්බන්ධතා

ගොඩනැඟීම, වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම, නිර්මාණශීලි පුද්ගලයන් බිහි කිරීම, තර්කන හැකියාව ලබා දීම ආදී බොහෝ දෑ මේ මඟින් අපේක්ෂා කෙරේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මූලික කර ගත් අධ්‍යාපන ක්‍රමවේදයකට යාමේ දී උපකාරක පන්තිවල අවශ්‍යතාව අවම වීම, ක්‍රීඩා කටයුතුවලට දරුවන් යොමු කරවීමට, පරිසරය සමඟ කටයුතු කිරීමට සහ දහම් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලැසීමට ඉඩ සැලැසෙනු ඇත. ආධ්‍යාත්මික සංවර්ධනය ආකල්ප සංවර්ධනය උදෙසා වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් බව හඳුනා ගැනීම ද වටී.

අධ්‍යාපනය සඳහා තරගකාරීත්වය ගැන සැලැකීමේ දී ගම්‍ය වන කාරණය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති සීමිත ඉඩකඩයි. උසස් පෙළ හදාරන දරුවන්ගෙන් 12%ක් පමණ උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබනමුත්, අවශ්‍යතාව සහ කැමැත්ත ඇති සැලැකිය යුතු පිරිසකට ඒ සඳහා අවස්ථාව නොලැබේ. වර්තමානයේ කතාබහට ලක් වන සිසුන් 40,000 – 50,000ක් පමණ සරසවිවලට ඇතුළත් කර ගැනීමට දරන උත්සාහය කිසියම් දුරකට සරසවි අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට හේතු වනු ඇත. එහෙත්, අභියෝගය වන්නේ පවතින තත්ත්වය යටතේ සරසවි තුළ ඇති පහසුකම් සහ අනෙකුත් ධාරිතාවන්ගේ ප්‍රමාණයයි. කෙසේ වෙතත්, කොරෝනා හමුවේ පසක් වූ කාරණය වන්නේ තෝරා ගත් සමහර පාඨමාලා සඳහා සිසුන්ට දුරස්ථ සහ මාර්ගගත ක්‍රම ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා  දීමට ඇති හැකියාවයි. එය සරසවි අධ්‍යාපනය පුළුල් කිරීමේ දී සැලැකිය හැකි ප්‍රායෝගික කරුණකි.

ආකල්ප සංවර්ධනය

රටක ප්‍රජාවකගේ ආකල්ප වර්ධනය අධ්‍යාපනයට පමණක් සීමා නොකොට එය ඉන් ඔබ්බට ද ගෙන යා යුතු ය. එනම්, රටේ සංවර්ධනය ඉලක්ක කර ආකල්ප සංවර්ධනය කිරීමයි. මෙහි දී ‘සියලු‍ පුරවැසියන්ගේ යුතුකම වන්නේ රටේ සංවර්ධනයට දායක වන ලෙස සිය වෘත්තීය පවත්වාගෙන යාම’ යන්න දරුවන්ගේ මනස තුළ තැන්පත් කළ යුතු ය. උදාහරණයක් වශයෙන් රටක් ලෙස තායිලන්තයේ අභිමතාර්ථය වන්නේ මුළු ලෝකයේම මුළුතැන්ගෙට අවශ්‍ය ආහාර සැපයීමයි. ඒ සඳහා සියලු‍ රටවැසියෝ, රාජ්‍ය, රාජ්‍ය නොවන අනෙකුත් ආයතන සියල්ල එක සේ වැඩකටයුතු කරති. එහි දී වඩාත් සාර්ථක අපනයන ක්‍රියාවලියක් මඟින් රට තුළ නිෂ්පාදිත කෘෂි නිෂ්පාදන අගය එකතු කොට අනෙකුත් රටවලට අපනයනය සිදු කෙරේ. එක්දහස් නවසියහැටේ දශකයේ අගභාගයේ දී ඇමෙරිකාව සඳ තරණය ​සඳහා සැලැසුම් සකස් කිරීමේ දී එරට සනීපාරක්ෂක කටයුතුවල නියැළුණු කම්කරුවාගේ පවා සිත් තුළ වූයේ තමන් වැඩ කරන්නේ ඇමෙරිකානුවන් සඳට යැවීම සඳහා යන්නයි. ආකල්ප සංවර්ධනයට ඉඩ සැලැසීම ඔස්සේ රටක සංවර්ධනය සඳහා මානව ප්‍රජාව පෙළගැස්විය හැකි බව කිව යුතු ය. ජපන් ජාතිකයන්ට කුඩා කල සිටම ලබාදෙන පණිවුඩය වන්නේ, රටේ සංවර්ධනයට නිර්මාණශීලීව දායක වීමට නම්, තම මනසේ ඇති නිර්මාණශීලී සිතුවිලි සිය දෑත් ඔස්සේ එළියට ගත යුතු බවයි. මේ සියල්ල අපට පසක් කරන කාරණය වන්නේ ආකල්ප සංවර්ධනයේ ඇති වටිනාකම සහ එය රටේ ආර්ථිකයට පෙළගැස්වීම කළ හැකි ය යන්නයි. රටක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ අවුරුදු ගණනාවක් ඉදිරියට සලකා ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි. ඉන්පසු ඒවාට අනුව වැඩ කරන ආකාරය ආකල්පමය වශයෙන් දරුවන්ගේ සිත් තුළ ධාරණය කොට ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමයි. මේ සඳහා රටේ පාලකයන් සතුව විශාල වගකීමක් සහ ඉටු කළ යුතු කාර්යයක් පවතී.

අව්‍යාජ දායකත්වය

මෙකී කාරණා ගැන කතා කිරීමේ දී වර්තමානයේ දේශපාලන ප්‍රවාහය පිළිබඳව පුරවැසියන්ගේ සිත් තුළ ඇති අදහස්, විවේචන පිළිබඳ අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්  ය. රටේ අනාගතය ගැන මිස පුද්ගල හෝ පක්ෂ සංවර්ධනය කෙරෙහි යොමු නොවීම සඳහා සියලු‍ පුරවැසියන් අවබෝධ කර ගත යුතු කරුණු පිළිබඳ පුළුල් අවබෝධයක් දරුවන්ට ලබා දීම

ආකල්ප සංවර්ධනය ඔස්සේ සිදු කළ යුතු කාරණයයි. අනාගතය භාර ගැනීමට සිටින පිරිස ලෙස දරුවන්ගේ අරමුණු වැඩිදියුණු කළ යුත්තේ වඩාත් ඵලදායී සේවාවක් රටට සැලැසීම සඳහා ය. විශේෂයෙන්ම සමාජ සේවයේ ඇති සැබෑ ස්වරූපය සහ රටක සංවර්ධනයට අව්‍යාජව දායක විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ආකල්ප දියුණු කිරීම කළ යුතුම කාරණයකි. රටට ආදරය කරන සහ ගරු කරන පුරවැසියන් බිහි කිරීම ඔස්සේ මෙය කළ හැකි වනු ඇත. ඒ සඳහා කිසියම් කාලයක් ගත වුව ද, දරුවන්ගේ ආකල්ප වැඩිදියුණු කිරීම හරහා මෙය සිදු කිරීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.

ආකල්ප සංවර්ධනයේ මූලිකම අරමුණ විය යුත්තේ පටු අදහස්වලින් තොර, පාට කණ්ණාඩිවලින් බලා තීරණ නොගන්නා පුද්ගලයන් බිහි කිරීමයි. එසේ වුවහොත්, එය රටක් වශයෙන් ලබන විශාල ජයග්‍රහණයකි. කෙතරම් විභාග සමත්ව කුමන තරාතිරමක සිටියත්, ආකල්පමය වශයෙන් දුප්පත්, අනුන්ගේ නුගුණම දකින, සහයෝගයෙන් ක්‍රියා කළ නොහැකි, ආත්මාර්ථකාමීන් බිහි වීම වැළැක්වීමට හැකි එකම ක්‍රමය වනුයේ ආකල්ප වැඩිදියුණු කිරීමයි. ආකල්ප ධනාත්මක නොවූ කල ඉගෙන ගත් පාසල, විශ්වවිද්‍යාලය හෝ මවුපියන් පිළිබඳ ගෞරවයක් උපදින සේ වැඩකිරීමට කිසිවකුට නොහැකි ය. එම නිසා මිනිසාගේ සංවර්ධනය පදනම් විය යුත්තේ ආකල්ප වැඩිදියුණු කිරීම මූලික කරගෙන ය. එසේ නොවුණු කල

බිහි වන පුද්ගලයා පිළිබඳව අප මතකය දිව යන්නේ සිංහල සාහිත්‍යයේ එන වඩාත් සුපතළ යෙදුමකටය. එය නම් ‘නුග ගස මහත් වුවත්, නුග ඵලය කුඩා වන්නා සේ’ යන්න ය. එනම්, එවැනි පුද්ගලයන්ගෙන් සමාජයට වන සෙත අවම වන බවයි. වඩාත් වැදගත් කාරණය ආකල්ප වැඩිදියුණු වූ කල විනය ඉබේටම පෝෂණය වීමයි. එය රටක් ලබන විශාල ජයග්‍රහණයකි. කොරෝනා උවදුර හමුවේ අපට යළිත් පසක් වූයේ විනයක් ඇති මිනිසුන් අප රටේ ඉදිරි ප්‍රගමනයට අත්‍යවශ්‍ය බවයි. ආකල්ප වැඩිදියුණු කිරීම හැර ඒ සඳහා ඇති අනෙකුත් ක්‍රම උපායයන් එතරම් පැහැදිලි නැත.

පුන්සඳනි නාගහවත්ත
කැලණිය විශ්වවිද්‍යාලය

 

Leave A Reply

Your email address will not be published.

20 − 13 =