මුරුත්තෙට්ටුවේ චාන්සලර් වහන්සේට..,

13

අඬන්න ඕනැලු නේ ද අපෙ හාමුදුරුවනේ කිරි එරෙන්ඩ. පහුණු කාලෙ රට, ජාතිය, ආගම වෙනුවෙන් තමුන්නාන්සේ වගුරපු කඳුඵ ගංගා නිකම්ම මුහුදට ගලාගෙන නොගිය බව නං දැන් සකල සිරිලංකාවාසීන්ටම ටොපට පේනවා. දැන් නං ඉතින් අපිට හොඳටම තන්තෝසයි හාමුදුරුවනේ රටේ තවත් දැවෙන පුරස්නයක් මේ තරං සුපිරි විදිහට විසඳුණාට. පුරාණ රජ දවසෙ අහස උසට දාගැබ් බැඳපු, සාගර වගේ වැව් හදාපු, මහා ගල්කුඵ දෙබෑ කොරපු අපේ මුතුන්මිත්තෝ මොන වැඩ්ඩො ද කියල හිතෙනවා වැඩි කරන විරුවා නම් විරුදාවලිය දරන ගෝඨා මහාදිරාජයාගේ සමයේ සිද්ද වෙන මේ මහා ප්‍රාතිහාරිය දැක්කහම.
මොළගෙඩියක් කියල එකක් තියෙනව නං ඉස්පාසුවක් තියෙන වෙලාවක ඇබිත්තක් කල්පනා කොරල බලන්ඩකො චාන්සලර් හිමියනි, දැයේ පිනටම පහළ වෙච්ච අපෙ සෑර් මේ ටික කාලෙට කොරල තියෙන හපන්කං ටික ගැන. මහරජෙක් වෙන්ඩ තියෙන සුදුසුකොම එතුමා රටේ ආරක්සාව බාරව උන්නු කාලෙම ඔප්පු කොරල පෙන්නුව නෙ නේද චාන්සලර් වහන්ස. දුටුගැමුණුට එදා කවුරු හරි දිරච්ච ලණුවක් දීලා එළාරගෙ සොහොන බැන්දෙව්වට අපෙ සෑර් නං කවදාවත් එහෙම තකතිරු වැඩ කොරන්නෙ නැහැ නෙ. නීති විසාරද අලි සබ්බිරි උන්නැහැ ලෝ පොයින්ට් එකක් දාලා දෙමාපිය සොහොන කේස්සෙක ගොඩ දාලා දුන්නට කෙළින්ම අධිකරණ ඇමැති පට්ටමම දීලා දැම්මෙ ඒක නෙ අපෙ සෑර්.
ඔය වගේ තව මොන තරං කෙළි කොළා ද අපේ වැඩි කරන විරුවා මේ ටික දොහට. වැඩි කතා ඕනැ නැහැ කුඩු රජා ය, ස්ත්‍රී දූසකයා ය, මිනීමරුවා ය වගේ අබූත චෝදනා නඟල නිරපරාදෙ හිරේ දාලා උන්නු දුමින්ද ද කවුද කියන අර අහිංසකයා. මිනිහගෙ සිහි කල්පනාව පවා නරක් වුණා නෙ අපෙ චාන්සලර් හාමුදුරුවනේ හිතේ වේදනාව දරාගන්ඩ බැරුව. අපෙ සෑර්ගෙ ආය වචන දෙකක් නැහැ නෙ. ඒ අහිංසකයව හිරෙන් නිදහස් කොළා විතරක් නං මදැයි. නිවාස අදිකාරියෙ ද මොකේ ද ලොකු තානාන්තරයක් පවා පිරිනැමුව නෙ. අන්න එහෙමයි අපෙයි, රටෙයි සවුබාග්ගිය උදා කොරන්ඩ මහතීර්ගෙයි, ලීකුවාන්ගෙයි මොළ දෙක මුහු වෙච්ච අපේ සෑර් පෙන්නපු වැඩ-කිඩ.
ඔන්න එහෙනං අපි මින් මනත බැරිවෙලාවත් තමුන්නාන්සෙට නෑර්ස් හාමුදුරුවො කියල නං ආමන්තරණ කොරන්නෙ නැහැ. ලෝකෙ තියෙන හොඳම විස්සවිද්යාලවලින් එකක් ය කියන කොලොම්පුරේ කැම්පස්සෙකේ චාන්සලර් තානාන්තරෙන් පිදුම් ලබපු තමුන්නාන්සෙ නිල මන්දිරේ ඉඳල නිල රියෙන් සරසවි බූමියට සම්පරාප්ත වෙන කොට ආචාරි, මහචාරි සැට් එක හතරගාතෙන්ම ඇදවැටෙන හැටි තමා බලන්න ලස්සන. ඒ වගේ සීන්ස්වලින් වැස්සකටවත් විස්සවිද්දියාලෙකට ගොඩ වෙච්ච නැති උංට මාර ආතල් එකක් ගන්ඩ ඇහැකි වෙයි නේද චාන්සලර් වහන්ස. හැබැයි අපෙ සෑර් කොරන හැම ගුණ යහපත් වැඩක්ම කඩාකප්පල් කොරන්ඩ පාරට බහින නොසණ්ඩාල කොල්ලො, කෙල්ලො එක්කනං පැටළෙන්ඩ යන්නෙ නැති එක චාන්සලර් වහන්සෙගෙ ඇඟටයි, සිවුරටයි දෙකටම හොඳා. බැරිම වුණොත් ඉතින් සෑර්ට කෝල් එකක් දීලා පටස් ගාලා කුලු-පොලු හමුදාව ගෙන්න ගන්ඩ ඇහැකි නෙ.
හාල් නැතුව බත් කෑවා වගේ, සීනි නැතුව තේ බීවා වගේ, පෝර නැතුව වගා කොරා වගේ, සිමෙන්ති නැතුව ගෙවල් හැදුවා වගේ කියන අපේ ගෝඨා උතුමානන්ගේ සවුබාග්ගිය යුගයේ පරස්තා පිරු`ඵ සිංහල ඉතිහාස පොතේ ලියැවෙන මතු දවසකදි ‘මුරුත්තෙට්ටුවත් චාන්සලර් වුණා වගේ ය’ කියන අලුත්ම කියමනත් ඒ ලැයිස්තුවටම ඇතුළත් කොරන්න ය කියලා විස්සවිද්දියාලෙට වැඩම කොරපු පරක්කුවට කවුන්සිලේ ඇත්තන්ට මතක ඇතුව වදාරා හිටින්න චාන්සලර් වහන්ස●
 

විශ්ව මිත්‍ර
Previous articleඇමැතිගේ ආශීර්වාදය මැද වැව් රක්ෂිතයේ හෝටලයක්
Next articleඉන්දියානු දැලේ අහම්බෙන් පැටළුණු පොහොට්ටුවේ සුපිරි අනුග්‍රාහකයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here