ඉන්දියානු දැලේ අහම්බෙන් පැටළුණු පොහොට්ටුවේ සුපිරි අනුග්‍රාහකයා

බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමඟ පුද්ගලයන් 5 දෙනකු ඉන්දියානු වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉකුත් මාර්තු මාසයේ ය. ඉන්දියාවෙන් ලද තොරතුරු මත කළ විමර්ශනයේ දී මෙරට දී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබී ය. ඉන් එක් අයකු නුවරින් අත්අඩංගුවට ගත් අතර අනෙක් තැනැත්තා වූයේ දෙමටගොඩ රුවන් ය. ඔහු දෙමටගොඩ චමින්දගේ සහෝදරයා ය.

දෙමටගොඩ චමින්ද යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම හිමිව සිටින නමගිය අපරාධකරුවෙකි. මොවුන් දෙදෙනාගේම නම් කියැවුණේ හෙරොයින් හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි. දෙදෙනාගේම පදිංචිය දෙමටගොඩ ය.

කුඩු ජාවාරම

දෙමටගොඩ පොලිසිය පිටුපස පැල්පත්වලින් ගහන වත්තක උපන් දෙසොහොයුරන් ඔවුන්ගේ පළමු රැකියාව ලෙස තෝරා ගත්තේ දෙමටගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු වෙළෙඳාම ය. ඊට වඩා ඉක්මනින් දියුණු විය හැකි මඟක් වන හෙරොයින් හා පාතාල ක්‍රියාකාරකම් ඔවුන් තෝරා ගන්නේ ඉන් පසුව ය.

එම කාරණය මත පොලිස් පොතේ මොවුන්ට විරුද්ධව පැමිණිලි සටහන් වන අතර, පසුව දේශපාලන හයිය ද උපයෝගී කර ගැනීම නිසා මේවා ඔවුන්ට සාමාන්‍ය දේවල් බවට පත් විය. දේශපාලනය හා එක්ව හෙරොයින් ජාවාරම ද කරගෙන යෑම නිසා මොවුහු ඉක්මනින්ම කෝටිපතියන් බවට පත්වූහ. දේශපාලන හයිය මත වූ ගැටුමක ප්‍රතිඵලයක් වූයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය යි. එම නඩුවෙන් මේ වන විට ජනාධිපති සමාව ලැබ සිටින දුමින්ද සිල්වා හා දෙමටගෙඩ චමින්ද ඇතුළු කිහිප දෙනකුට මරණ දඬුවම හිමි විය.

චමින්දගේ අඩුව සම්පූර්ණ කරමින් රුවන් මෙම ව්‍යාපාරය අතට ගන්නේ ඉන් පසුව ය. ඉන් පෙර ද ඔහු ඉදිරියේ ඝාතන චෝදනා කිහිපයක් විය. 2015 වර්ෂයේ කොටහේන ප්‍රදේශයේ පැවැති හිටපු මන්ත්‍රි රවී කරුණානායකගේ පෙළපාළියකට වෙඩි තැබීමේ චෝදනාවක් ද රුවන්ට එදා එල්ල විය.

2010 වර්ෂයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් දෙමටගොඩ චමින්දගේ හා රුවන්ගේ හෙරොයින් තොගයක් අල්ලා ගනු ලබන්නේ සුදු පැහැති පැජරෝ රථයකින් හලාවත සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිටිය දී ය. එම කාලයේ පොලිස්පති ධුරයේ කටයුතු කළේ මහින්ද බාලසූරිය ය. මොවුන්ගේ හෙරොයින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ගෙනා විට එම ස්ථානයට පොලිස්පති මහින්ද බාලසූරිය පැමිණි බව පොලිසිය තුළ එවකට ප්‍රසිද්ධව පැවැති කතාවකි. පොලිස්පතිවරයා සටහන් යොදා තිබූ පොතේ පිටු ඉරා දමා අලුතින් පොත ලියන්නේ අත්අඩංගුවට ගත් හෙරොයින් කේරළ ගංජා බවට පරිවර්තනය කරමිනි. පොලිස්පතිවරයා විසින් මෙය කාගේ වුවමනාවකට කළේ ද යන්න දන්නේ ඔහුම පමණකි.

පොලිසියේ සහ දේශපාලන සහාය

එකල සිටම ඔවුනට දැඩි පොලිස් හා දේශපාලන සවියක් පැවැති බව මේ කාරණයෙන් මොනවට පැහැදිලි
වේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ තරුණ නිලධාරියකු ලද තොරතුරක් මත ඔහු රුවන්ගේ නිවස පරීක්ෂා කොට අයිස් හා හෙරොයින් යන මත්ද්‍රව්‍ය සොයා ගන්නේ ය. එසේම ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුගේ වත්කම් හා දේපොළ පරීක්ෂා කළ යුතු බවට ද එම නිලධාරියා වාර්තා කරන්නේය.

අවසානයේ එම නවක නිලධාරියාට එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔහු වෙනත් කඳවුරකට මාරුවක් ගෙන යන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස රුවන්ගේ නිවසේ තිබී කිසිදු මත්ද්‍රව්‍යයක් හමු වන්නේ නැත. එසේම රුවන් ආදායම් බදු ගෙවන හොඳ ව්‍යාපාරිකයකු බවට තහවුරු වන්නේ ය. ඉන් එහාට එහි පරීක්ෂණයක් සිදු වන්නේ ද නැත.

රුවන්ගේ පුතා මුදාහැරීම

මෙලෙස ජයටම ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී, ගරාජ් අංකයකින් ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් දෙමටගොඩ දී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නවතා පරීක්ෂා කරන ලදි. එහි දී රුවන්ගේ පුතා එහි සිටින අතර, අයිස් හා ගංජා යන මත්ද්‍රව්‍ය පැවැති බැවින්, ඒ යටතේ මොවුන් අත්අඩංගුවට පත් විය. නමුත්, ඉහළින් ලැබෙන දුරකථන ඇමතුමක් අනුව දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට එම වාහනයේ රුවන්ගේ පුතා නොපැමිණි බවට වාර්තා කරන්නට සිදු විය. ඒ වෙනුවෙන් වාහනය පැද වූ පුද්ගලයා ලෙස වෙනත් කෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට ද සිදුවන්නේ ය.

රුවන් කොයි තරම් දේශපාලන සවියක් ලද පුද්ගලයකු ද යන්න තහවුරු වන්නේ, වත්මන් ආණ්ඩුවේ මැති, ඇමතිවරුන් කිහිප දෙනකුම සිය බොරැල්ල පක්ෂ කාර්යාලය ලෙස භාවිත කරන්නේ රුවන්ට අයත් දෙමටගොඩ පොලිසිය ආසන්නයේ පිහිටි ඔහුගේ තුන්මහල් ගොඩනැඟිල්ල වීමෙනි. දෙමටගෙඩ චමින්ද මැතිවරණ සමයේ උදවු උපකාර කළ කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් මේ වන විට බලවත් අමාත්‍යාංශයක් හිමි ඇමතිවරයකු වේ. 2020 මහ මැතිවරණ සමයේ ‘ලංකා’ පුවත් පත මේ ගැන විශේෂ හෙළිදරව්වක් ද කරනු ලැබී ය.

කිලෝ ග්‍රෑම් 340ක හෙරොයින්

මේ අතර ඉකුත් මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දියානු වෙරළාරක්ෂකයන් විසින් බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් අත්අඩංගුවට ගන්නා ලදී. පකිස්ථාන හා ඉරාන ජාත්‍යන්තර මුහුදු සීමාව පසු කළ පසු ඉන්දියානු වෙරළාරක්ෂකයන් විසින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගැනිණි. එහි ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු ද සිටි අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී නුවර ප්‍රදේශයේ පදිංචි අසංක නමැති
පුද්ගලයකුට මෙම හෙරොයින් ගෙන යන බවටත්, ඔහු විසින් එය දෙමටගොඩ
ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදීමට නියමිත බවටත් හෙළි වන්නේ ය.

මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ පුරුක් සොයා යද්දී, ඉන්දියාව තමන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන සිද්ධීන් රැසක් ද මේ පිටුපස පවතින බවට තහවුරු කර ගන්නේ ය. ඒ අනුව ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙරටට දැනුම් දෙන්නේ වහාම තමන් භාරයේ සිටින පුද්ගලයන් හෙළි කරන තොරතුරුවලට අදාළව ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස ය.

නුවර අසංකගේ පාපොච්චාරණය

එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන්නේ ය. ඔවුන්ගේ විමර්ශනයට අනුව චන්ද්‍රිකා දුරකථන මඟින් මොවුන් කතා කළ බව කියන නුවර ප්‍රදේශයේ පදිංචි අසංක නමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ ය. අංසක නමැත්තා රුවන් පිළිබඳ තොරතුරු නාකොටික් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කිරීමත් සමග, 2018 වසරේ සිට මේ දක්වා මොහු හෙරොයින් කිලෝ ග්‍රෑම් 1,500කට වඩා මෙරටට ගෙන්වා
ඇති බව තහවුරු වී තිබේ. ඒ මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ට අමතරව ය.

දෙමටගොඩ රුවන් සිටින බව තහවුරු වුවත්, ඔහුව අතහැර පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට නොහැකි වන්නේ ඉන්දියාව මෙම පරීක්ෂණවල ප්‍රගතිය දෙස බලා සිටින බැවිනි. මන්ද, රුවන්ගේ නම ඉන්දියානු අත්අඩංගුවට පත් වූ සැකකරුවන් විසින් ද ප්‍රකාශ කර තිබූ බැවිනි. ඒ අනුව පොලිස්පතිවරයා ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ වත්කම් පිළිබඳ විමර්ශන කොට්ඨාසය වෙත පවරන්නේ ය.

එදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ ආරම්භ කළ නොහැකි වුව ද, මෙවර ඉන්දියාවේ මැදිහත් වීම මත පරීක්ෂණ ආරම්භ කිරීමට සිදු වන්නේ ය. ඒ අනුව සියලු තොරතුරු සොයා ගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙමටගොඩ පිහිටි රුවන්ගේ සුපිරි නිවස වටලන්නේ ය. එහි තිබී සුපිරි වාහන කිහිපයක් සහ රත්‍රන් තොග යක් සොයා ගැනීමට පොලිසිය සමත් වන්නේ ඒ අනුව ය.

ලක්ෂ 100ක පූජාවක්

මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හා දුරකථන ඇමතුම් පරීක්ෂාවේ දී බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට පොලිසිය සමත් විය. ඒ අනුව දෙමටගොඩ රුවන් ඇසුරු කළ පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් මෙන්ම භික්ෂුන් වහන්සේලා කිහිප දෙනකු පිළිබඳව ද පොලිසිය තොරතුරු හෙළි කර ගන්නේ ය. එහි දී දේශපාලනයට අභය දෙන විහාරයක භික්ෂුන් වහන්සේ නමකට භාවිතය සඳහා රුවන් විසින් ලක්ෂ 100ක් පමණ වටිනා ‘වෙසල්’ වර්ගයේ ජීප් රථයක් පූජා කර ඇති බවට හෙළි වන්නේ ඒ අනුව ය. එම විහාරස්ථානයේම තවත් භික්ෂුන් වහන්සේ නමකට කඩුවෙලින් සුපිරි නිවසක් පූජා කොට ඇති බවට ද තව දුරටත් තහවුරු වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නම කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරගෙන ඇත්තේ ද රුවන්ගේ හිතවතෙකි. ඔහු කොළඹ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ගැනීමට රුවන් දැඩි උත්සාහයක් ගෙන ඇතත්, රාජපක්ෂ පවුලේ හිතවතකු එයට පත් වීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ. ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹට ආසන්නම කොට්ඨාසයක නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ගනු ලැබ තිබේ.

නි. පොලිස්පති ‘ඌරප්‍රිය’

චෝදනා රාශියක් ඇති මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඌරුමස්වලට ප්‍රියතාවක් දක්වන අයකු බව පොලිසිය තුළ ප්‍රසිද්ධ ය. එසේම ඔහු රුවන් සමඟ නිතර රාත්‍රී සමාජ ශාලාවල ගැවසෙන අයකු බවට ද පොලිසිය තුළ ප්‍රසිද්ධ රහසකි. පොලිස් නිලධාරීන් අතර ඇති තවත් කසුකුසුවක් වන්නේ රුවන්ගේ හෙරොයින් මෙම පොලිස් නිලධාරියාගේ රථයෙන් අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කළා ද යන්න ය.

කාලයක් අපරාධ මර්දනය ගැන නම කියැවුණු පොලිස් නිලධාරියකු මේ වන විට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් වීම් ලබා ඇති අතර, දැනට දකුණු පළාතේ සේවය කරන ඔහු ද රුවන්ට “මචං” ලෙසින් ආමන්ත්‍රණය කරන්නකු බවට තහවුරුව සිටියි.

රුවන්ගේ දුරකථනය පරීක්ෂාවේ දී ඔහු ඇමතුම් ගත් හා ඔහුට ඇමතුම් දුන් පොලිස් නිලධාරීන් ගණනාවකගේ නම් හෙළිදරව් වී තිබේ. එසේම රුවන් විසින් පොලිසියේ උසස් නිලධාරීන් මෙන්ම සාමාන්‍ය නිලධාරීන් රැසකට ද භාවිතය සඳහා වාහන ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.

කෙසේ නමුත්, රුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දැනසිට ඇත්තේ, පොලිස්පතිවරයා හා පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් බවට ද වාර්තා වේ. එසේම රුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් කිහිප දෙනකු සිය අප්‍රසාදය පළ කර ඇති බව ද දැනග න්නට තිබේ. මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කරගෙන යන අතර, ඔවුන්ගෙන් මෙම විමර්ශන යම් හෙයකින් ඉවත් කළහොත්, නැවතත් පරීක්ෂණ නතර වෙනු ඇති බවට ද පොලිස් ප්‍රධානීහු සඳහන් කරති.

ප්‍රකා්ටි ගණනක වත්කම්

ඉහළ පොලිස් නිලධාරියෙක් ‘ලංකා’ පුවත් පත සමඟ කීවේ, මෙම පරීක්ෂණ බාධාවකින් තොරව කරගෙන යෑමට අවස්ථාව උදා වුවහොත් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගන්නත් හැකියාව ලැබෙන බව ය. ඒ තරම්ම මුදල් හා රත්‍රන් තොගයක් මොහු සතුව පවතින බව පැවසේ.

මොහු සතුව තිබී ලක්ෂ 700ක් පමණ වටිනා රේන්ජ් රෝවර් රථයක්, ලක්ෂ 300ක් වටිනා ලෑන්ඩ් කෲෂර් රථයක්, ලක්ෂ 330ක් වටිනා බී.එම්.ඩබ්ලිව්. කාරයක් හා ලක්ෂ 480ක් වටිනා බී.එම්.ඩබ්ලිව්. අයි. 8 රථයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. එසේම රත්‍රන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 90ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සිරිනායක පතිරණලාගේ රුවන් චමිල පතිරණ නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි. ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී ද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය පැවැතුණේ දෙමටගොඩ පිහිටි මොහුගේ ගොඩනැඟිල්ලේ ය.

සියලු දේපොළ තමන් උපයා ගත්තේ නීත්‍යනුකූල ආකාරයට බව රුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත. දෙමටගොඩ නගර මධ්‍යයේ ඇති ප්‍රධාන අවන් හලක් තමන් මිල දී ගත් බවත්, එහි ආදායමෙන් ඉතිරි සියලු දේපොළ මිල දී ගත් බවත් ඔහු පවසා ඇත. ඊට අදාළව බදු ගෙවූ ලිපිගොනුවක් ද මොහු පොලිසියට ඉදිරිපත් කර ඇත. පොලිසිය මෙම ලිපිගොනුවට අදාළව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී එවැනි ලිපිගොනුවක් තිබී නැත. එයින් තහවුරු වී ඇත්තේ, එය ව්‍යාජ ලිපිගොනුවක් බවට ය. ඉන්දියාව හෙළි කරගත් තොරතුරු නිසා මෙම පරීක්ෂණ මෙතරම් ඉදිරියට ගිය ද, ඊට ඈඳුණු දේශපාලනඥයන්ගේ තරාතිරම අනුව පරීක්ෂණවල අනාගතය තීරණය වනු ඇත.

– ලසන්ත වීරකුලසුරිය

Leave A Reply

Your email address will not be published.

sixteen − four =