තේරුම් ගැනීම – එකඟ වීම – ගරු කිරීම කල්ලන්ටත් ගරු කරණු ක්වින්ටින් ඩි කොක් ගේ ප්‍රශ්නය කෙසේ ද යත්

අනෙකාගේ පැවැත්මේ අයිතියට ගරු කිරීම ශීලාචාර සමාජයක සම්මුතියකි. ශීලාචාර වූ මිනිසුන්ගේ ලක්ෂණයකි. ද.අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු 28 හැවිරිදි ක්වින්ටන් ඩි කොක් ප්‍රස්තුත කරගෙන මේ හා සම්බන්ධ කතාවක් කීමට සිදුව ඇත.

ක්වින්ටන් ඩී කොක් ගැන කතා කරන්නට මා පෙළඹවූයේ මාගෙ පුත් සෙනෝජ් නිම්සිතය. කුමක් හෝ වැඩක නියැලී සිටින විට දුරකථනය උස්සාගෙන මා වෙත පැමිණි මාගේ පුත් සෙනෝජ් ඇසුවේ “ ඩි කොක් කරපු වැඩේ හරිද? යන්නයි. ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාත්, ක්‍රිකට් ලාළාසාව වැඩි නිසාත්, ක්‍රිකට් ක්‍රීඩකයකුගේ කවර හැසිරීමක් වුවත් තේරුම් ගන්නට බැරිනම් මා ලඟට පැමිණ කරුණු කාරණා ඇසීම ඔහුගේ පුරුද්දයි. මුහුණු පොතේ තිබූ ක්වින්ටන් ඩී කොක් ගේ එම කතාව කියවූ මම එක හෙළාම කියා සිටියේ ඔහු ‍කළේ වැරැද්දක් බවයි.
කුමක් ද කිවින්ටන් ඩී කොක් කළ වැරැද්ද? ඔහු කළ වැරැද්ද වූයේ දැන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැත්වෙන තරඟයට පෙර, දකුණු අප්‍රිකාණු කණ්ඩායම විසින් Black Live Matters ව්‍යාපාරය, එසේ නැත්නම් සරළ ව කියන්නේ නම් වර්ණ භේදවාදයට විරුද්ධව ක්‍රීඩකයින් විසින් එක් පාදයක් දණ ගසා කරන සංකේතමය අභිනයට සහභාගී නොවීමයි. එම අභිනය කිරීමට එකඟ න‍ොවූ ක්වින්ටන් ඩි කොක් අන්තිමේ දී එදින තරඟයෙන් ඉවත් වූයේය.

වර්ණභේදවාදයට විරුද්ධ මුල් ව්‍යාපාරය අරම්භ වන්නේ 1959 දී බ්‍රිතාන්‍යයේදීය. සුදු ජාතිකයින්ගේ පාලනය කළ දකුණු අප්‍රිකානු රජය 1949 පවත්වාගෙන ගිය වර්ණබේදවාදයට විරුද්ධව ආරම්භවූ මේ ව්‍යාපාරයට ලෝකය විවිධ රටවල මෙන්ම ප්‍රගතිශීලී මෙන්ම ශීලාචාර සමාජවල සහයෝගය ලැබිණි. දකුණු අප්‍රිකානු සුදු අධිපතිවාදී රජයේ මේ නින්දා සහගත වර්ණභේදවාදී ප්‍රතිපත්තිය අහෝසි වන්නේ 1994 දීය. එමෙන්ම කලු ජාතිකයින්ට එරෙහි අනෙක් අමානුෂික ප්‍රතිපත්තිය පවත්වාගෙන ගියේ ඇමරිකානුවන්ය. වහල් ක්‍රමය යටතේ කලු ජාතිකයින් වහලුන් ලෙස තබාගත් එම ක්‍රමය අහෝසි වන්නේ 1865 දීය. එහෙත් එතැන් සිට සියවස් එකහමාරක කාලයක් ගත වී ඇතත් යම් අකාරයකට ඇමරිකාවේ කලු ජාතිකයින්ට වර්ණ මත පදනම් ව සිදුවන අසාධාරණකම් අදටත් සිදුවේ. Black Live Matters නම් කලු ජාතීන්ට සහයෝගය දැක්වීමේ නූතන ව්‍යාපාරය ආරම්භ වන්නේ ඉන් පසුවය.

කලු ජාතිකයින්ට සිදුවන මේ අසාධාරණයට විරුද්ධව දණ ගසා සාමාකාමී විරෝධය දැක්වීමේ පිළිවෙත මුලින්ම ආරම්භ වන්නෙ 2016 දී පැවැති ඇමරිකානු පාපන්දු තරඟයකදීය. එම තරඟයේදී ක්‍රීඩකයකු වූත්, සිවිල් ක්‍රියාධරයකු වූත් Colin Kaepernick සිය කණ්ඩායමේ සගයකු සමග තරඟයට පෙර ඇමරිකානු ජාතික ගීය වාදනය වෙද්දී එක් දනක් නමා ඇමරිකානු පොලීසියේ වාර්ගික අසමානකම් සහ පොලිස් කෲරකම් වලට එරෙහිව විරෝධය දක්වන ලදි. එැතැන් සිට අසාධාරණයට ලක්වන කලු ජාතිකයින් ට සහයෝගීතාවය පළ කරණු වස් ලෝකය පුරා සිටින ක්‍රීඩකයින් ක්‍රීඩා තරඟ වලට පෙර එක් දනක් නමා සංකේතමය ලෙස විරෝධය දැක්වීම ආරම්භ විය. දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් ටී 20 ලෝක කුසලාන ක්‍රීඩා තරඟයේදී ප්‍රතික්ෂේප කළේ මේ ක්‍රියාවයි. එහෙත් අවසානයේ තමන්ගෙන් සිදුවූ වැරැද්ද පිළිගෙන එයට සමාව ඉල්ලා කලු ජාතිකයින් වෙනුවෙන් දක්වන එම සහයෝගීතාවට එක්වන්නට කවින්ටන් ඩී කොක් තීරණය කළේය. එහෙත් ඔහුටත් කියන්නට කතාවක් තිබුණේය.

ක්වින්ටන් ඩි කොක් පසුව කියා සිටියේ තමන් කලු – සුදු මිශ්‍ර පවුලකින් පැවත එන බවත් තමන් ජාතිවාදියකු නොවන බවය. මිනිසුන්ගේ අයිතිය සහ සමානාත්මතාව ඕනෑම පුද්ගලයකුට වඩා වැදගත් බව ඩිකොක් කියා සිටියේය. තමන් කුඩා කාලයේ හැමගේම ජීවිත වලට අයිතීන් ඇති බවත් ඒවා වටිනා බව අවබෝධ කරගත් බවත් ඩී කොක් සඳහන් කළේය. එමෙන්ම තමන්ගෙ කුඩා කාලයේ සිට කලු ජතිකයින්ගේ ජීවිත ප්‍රශ්න වලින් සමන්විත වූ බවත් ඩී කොක් සඳහන් කළේය. තමන්‍ ස්වයංව ගත යුතු තීරණයට දකුණු අප්‍රිකාණු ක්‍රිකට් පාලක මණ්ඩලය නියමයන් පැනවීම ගැන ඔහු අකමැති වූ බව පෙනේ. එමෙන්ම දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරණ තරම් තමන් කැමති අන් කිසිවක් නොමැති බව ඩි කොක් පැවසුවේය. අවසානයේ තමන්ගේ ක්‍රියාවට සමාව ඉල්ලා අනෙක් ක්‍රීඩකයින් මෙන් කලු ජාතීන්ට සහයෝගය පිණිස එම ක්‍රියාවට එක්වීමට සතුටට කරුණකි.
අනෙක් වඩාත් සිත්ගන්නා සුලු ශීලාචාරය ලක්ෂණය වූයේ ඩි කොක් ගේ මේ තීරණයට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ පළමු කලු ජාතික ක්‍රිකට් නායකයා වූ Temba Bavuma ඇතුළු කලු ක්‍රීඩකයින් ‍කුපිත නොවීමය. ඉතා සන්සුන් ලෙස මේ කලු ජාතික ක්‍රිකට් නායකයා කීවේ “ ඩි කොක් තමන්ගේ කණ්ඩායමේ සගයකු බවත්, වැඩිහිටියකු වූ ඔහු ගත් තීරණයට අප කැමති වුණත් නැති වුවත් ඊට ගරු කළ යුතු බවයි. එමෙන්ම ඕනෑම අවස්ථාවක උරෙනුර ගැටී ඩිකොක්ට සහයෝගය දැක්වීමට කණ්ඩායම සූදානම් බව ඔහු පැවසීය.
වර්ගවාදය පිටුදැකීම, ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීමට ක්‍රීඩාවට විශාල මෙහෙවරක් කළ හැකිය. 1994 දී දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා ක්‍රීඩාව දකුණු අප්‍රිකාවේ ජාතීන් අතර සාමය ඇති කිරීම සඳහා යොදාගත් අන්දම සත්‍ය සිදුවීමක් පාදක කරගන ( 1995 රග්බි ලෝක කුසලානය පාදක වූ ) නිර්මාණය වූ Invictus ( 2009) චිත්‍රපටයෙන් විදහා දැක්වේ.

අනෙකා ගේ අයිතිය, පැවැත්ම සහ ජාතීන් අතර සමානාත්මතාව තේරුම් ගන්නේ නම් ජාතිවාදී ගැටුම් වලින් තොර ලොවක් නිර්මාණය කළ හැකිය. ඒ සඳහා අනෙකාගේ අයිතිය තේරුම් ගැනීම, එකඟ වීම එය පිළිගැනීම පිණිස වූ සහකම්පනය අවැසි වේ. අනෙකාට – වෙනත් ජනවර්ගයටක එරෙහිව සිදුවන අසාධාරණයක දී ඊට විරෝධය පෑම, මැදිහත් වීම අතිශය වැදගත් වේ. මානවවාදී වේ. ලොකයේ විවිධ ක්‍රීඩා තරඟ වලදී ක්‍රීඩකයින් එක් පාදයකින් දණ ගසාගෙන සංකේතාත්මකව දක්වන්නේ ඒ ‍සහයෝගීතාවයි.
– අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

one × four =