ජනාධිපතිවරණය සහ හෙට දවස

තවත් එක් ජනාධිපතිවරණයක් අවසන් විය. රටේ හත්වන විධායක ජනාධිපතිවරයා ද පත්විය. පත්වූ අලුත බොහෝ දේවල් අලුත් වෙමින් පවතී. වෙමින් පවතින දේ සහ වෙන්න පුළුවන් දේ ගැන කතා කරන්නට කලින් වෙච්ච දේ තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. අපේ රටේ හැමදාම ජනාධිපතිවරණ සටන වඩාත්ම තීව්‍ර වුණේ ප්‍රධාන යැයි කියා ගන්නා පක්ෂ දෙකේ අපේක්ෂකයන් අතරය. ජේ.ආර්. ජයවර්ධනගේ සිට මේ දක්වා  සිදුවී ඇත්තේ එයයි. මීට මාස කිහිපයකට පෙර රටේ ජනතාව බහුතරයක් හිටියේ මුන් ඔක්කෝම එකයි; වැඩක් නැහැ කියන මතයේය. ඒ නිසාම බොහෝ දෙනා කිව්වේ දේශපාලනය දැන් තිත්ත වෙලා ආයෙත් නම් කාටවත් ඡන්දය දෙන්නේ නැහැ කියන මතයේය. අහන අහන කෙනා කිව්වේ මෙයට සමාන දෙයකි. දෙසිය විසිපහම වැඩක් නැහැ ලෙස කිව්වේද මෙහිම වර්ධනයක් ලෙසිනි. එහෙත් ඒ සියල්ල අමතක කරපු ජනතාව වැලනොකැඩී පරණ පුරුදු සෙල්ලම පස්සේම දිව්වේය. අන්තිමට දන්නේම නැතිව එහිම කොටස්කරුවන් වූහ. අන්තිම කාලය වනවිට තමන් කියපු දේවල් තමන්ට අමතකවෙලා කව්රු හෝ කෙනෙක් වෙනුවෙන් ඡන්දය දුන්හ. මේ තත්ත්වය හමුවේ දිනන දෙනා කවුද පරදින කෙනා කවුද යන සූදුව ඉස්සරහට ආවේය. එක් කෙනෙක් පරදින්න අනෙක් කෙනාට ඡන්දය දෙන්න ඕනෑ මතය වැඩියෙන්ම ඉස්සරහට ආවේය. සැබවින්ම එය දිනුම පැරදුම අතර තීව්‍ර තරගයක්ම වුණේය. එහිදී තුන්වැනියා හතරවැනියා හෝ ඊළඟ කෙනා කවුරුන්ද යන්න අදාළ වන්නේ නැත. තමන් දෙන ඡන්දයෙන් කෙනෙක් දිනවිය යුතුය යන්න ඡන්දදායකයාගේ අදහස විය.

තුන්වැනියකුට දෙන ඡන්දය අපතේ යාමක් සිදුවෙනවා යන්න තදබල ලෙස කාවැදුණේ ය. තමන්ගේ ඡන්දය අපතේ යවා ගන්න ඕනි නැහැ යන්න ක්‍රමානුකූලව වර්ධනය වුණ මතයක් විය. තුන්වැනියා කොච්චර හොඳ වුණත් දිනන්න බැරි නම් ඒකෙන් තමන්ට වැඩක් වන්නේ නැහැ යන හැඟීම ඇතිවන්නේ එවිටය. ඒ නිසාම කොච්චර අවුල් තිබුණත් ප්‍රධාන යැයි කියා ගන්නා අපේක්ෂකයන් දෙදෙනා වටා ජනතාව රොක් වුණේය. එහිදී එන්න එන්නම තරගය තීව්‍ර වුණේය. අන්තිම වෙනකොට කවුරු දිනයි කවුරු පරදියිද යන්න හැමෝටම ප්‍රශ්නයක් විය. තරගය ළඟ ළඟම ඇති බව කාට කාටත් දැනුණි. මාධ්‍යයද වාර්තා කළේ තරගය ළඟ ළඟම නිසා දෙවැනි මනාපයටත් යන්න වෙන තත්ත්වයක් ඇති විය හැකි බවයි. ඒ නිසාම දෙපැත්තෙන්ම දෙවැනි මනාපයක් ලබාගැනීමේ යටි බිම්ගත මෙහෙයුමක් ද ක්‍රියාත්මක විය. අන්තිමේදී හැමදාම සිද්ධ වෙනවා වගේ දෙදෙනා අතර තරගය උත්සන්න වීමෙන් අනෙක් සියලු දෙනා පිළිබඳ වූ අවධානය ගිලිහී ගියේය. මෙය හැමදාම ජනාධිපතිවරණයක සිදුවෙන පොදු සිද්ධාන්තයකි.

ජනතාව අතර විකල්පයක නැගී සිටීමක් පිළිබඳ මතයක් තිබුණද එවැන්නකට දිනන්න පුළුවන් තත්ත්වයක් නැතිවීම හේතුවෙන් ඒ අදහසේ සිටි බොහෝ දෙනාද ප්‍රධාන දෙපැත්තෙන් එකකට තල්ලු වුණේය. විකල්පය යන්න බෙදී වෙන්ව පෙනීමද ඒ පිළිබඳව තිබූ විශ්වාසය බිඳ වැටෙන්නට හේතුවක් වුණේය. විකල්පයක් අවශ්‍ය වුවද,  එයට දිනන්න බැරි නම් තමන්ගේ වුවමනාවන් ඉටුනොවන බැවින් එය තාවකාලිකව අත්හැරීමට පෙළඹුණේය. එවන් තත්ත්වයකදී තම තමන් විකල්පය ලෙස තෝරා ගත්තේ දෙදෙනාගෙන් කෙනෙක්ය. එය සාපේක්ෂය. තමන් හිතන විදිහට තිබිච්ච දෙයට එය විකල්පය වුණේය. දේශපාලන හරයාත්මක වෙනස්කමක විකල්පය වෙනුවට පුද්ගල විකල්පය වෙත තල්ලු වුණේය. ඡන්දය වැරදියි යැයි කිව්වාම “ඔව් ඔව් වෙනසක් කරන්න ඕනෑ” යැයි කිව්වේ මේ අර්ථයෙන්ය. තමන් හිතන වෙනස වුණේ වෙනස් අලුත් කෙනෙක් ගෙන ඒමය. අලුත් ක්‍රමයක් ගෙන  ආ යුතුය යන තරමටම ඒ හැඟීම ගැඹුරු වුණේ නැත. එවැනි තලයකින් හරයාත්මකව එය තේරුම් ගැනීමට උත්සාහ කළේද නැත. ඒ නිසාම එකිනෙකා තම තමන් වටහාගත් පරිද්දෙන් විකල්පය ලෙස තෝරා ගත්තේ සැබෑ සමාජ ආර්ථික ක්‍රමයක විකල්පයක් නොව, හුදු පුද්ගල විකල්පයකි. දාහත් අවුරුද්දක් පැවති යූ.එන්.පී. පාලනයට එරෙහිව එදා ජනතාව විකල්පය ලෙස තෝරා ගත්තේද චන්ද්‍රිකා බණ්ඩාරනායක නැමති අලුත්ම අලුත් කාන්තාව මිස අලුත් සමාජ ආර්ථික ක්‍රමයක් නොවේය. ඉතිහාසයේ වූ පරිද්දෙන්ම අදත් සිදුව ඇත්තේ එයයි. වෙනසකට ඇත්තේ එදා චන්ද්‍රිකා වෙනුවට අද ගෝඨාභය තෝරා ගැනීම පමණක්මය.

එය එසේ වන්නට බලපෑ ප්‍රධානතම මතවාදීමය පසුබිම වූයේ රට, ජාතිය, ආගම පිළිබඳව ව්‍යාජව ආරූඨ කරවූ තත්ත්වයයි. යුද්ධය අවසන් කරවීම අත්‍යවශ්‍ය උවමනාවකි. ඒ අන්කවර හේතුවක් නිසාවත් නොව, ජනතාව බෙදා වෙන්කරවීම වැළැක්වීම සඳහාය. සිංහලයාගෙන් දෙමළ කෙනා වෙන්කරන්නට වෙරදැරුවේ බෙදුම්වාදී යුද්ධයයි. එබැවින් එය අවසන් කළ යුතුම විය. එය එසේ කළේ වෙන්වීම වෙනුවට එක්වීම ඇති කරලීම සඳහාය. එනමුත් දේශපාලන අවස්ථාවාදී උවමනාවන් හේතුවෙන් එය එසේ සිදුකළේ නැත. ඒ වෙනුවට සිදුකළේ යුද්ධය පැවති කාලයටත් වඩා දරුණු ලෙස ජනතාව බෙදා වෙන්කරවීමට පාර කැපීමය. දිගින් දිගටම සිදුකළේ එයයි. යුද්ධය පැවති කාලයේ එය සිදුකළේ සිංහල හා දෙමළ ජනයා වෙන් කරවීමටය. එහෙත් යුද්ධයෙන් පසුව සිදුකළේ සිංහලයාගෙන් දෙමළ හා මුස්ලිම් දෙගොල්ලන්වම වෙන් කරවීමය. දැනුවත්වම එවන් තත්ත්වයක් නිර්මාණය කළේය. පවත්නා හැම ඡන්දයකදීම එය වාසියක් කරගත්තේය. එකී බලවුවමනාව වෙනුවෙන් පට්ටපල් බොරු මත ප්‍රචාරය කළේය. පසුගිය

කාලය පුරාවටම ජනතාව තුළ ඉතාම දරුණු ලෙස රට ඉවරයි, ආගම ඉවරයි විනාශ කරනවා වගේ මත හිතාමතා දැනුවත්වම ප්‍රචාරය කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ සඳහා හොඳ තුරුම්පුවක් වුණේය. එතැනින් පස්සේ ජනතාව තුළ මහා බිය වැද්දීමක් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ සිට එම්.සී.සී. ගිවිසුම දක්වා සිදුවූ සියල්ල විකෘති කරමින් බොරු මත ප්‍රචාරය කළේය. ඒවායේ නැති දේවල් බොරුවට හුවා දක්වමින් ජනතාව ජාතිවාදී ප්‍රවණතාවයන්ට තල්ලුකර දැම්මේය. ආගම විනාශ කරන්නේය, යන මතයද ඒ හා සමානව ප්‍රචාරය කළේය. එය එසේ නොවන බව තහවුරු කරලන්නට පාලකයන් අසමත් වුණේය. ඒ නිසාම මිනිස්සුන්ගේ ඇඟ හිරිවට්ටවන ජාතිවාදී, ආගම්වාදී ප්‍රචාරයන් පසුගිය කාලය පුරා දියත් කළේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සිංහල ජාතිය, බෞද්ධ ආගම විනාශ කරනවා; රට කඩනවා; රට බෙදනවා යන බොරු මතය ජනතාව තුළ ඇත්ත ලෙස තහවුරු වීමය.

රටට ආදරය කරන කිසිවෙකු රට බෙදනවාට කැමති නැත. තමන්ගේ ජාතිය ආගම විනාශ කරනවාට කැමති නැත. සියලු ප්‍රශ්න අමතක කරමින් රට ජාතිය ආගම බේරාගන්නට ඉදිරියට එන්නේය. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. හිතාමතාම මේ බොරු මතය තහවුරු කිරීමෙන් ජනතාව තුළ ඇතිවූයේ වෙනස්ම මානසික තත්ත්වයකි. එකී මානසික තත්ත්වය අවස්ථාවාදී ලෙස තම බලය සඳහා පාවිච්චි කරගැනීම ප්‍රතිඵලය දෙස බලන විට ඉතා හොඳින් පැහැදිලිය. අවසානයේ සිද්ධ වී ඇත්තේ යුද්ධය තිබූ කාලටයත් වඩා දරුණු ලෙස ලාංකීය සමාජය බෙදා වෙන්කිරීමය. ප්‍රතිඵලයෙන් උදම් අනන කිසිවෙකුට අනාගතයේ මින් සිදුවිය හැකි හානිය අද වැටහෙන්නෙ නැත. එක්දහස් නවසිය පනස් හයේ දේශපාලන රැල්ලට හසුවූ බොහෝ අය පසුව කනගාටු වුවද ඉන් ඵලක් නොවීය. ඒ හා සමානව ඇතිවූ තත්ත්වය ගැන බහුතර ඡන්දය ලබාගත්තවුන්ට සතුටු විය හැකිය. එහෙත් එය තාවකාලිකව පමණි. ඉන් අනාගතයේ ලාංකීය ජාතීන් තල්ලු විය හැකි දිශානතීන් කොයි වගේ වේවිද යන්න අද නිශ්චිතව කිව නොහැකිය. එහෙත් එහි බරපතළ අනතුරක් ඇති බව නම් සක්සුදක්සේ කිව හැකිය.

එවැනි තැනකට ජනතාව තල්ලු වන්නට හේතු වූයේද පැවති ඊනියා යහපාලනය ආණ්ඩුවේ වැරැද්දෙන්මය. යහපාලනය යැයි කිව්වාට එහි වූ යහපාලනයක් නොවීය. පරණ ආණ්ඩුවේ හොරකම්, වංචා, දූෂණ කිසිවකට අදාළව නීතිය ක්‍රියාත්මක කළේ නැත. එපමක් නොව මේ ගොල්ලොත් ඊටත් හපන් දේවල් සිදුකළේය. ඇත්තටම හරි හමන් ආණ්ඩු ක්‍රියාවලියක් තිබුණේ නැත. ජනාධිපති හා දිගින් දිගටම හැසිරුනේ නයයි මුගටියයි ලෙසින්ය. ඒ නිසාම දෙන්නා දෙපැත්තෙන් හොරුත් එක්ක ඩීල් දැම්මේය. හොරුන්ව ආරක්ෂා කළේය. අන්තිමේදී හොරකම් දූෂණ පිළිබඳව කරන ලද පැමිණිලි නඩු සියල්ල කිසිදු වටිනාකමක් නැති දේවල් බවට පත්වුණේය. ඒවා ඇත්ත නොවේ යන මතයක් පවා වර්ධනය වුණේය. පරණ හොරුන්ට දඬුවම්දීම කෙසේ වෙතත් පරණ  ඇමතිවරු නීතියේ බලය උපරිමයෙන් යෙදවූයේ හොරු ආරක්ෂා කිරීමට මිස දඬුවම් දීමට නොවේය. ඒ නිසාම කරපු දේවල් ගැන පුරාජේරු ගැහුවා මිස ආයේ හොරකම් කරන්න බයක් ඇතිවුණේ නැත. තිබුණ භයත් නැතිවෙලා ගියේය. ආර්ථිකය තුළද ගහපු කයිවාරු කිසිවක් සිදුවුණේ නැත. හැම පැත්තකින්ම අන්තිම අසාර්ථක දුර්වල පාලනයක් වුණේය. ඒ නිසාම බරපතළ අරාජිකත්වයක් අස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය විය. එකී අරාජිකත්වය විසින් ඉල්ලා සිටියේ ඒකාධිපති පාලනයකි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකළද අඩුම ගණනේ ඒ ටිකවත් ජනතාව තුළ තහවුරු කරගන්නට අසමත් වුණේය. ඕනෑම රටකට මෙය පොදුය. යම් ආකාරයේ අරාජිකත්වයක් ඇති වුවහොත් එක්කෝ මුළුමනින්ම මහා අවුල් ජාලාවක් බවට පත්වන්නේය. නැත්නම් ඒකාධිපතිත්වයක් කරා තල්ලු වන්නේය. කරන ලද ප්‍රතිසංස්කරණ පවා වැරදි යැයි අර්ථකථනය වෙන්නටද පුළුවන්ය. දැන් සිදුව ඇත්තේ එයයි. පසුගිය ආණ්ඩුවේ තිබුණු දුබලතාවයන් විසින් තනි පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත වීමය. ඊළඟට විය හැක්කේ ඒ සඳහා වූ ස්ථාවර බලයක්ද අවශ්‍ය යැයි මතයක් සෑදීමය.

ආගම සම්බන්ධයෙන් හදපු වැරදි මතයක් හරහා හිතා මතාම දැනුවත්වම පන්සල දේශපාලනයට යොදා ගැනීම තදබල ලෙස සිදුවුණි. පල්ලියේ පටන් ගත් ඡන්ද ව්‍යාපාරය අවසන් වුණේ පන්සලෙනි. සියලුම හාමුදුරුවන්වහන්සේලා නොවුණත් බොහෝ හාමුදුරුවන්වහන්සේලා ඍජුවම දේශපාලනයට සම්බන්ධ වූහ. පන්සලේ බෝධි පූජාව හෝ ආගමික උත්සවය මුළුමනින්ම යොදා ගැණුනේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්ය. අවසන් පොහොය දිනය ප්‍රසිද්ධියේම ඒ සඳහා යොදා ගත්හ. උන්වහන්සේලා කැලණි විහාරයේ පෙන්වූ නාගලෝකයේ ධාතූන් වැඩවමීම මුළුමනින්ම බෞද්ධ ජනයා නොමග යැවීමක් වීය. රට වෙනුවෙන් මලක් පූජා කරන්න යැයි කියමින් බෞද්ධ සැදැහැවතුන්ව පන්සලේ බලය පාවිච්චි කරමින් තම අරමුණ වෙත යොමුකර ගත්හ. පන්සලේ වොයිස්කට් එකෙන් පටන් ගෙන නාගලෝකයේ ධාතූන් දක්වා වූ මෙහෙයුම පසුගිය කාලය පුරාම දියත් වූ මහා මෙහෙයුමක් විය.

මේ සියල්ල ඉතාම සියුම්ව ජනතාවගේ මනස්වලට කාවැද්දුවේ ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය ආයතන දෙකකින්ය. අමු අමුවේම රෙදි ගලවගෙන එකී ආයතනයන් අපේක්ෂකයා වෙනුවෙන් සියලු දරදිය ඇද්දේය. විහිළු වැඩසටහන්වලදී පවා එකී කරුණු ඉදිරිපත් කළේය. ලංකාවේ ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ ආකාරයෙන් ඉතාම ලැජ්ජා සහගත ලෙස එය සිදුවිය. වැරදි මතවාදයන් ජනතාව තුළ තහවුරු කිරීමෙන් නිපදවෙන සාවද්‍ය මතවාදයන් වැරදි තොරතුරක් දෙනවාට වඩා භයානකය. රට පිළිබඳව ආගම පිළිබඳව ජාතිය පිළිබඳව ජනතාව කම්පනය කරවන ප්‍රවෘත්ති නිර්මාණය කළේ ඔවුන්ය.

මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුගේ හැසිරීමෙන්ම කොතරම් ඒ වෙනුවෙන් මැදිහත් වුණාද යන්න පෙන්නුම් කරයි. තමන් කැමති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමත්, අනෙක් අයව උපහාසයට අපහාසයට ලක්කිරීමත් තදින්ම සිදු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඉතා තදින්ම ජාතිවාදය අවුළුවාලන්නට තම මාධ්‍ය යොදා ගත්තේ ඉන් ඇතිවෙන ඵලවිපාකයන් ගැන කිසිදු තැකීමකින් තොරවය. එකී රූපවාහිනී ආයතනයත් එයට අනුබද්ධ සියලුම ගුවන් විදුලි මාධ්‍යයත් තවත් මුද්‍රිත මාධ්‍ය කිහිපයකුත් ඉතාම වැරදි මතවාදයන් සමාජගත කළේ මෙකී දේශපාලන අරමුණ ඉලක්ක කරගෙනය. ඉන් ඇති කරන ලද සමාජමය බලපෑම සුළුපටු එකක් නොවේය.

ඉදිරියේදීත් ඔවුන් එකී වැරදි ජාතිවාදී, ආගම්වාදී මතවාදයක්ම ඉදිරියට ගෙන යා හැකිය. සමහර භික්ෂු සංවිධාන මහ මැතිවරණයෙන් පසු විසුරුවා හැරෙන බවක් කියැවෙන්නේ ඔවුන්ගේ කාර්යභාරය එතැනින් අවසන් වන නිසාය. මාධ්‍ය ආයතනයත් එලෙසින්ම පසුගිය කාලයේ ගොඩනැගූ මතවාදය පෝෂණය කරන්නට පුළුවන්ය. එනම් සිංහල බෞද්ධ බහුතරයකගේ ආණ්ඩුවක් සාදා ගැනීම ඉදිරියට දැමීමෙන්ය. ඒ අදහස ජනතාව වෙත දමා තමන්ගේ ස්වාමියන්ගේ බල වුවමනාව ඉටුකරදීම ඔවුනගේ කොන්ත්‍රාත්තුවය. එබැවින් ඉදිරි මාස කිහිපය පුරාවටම ද බොරු බිල්ලෝ මවා පෙන්වීම් ඇතිවෙන සිදුවීම් ජාතිවාදී ලෙස විග්‍රහකිරීම් වලින් අඩුවක් විය නොහැක. එපමණක් නොව පත්කරපු ජනාධිපතිට හයියක් වන බහුතර ආණ්ඩුවක්ද අවශ්‍යවේ යන මතය ඉලක්ක කරගත් වැඩසටහන් වොයිස්කට්වලින්ද අඩුවක් නොවෙනු ඇත.

කොහොමත් ඊළඟ ආණ්ඩුව හදන තාක් කාලය දක්වා වූ අන්තර් කාලය බොහෝ ජනතා ආකර්ෂණීය දේවල් සිදුවෙනු ඇත. ඇමති මණ්ඩලය අඩුකිරීම, නාමපුවරුවල පින්තූරය නොදැමීම වාගේ පුංචි පුංචි සෙල්ලම් දැකිය හැකිය. මෛත්‍රීපාල සිරිසේනත් බලයට ආපු මුල් අවස්ථාවේදී කෙහෙල් කොළේ බත් කෑවේය. ජනාධිපති මන්දිරයෙන් එළියට බැස්සේය. අන්තිමේදී හිටපු ගෙදරත් සින්නකරයටම ලියාගෙන ගෙදර ගියේය. ගෙවන්න තියෙන ණය වාරිකයන් අදාළ මාසවලදී නොගෙවා කල් ගන්නට හැකියාවක් ඇත. එසේ කරගතහොත් ඒ සල්ලිවලින් ජනතාවට යම් යම් තාවකාලික සහනයන්ද ලබාදිය හැකිය. ඡන්දයෙන් පස්සේ  ඒ යන වියදම් පොලියත් එක්ක අල්ලා ගන්නට පුළුවන්ය. දැන් සිදුවෙන්නට පටන්ගෙන ඇත්තේ එයයි. මතුපිටින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වමින් යටින් බිය වැද්දවීම් තර්ජනය කිරීම ඇතිවිය හැක. දැනටමත් බොහෝ ආයතනවල කියන්නේ මහමැතිවරණය තෙක් ඉවසාගෙන ඉන්නා බවය. අවුරුදු හැත්තෑ එකක් තිස්සේ කරගෙන ආ පරිද්දෙන්ම මෙවරත් ජාතිවාදය ආගම්වාදය බලය සඳහා යොදා ගැනුණි. ඒ සඳහා තමන්ගේ හිතවත් මාධ්‍ය ආයතන යොදා ගැනුණි. භීතිය පතුරුවා ජනතාව අනියමින් බිය වැද්දවීමෙන් බලය වුවමනාව ඉටුකර ගැනුණි. ඒ කෙසේ වෙතත් ඇත්ත යථාර්ථයට මුහුණදිය යුතුව ඇත. උද්ගතව ඇති ආර්ථික සමාජ අර්බුදයට ඔය එකකින්වත් උත්තර ලැබෙන්නේ නැත. දිනෙන් දින බුර බුරා එය වර්ධනය වනු ඇත. එදාටත් තවදුරටත් ජාතිවාදයයෙන් පමණක්ම ගොඩයන්නට නොහැක. ජනතාව ඒ යථාර්ථයට වැටෙන විට ඔය ආපු ආකාරයටත් වඩා සිය ගුණයකින් ආපස්සට පෙරළා හරවනු ඇත.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

thirteen + 10 =