ජනාධිපති ගෝඨාභය සමග ඩී.කේ.පී. දසනායකත්

පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු ඔහු සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පරීක්ෂණ පැවැත්වෙන අතරතුර කියා සිටියේ පුද්ගලයින්ගේ සාක්ෂි, නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඔවුන් රඳවා තබා ගත් ස්ථාන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගනු ලැබ ඇති බවයි.

ඔවුන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කරවා ඇත්තේ ‘බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම සඳහා’ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බවත් ඔහු පැවසීය.

මෙය රණවිරු දඩයමක් පමණක් බව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගේ අදහස විය.

කෙසේ වෙතත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් වීමත් සමග අතුරුදහන් වූ තරුණයෙකුගේ මවක් තබා තිබුණු සටහනක් පහත දැක්වේ.

”අපේ දරුවන් කප්පම් ගන්න උත්සන් ගිහින් අතුරුදහන් කරපු සිද්ධියෙ ප්‍රධාන සැකකාර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක තමයි මේ ඉන්නෙ, ජනාධිපති ගෝඨාභය මහත්තයා එක්ක අද. මෙවා දකිද්දි අවුරුදු 11 ක් මගෙ නැතිවුනු දරුවා වෙනුවෙන් මග බලන, සාදාරණයක් වෙයි කියලා බලන් ඉන්න අම්මා කෙනෙක් විදියට මට දැනෙන වේදනාව වචනවලින් කියලා ඉවරකරන්න බැහැ. වදපු අම්මාට අප්පටයි ඒ වෙදනාව තියෙන්නෙ. දැන් හිතන් ඉන්නෙ අපෙ දරුවන්ගෙ ජීවිත වලට වගකිවයුතු මේ වගේ අපරාධකරුවන් නිදහස් කරලා ගෙදර යවන්න නම්, ඒකටනම් මේ පස්සෙන් ගාටන්නෙ, වටකරන් ඉන්නෙ, කිසිම විදියකින් එහෙම නොවිය යුතුයි. මේ ඉන්නෙ රණවිරුවො කියන නමටත් අපහාස කල කප්පම්කාරයො. මෙ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නෙ මේ වගේ අපරාධකරුවන්ව නිදහස් වෙලා ගෙදර යනවනම් ඒ ගැන රටේ මිනිස්සු හිතාගන්න ඕනෙ. නව ජනාධිපතිතුමාට කියන්නෙත් මෙ වගෙ අපරාධකරුවන්ගෙ කාලකණ්නි අරමුණු ඉටුවෙන්න නොදෙන්න කියලා. මන් මගෙ දරුවා වෙනුවෙන් උදේ හවස හූල්ලන හීල්ලිල්ල මේ හැම අතුරුදන් කරපු දරුවෙක්ගෙ අම්මෙක්ම තාත්තෙක්ම හූල්ලනවා. ඒ සාපෙ පොඩි නැහැ.”

Leave A Reply

Your email address will not be published.

16 + five =