මහාචාර්ය නිලීකා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකාවක් ලෙස පත්කරයි !

මහාචාර්ය නීලිකා මලවිගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් මර්දන උපදේශක කමිටු සාමාජිකාවක ලෙස තෝරාගෙන තිබේ.
ඒ අනුව ඇය ඉදිරියේදී එම සංවිධානයේ කොවිඩ් මර්දන තාක්ෂණ උපදේශක කමිටුවට සිය ක්‍රියාකාරී දායකත්වය ලබාදීමට නියමිත ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක වන මලවිගේ මහත්මිය, පසුගිය කාලයේදී මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සිය උඵරිම දායකත්වය සැපයීමට මැදිහත් වූ අයෙකි. එසේම ඇය මාධ්‍ය වෙත කළ ප්‍රකාශ විකෘති කොට දැක්වීම සම්බන්ධයෙන් ඇය දැඩි කළකිරීමෙන් ද සිටියාය. ඒ බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ ද සටහන් කොට තිබිණි.

එසේම ඇය මීට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් ද ඉල්ලා අස්විය. එම කමිටුවෙන් මහාචාර්යවරියට අමතරව උතුරු කොළඹ වෛද්‍ය පීඨයට අනුයුක්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන් ද ඉල්ලා අස්විය.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා පිහිටවූ තාක්ෂණික හා උපදේශක කමිටුවේ ද මහාචාර්ය නිලීකා මලවිගේ සාමාජිකාවක් වූවාය. එයින් ද ඇය පසුව ඉල්ලා අස්විය. මහාචාර්යවරියට අමතරව මේ කමිටුවේ සාමාජිකත්වය දැරූ විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ද එයින් ඉල්ලා අස්විය. මේ සියලු විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමට හේතු ලෙස දැක්වූයේ ඔවුන්ගේ විශේෂඥ උපදෙස් කොවිඩ් මර්දන කටයුතුවලදී නොසලකා හැරීමත්, විද්‍යාත්මක උපදෙස්වලට පිටින් කටයුතු කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමත් ය.

Leave A Reply

Your email address will not be published.

sixteen − seven =