රඝුපතිට හැංගෙන්න දෙන්න බෑ

මගේ යාපනය – 19 (මගේයාපනය)
යාපනයේ හදවත් මට ටෙලිපති හරහා කතාකරයි. යාපනය මගේ හදවතින් මැකෙන්නේ නැතුවා සේම යාපනයටද මා අමතක වන්නේ නැති හැටියකි. කොහෙන් කොහෙන් හෝ ඒ ආදරය මගේ හිත තමන් සතු කර ගන්නට යාපනය දක්වන්නේ ලියා පෙන්විය නොහැකි සමත්කමකි. අපේ හීන අපිට ලඟා වන්නේ අපි හීන දකින්නටත් කලින් සිටය. ඇතැම් ජීවිත සිදුවීම් මට ඒත්තු ගන්වන පාඩමේ එසේ ලියා ඇත .
මේ යාපන ආදරයේ තවත් එක තාරකාවකි.
මේ මිනිසා මේ රටට අහිමි වූ බුද්ධිමය දියමන්තියකි. මේ සටහන මම ලියන්නේ ඒ මිනිසාගේ හිත රිදවන බව දැන දැනය. එහෙත් නොලියා ඉන්නට හිත හදාගන්නට තරම් මගේ හිත පරිණත නොවන වගද කියමිනි. මම ඔහු ගැන ඉගනගන්නේ මීට වසර දහයකට එහා ගිය දිනක පේරාදෙණිය සරසවියේ ආචාර්ය ඩී. කේ . ජයරත්න ගුරුතුමාගේ පන්තියෙත් , කථිකාචාර්ය චන්දිම අඹන්වල ගුරුතුමාගේ පන්තියකදීත්ය .

මේ ගුරුවරු අපිට යාපනය ප්‍රාග් ඓතිහාසික ස්ථාන පිලිබඳ ඉගැන් වීමට යොදා ගත්තේ ආචාර්ය පොන්නම්බලම් රඝුපතිගේ Early settlement in Jaffna කෘතියයි. එහි තිබු ප්‍රාග් ඓතිහාසික ස්ථාන වලට අමතරව ‘’ කො – වෙත ‘’ නම් මුද්‍රාව පිළිබඳවද විශේෂ කොට උගත්තෙමු. ඒ අනුව මේ පොත හා කතෘ මගේ මතකයේ කොනක නතර විය. මෑතක දී මට ඔහු ගැන සොයන්නට දොළක් උපන්නේය.

ලංකාව පිලිබඳ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කරන්නෙකුට ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ The prehistory of Ceylon කෘතිය මෙන්ම යාපන අර්ධද්වීපයේ යටගියාව පිරික්සන්නනට රඝුපතිගේ Early settlement in Jaffna කෘතියද අමතක කළ නොහැකි වග පුදුමයට කරුණක් නොවන්නේය. කෙසේ වුවද මම ආචාර්ය රඝුපති පිලිබඳ සොයන්නට සිතා අන්තර්ජාලයේ ඔහුගේ නම කොටා බැලුවෙමි. පුදුමය ඔහු ගැන දැනගත හැකි යමක් ලෙස මෙම ග්‍රන්ථය පිලිබඳ පමණක් සටහන් වීමය. අවම වශයෙන් ඔහුගේ චායාරූපයක්වත් දැක ගැනීමට නොහැකි විය. ඔහු හෝඩුවාවක් සොයා ගන්නට නොහැකි වූ තැන උදව්වට ආවේ මගේ යාපනය සම්බන්ධ දත්ත ගබඩාවයි. ඒ ආචාර්ය රුද්‍රමූර්ති චේරන්ය. ඔහු මට ආචාර්ය රඝුපති හඹා යන්නට තටු දුන්නේය.

ඒ අනුව මම කවදාවත් නොදුටු ආචාර්ය රඝුපති වෙත ලියුවෙමි. මම බලා උන්නේ ඔහුගෙන් විද්‍යුත් තැපෑල හරහා පිළිතුරු ලිපියක් ලබෙනතුරුය. සතියක් දෙකක් ඉක්මගිය තැන දිනෙක හවස හතරට පමණ නොදන්නා විදෙස් අංකයකින් මට දුරකථන ඇමතුමක් ආවේය.

‘’හෙලෝ මම රඝුපති කතාකරන්නේ’’ මට පුදුමය හා සතුට ඉහ වහා ගියේය. මගේ හඬ කෑ ගැසීමක් ලෙස ඇහෙන්නට ඇත. ඔහු මොහොතක් මට ඉඩදී නිශ්ශබ්දව හිද කතාකළේය. බොහෝ නැවතිල්ලේ බොහෝ පැහදිලිව ඔහු මා සමග කතාකරන්නට විය. ඔහු මේ සමාජයෙන් මිදී සැනසිල්ලේ සිටින වග හැගී ගියද ඔහු ගැන ලිවීමට මම කැමති වග කීවෙමි. ‘’ මම ගැන ලියනවට වඩා යටත් විජිත යුගයේ ජීවත් වූ දෙමළ වියතුන් ගැන ලිවිය යුතු වග ඔහු කීවේය. එදා දුරකථන ඇමතුමෙන් පසු මම ඔහුට මම විශ්වවිද්‍යාලයේදී ඔහුගේ ග්‍රන්ථය ඇසුරින් ලියු පැවරුමක චායාරූප හා තවත් තොරතුරු කීපයක් යැවුවෙමි. තවත් විනාඩි කීපයක් ඇතුළත ඔහු මට නැවත ඇමතුමක් ගත්තේය.

‘’ඔයා මයිසූර් විශ්වවිද්‍යාලයේ ඉගනගත්තද? ඒ කොයි කාලේද? ප්‍රශ්න අවසන ඔහු කීවේ තමන් මයිසූර් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව උගත් බවය. තව දුරටත් ඔහුගේ මතකය අතරින් විශේෂ යමක් මා ඉදිරියේ තැබුවේ ‘’ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරපු සද්ධාමංගල කරුණාරත්නගේ නංගි මයිසූර් විශ්වවිද්‍යාලයේ ඉගනගත්තා එයා තමන්ගේ නමින්ම ‘’ වම්ස වෘක්ෂා ‘’ කියන කන්නඩා චිත්‍ර පටයක රඟපෑවා.’’ මේ කතා වලින් පසු ආචාර්ය රඝුපති මට ඒ කන්නඩා චිත්‍රපටයේ විස්තර හා යූ ටියුබ ලින්කුව එවා තිබිණි. ‘’ කෙසේ වුවද ඔහු ගැන ලියන්නට නම් අවසරයක් නොවිණි. ‘’. ඔයා ළඟ මගේ දුරකථන අංකය තියනවා ඕනෙම වෙලාවක මට කතාකරන්න. ඕනෙම දෙයක් අහන්න. කරුණාකර මට මෙහෙම ඉන්න
දෙන්න. මම ගැන ලියන්න එපා ‘’ අවසාන වචන එසේ විය.
ඉන්පසු මට ඔහු පිලිබඳ ලිවීමට තිබු කැමැත්ත සඟවා ගන්නට සිදුවිය. එහෙත් ඔහුගේ චායාරූප යක් දැක ගැනීමට නොතිත් ආශාවක් විය. විටින් විට දින ගනනාවක් මම ඒ ඉල්ලීම කළෙමි.

සුපුරුදු දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ හරහා හෝ මේ චායාරුප කතාව ඉදිරිපත් කරන හැම විටම ‘’ මම වයසක මනුස්සයෙක් . පින්තූර මොටද?’’ අසන්නේය. අවසන මම ආචාර්ය රුද්‍රමූර්ති එවා තිබු පැරණි චායාරූප හරහා ඔහුගේ පැති පෙනුම දැක ගතිමි. මම දිනෙන් දින යාපනේ මිනිසුන්ගේ ආදරයෙන් මනුස්සකම් වලින් මිලියන පතියෙක් වෙමින් හිඳිමි. කොහොම නමුත් ආචාර්ය රඝුපති පිලිබඳ නොලිය ඉන්නට උත්සහ ගනිමින් උන්නෙමි. ඒ උත්සාහය ඇත හැර දමන්නට වූවේ පහුගිය සතියේ සිදු වූ සිදු වීමක් හේතුවෙනි.
ආචාර්ය සිරාන් දැරණියගලයන්ගේ අභාවය සිදු වූ පසු මහා දවාලක මට ආචාර්ය රඝුපතිගෙන් ඇමතුමක් ආවේය.
‘’සඳරැසී ආචාර්ය දැරණියගල හදිසියේ අභාවයට පත් වුණේ ඇයි? එයා අසනීපෙන් හිටියද? එක යුගයක් ඉවරම වුණා’’ ඔහු දුක්බර හඬින් පවසන්නට වූවේය.

මාන්තායි කැණීමේ සිට ඔවුන් අතර සම්බන්ධතා මම වෙනත් අයගෙන් අසා තිබුණෙමි.එහෙත් මෙසේ කතාකර විස්තර අසනවිට මනුෂ්‍යත්වයේ බැදීම් වල ගැඹුර තව දුරටත් පසක් වෙන්නට විය. . මේ සිදුවීම සමග මට මතක් වූයේ අපි රටක් ලෙස දෙපසකට බෙදන්නට වෙන් කරන්නේ කවුරු වුවත් උගත් පරපුරට හෝ සාමාන්‍ය ජනයාට එසේ බෙදීමක් නැති වගය. මේ උගත් පරපුරට අවශ්‍ය වූවේ මහපොළොවේ සගවා ගිය මානවගේ අතීතය ගොඩ ගැනීමත් දැනුම බෙදා ගැනීමත් පමණි.
මම ආචාර්ය රඝුපති පිලිබඳ මගේ ගුරුවරු වූ මහාචාර්ය පියතිස්ස සේනානායක සමග මෙන්ම මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න සමග කතාකලෙමි. ඔවුන්ද ආචාර්ය රඝුපති සමග සම්බන්දතා පැවත් වූවන්ය.

‘’රඝුපති කියන්නේ හරිම දක්ෂ මනුස්සයෙක්. මේ රටට නැති වුන සම්පතක්. ඉස්සර අපේ ළමයි කැනීම් වලට උතුරට ගිහින් ඉද්දි හවසට කැනීම් ඉවර වෙලා විවේක නොගෙන ළමයින්ට ඉගැන්නුවා. ඒ වගේ කැපකිරීම් කරපු ගුරුවරයෙක්. ‘’ කී අතර ඔහුගේ සේයාරුවක් සොයා ගැනීමට අපහසු වග කී විට ‘’ඔව් එයාගේ පොතකවත් පින්තූරයක් නෑ. තිබුනොත් තියෙන්නේ ඔය වැඩකරන වෙලාවක කවුරු හරි පොදුවේ ගත්තු පින්තූරයක් තමයි’’ ඒ පිළිතුර සැබෑ කරමින් මට හමු වූවේද කැනීම් බිමක ගත් සමූහ චායාරූපයක් පමණකි. ( අවසන් මොහොතේදී නඩරාජා සෙල්වරාජා මහතා විසින් ආචාර්ය රඝුපතිගේ නූතන පෙනුම රැගත් රුවක් එවන ලදී.)

දෙමළ, සිංහල, ඉංග්‍රීසි, සංස්කෘත, පාලි, කන්නඩ, ඇතුළු භාෂා ගණනාවක ප්‍රවීණයකු වන ඔහු ගැන සරලව මෙසේ සටහන් කරන්නේ මගේ අකීකරුකම නිසාය. ඔහු ඊට සමාව දෙනු ඇතැයි මම සිතමි.

යාපනයේ පාසල් අධ්‍යාපනය හැදෑරු අතර මයිසුර් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිලිබඳ උපාධිය ලද අතර යාපනය විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඒ යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රථම ආචාර්ය උපාධි ලාභියා ලෙසය. ඔහු විසින් යාපනය අර්ධද්වීපයේ මෙගලිතික යුගයට අයත් පුරාවිද්‍යා ස්ථාන හතලිස් අටක් සොයා ගනිමින් පර්යේෂණය ආචාර්ය උපාධිය වෙනුවෙන් සිදුකරන ලදී. ඒ Early settlement in Jaffna කෘතියයි. කේ .ඒ නීල කන්ටි ශාශ්ත්රී ගේ පරපුරෙන් උගත් ආචාර්ය රඝුපති ඉන්දියාවේ , මාලදිවයිනේ ගුරුවරයකු ලෙස තම දැනුම දායාද කිරීම ඇතුළු සියලු වතගොත පිළිබද බිඳක් හෝ මෙරට සියලු දෙනා දැනසිටිය යුතු හෙයින් මෙන්ම ඔහු සතු ගැඹුරු දර්ශනයට ගරු කිරීමක් ලෙස මේ සටහන තබන්නෙමි. මේ වනවිට උපන් මෙන් කිලෝමීටර් දහස් ගණනක් එපිට ජීවත්වන ඔහු ගතකරන්නේ මුනිවරයෙකුගේ ජීවන චර්යාවට සමීප ජීවිතයකි.
මෙසේ ලියන්නට කවදාවත් නොදුටු ඔහුට බැදෙන්නට, ආදරය කරන්නට, ගරු කරන්නට ප්‍රධාන කරුණු තුනකි. එක අපි එකම රටක ඉපදීමය. දෙක අපි අතීතයට පෙම්බ්දින්නන් වීමය, තුන අපි දෙදෙනාම මයිසූර් සරසවි කුලකයට අයත් වීමය. මේ සියලු හේතු පැත්තකට දැම්මත් ඔහු දෙමළ මිනිසෙකු වීම හා පොදුවේ අපි මනුස්ස කුලයේ වීමේ හේතුව වඩා ශක්තිමත්ම හේතු වන වග මම දනිමි.

මේ විශ්වය සතු අපූරු තෑගී දීමේ න්‍යාය යටතේ මෙවන් මිනිසුන් ඇසුරු කිරීමේ වරප්‍රසාදය මට හිමිවන බව සිතමි. එසේත් නැතිනම් ලෝකයට වසන් වී ජීවත් වන මෙවන් උසස් මිනිසුන් පිලිබඳ කරුණු කාරණා ලියා තබන්නට මගේ ආදරණීය යාපනය මට මට සොඳුරු අණක් නිකුත් කරනවා වැනිය.

අවසාන වශයෙන් ආචාර්ය පොන්නම්බලම් රඝුපති වෙත මෙසේ කියමි. ‘’ කොපමණ කාලයක් මඩ ගොහොරුවල, කැලෑ පෙත්වල, ග්ලැසියර තට්ටු යට, කළු දුඹුරු මැටි බරණි තුළ, දුක් දෝනා පතුල්වල සැගව තිබුණද මැණික මැණිකක්ම පමණි. කාලය අවකාශය අතිනත ගන්නා මොහොතක ඒ මැණික පිලිබඳ වන රශ්මි කදම්බය දසදහස් ගුණයකින් වර්ධනය වී ලොව පුරා පැතිර යනු ඇත.එසේනම් ඔබට ලොවෙන් සැගවීමට , ඔබේ වටිනාකම් ඉඩ නොදෙන වග මතක තබා ගන්නේ නම් යහපති. ඔබ අයිති ඔබට නොව මේ මහා පොළොවටය. ඔබේ සියලු කාර්යයන් වගකීම් යුතුකම් අවසන් වූ බව ඔබ සිතනවා විය හැක. එහෙත් ඔබ මතකයේ රඳවා ගැනීමේ වගකීම හා යුතුකම අප සතු බවද අමතක නොකළ මැනවී. අවුරුදු දස දහස් ගණනකට පෙර මිහිදන් වූ මුතුන්මිත්තන් ගේ සුසාන කණින්නට ඔබට හැකිවා මෙන්ම ඔබ වන් මිනිසකු ගැන කතාකරන්නට, ආදරය කරන්නටද අපිට අයිතියක් ඇත.

ඉතින් ආචාර්ය රගුපති,
මේ ඒ ආදරය ඔබ සොයා එන්නට තටු ගසන කාලයයි. ඔබේ මාතෘ භූමිය පිස එන ආදර සුළඟට හදවත විවර කරන්න. එහි උතුරේත් දකුණේත් වෙනසක් නොමැතිව ඔබ නමට මල් මාලා සේම බුලත් හුරුළුද වෙන්ව ඇති බව අදහන්න.
මම යාපනේ පෙම්වතිය,

– සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්
Sandaraseepriyathma@gmail.com

 

Leave A Reply

Your email address will not be published.

11 + six =