ඔබේ ඉනිම අතිවිශිෂ්ඨ යි…!! අපේ සිතු තිල්ලේ සැමදා නොදැවී ක්‍රීඩා කරන්නේ ඔබ යි..!!

දැනට මසකට පමණ කලින් දුරකථන ඇමතුමක් අතරමග බන්දු කීය.
හමුවෙන හමුවෙන වාරයක් පාසා ද මඳ සිනා මුවින් එසේ කීම බන්දු ගේ සිරිත විය.
එල් එල් බී යනු ළමයින්ගේ ළමයි බැලීම ය!
ඒ එල් එල් බී වැඩෙන් බන්දුත්, හේමාලීත් මහා සතුටක් ලැබූ බව මම දනිමි.

කොවිඩි සීමාවන් හේතුවෙන් බොහෝ කලෙකින් ඔහු හමුවීමට අවකාශයක් මට ලැබුණේ නැත. ඒ නිසා සති දෙක තුනකට වතාවක් දුරකථනයෙන් කයිවාරුවක් ගැසීම අපි පුරුද්දක් කොට ගෙන සිටියෙමු.
2020 අගෝස්තු මාසයේ දිනෙක මගේ Saman 4 You නාලිකාව වෙනුවෙන් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් රූ ගත කිරීම සඳහා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දී අපි හමුවුණෙමු. ඒ සම්මුඛ සාකච්ඡාවේ දී සිය ජීවිතයේ හරිගිය තැන් ගැන මෙන් ම වැරදුණු තැන් ගැන ද බන්දු නොවලහා පැවසීය.

රූ ගත කිරීම අවසානයේ පැය දෙක තුනක මිතුරු සමාගමයක් ද පවත්වා මාව මිරිහානේ අපේ මහගෙදරට ගෙනැත් බැස්සවූයේ බන්දු ය. ඒ මා ඔහු හමුවූ අවසාන අවස්ථාව යි.
එදින වාහනයේ එන ගමන්, අප සිහිපත් කළේ ඊට අවුරුදු ගණනාවකට කලින් දවසකත්, මේ වගේ ජාමෙක බන්දු මාව ගෙදරට බැස්සවීමට ආ ගමනක් ය.

එකල ඔහු ජාතික කණ්ඩායමේ නායකයා ය. නමුත් ක්‍රිකට් පරිපාලනය සමග බොහෝ මතවාදයන්හි පැටලී සිටියේ ය. යම් යම් ගැටළු හා අර්බුදයන් ද මෝරා යමින් පැවතිණි. මෙන්න මේවා ගැන ගුවන්විදුලියේ ක්‍රීඩා අංශය වෙනුවෙන් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට මට අවශ්‍ය විය. ඒ සඳහා දිනයක් වෙන් කරගෙන මම ඔහු හමුවීමට බ්ලූම්ෆීල්ඩ් ගියෙමි. ඔහු නොයෙකුත් කතාන්දර කියා සාකච්ඡාව මග හැරියේ ය. පසුදා හැන්දෑවේ කරමු යැයි කීවේ ය. ලාවට සිදුවුණු මිත්‍ර සමාගමයකින් පසු ඔහු මාව ගෙදරට බැස්සුවේ ය. එවක මා සිටියේ ඇන්ඩර්සන් තට්ටු නිවාස වල ය.

‘මාව වැරදි විදියට තේරුම් ගන්න එපා.’ මට සමුදෙමින් බන්දු කීවේ ය. මම හිතුවේ සම්මුඛ සාකච්ඡාව පසුදිනට කල් තැබීම සම්බන්ධයෙන් ඔහු එසේ කියන්නට ඇති බව ය.
ඒත් පසුදා වෙද්දී ආරංචි තටුගහමින් පැතිර ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පිරිසක් දකුණු අප්‍රිකාව බලා ගිය බවකි. පෙරදා රාත්‍රියේ ‘මාව වැරදි විදියට තේරුම් ගන්න එපා’ කියා බන්දු කී කතාව මට හරියට ම තේරුම් ගියේ ඒ වෙලාවේ ය.

බන්දු මා අප අතර මිතුරු ඇසුර දළුලන්නේ හැත්තෑ ගණන්වල අග භාගයේ ගුවන් විදුලියේ ක්‍රීඩා අංශය හරහා ය. ගුවන් විදුලි ක්‍රීඩා අධ්‍යක්ෂ කාල්ටන් සෙනෙවිරත්න සහ ජ්‍යේෂඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා ගේ අනුදැනුම හා මග පෙන්වීම අනුව ප්‍රේමසර ඈපාසිංහගේ හා හේමජිත් ප්‍රනාන්දුගේ සහය ඇතිව ගුවන් විදුලි ක්‍රිඩා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී වීමත් සමග ය. මා දන්නා තරමට පළමු පෙළ හා ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අතර ම විස්තර විචාරක අට්ටාලයට නැගි එක ම පුද්ගලයා බන්දුල වර්ණපුර ය. ගාල්ලේ රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරගාවලියේ විශේෂඥ විස්තර විචාරක භූමිකාව ඔහුට පැවරී තිබුණු නිත්‍ය රාජකාරියකි. ඒ ගමන් බිමන්වලදී ඔහු ගැයූ ගීතයන්හි වචන අපට තවමත් කට පාඩම් ය.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලද පසු ක්‍රීඩකයන්ගේ වෘත්තීයමය අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු දිගින් දිගට ම පෙනී සිටියේ ය. මේ නිසා ම ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අකීකරු දරුවෙකු ලෙස ද පාලකයන් ට පෙනී ගොස් තිබිණි.

ටෙස්ට් ක්‍රිකට් වරම් සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලද විට ‘දෙසතිය’ සඟරාවේ කවරයේ කතාව වර්ණපුර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වෙන් කිරීමට සංස්කාරක ගාමිණී විජේතුංග තීරණය කළේ ය. කවරයේ කතාව ලිවීමේ වගකීම පැවරුණේ මට ය. ගාමිණී කවරයේ කතාව නම් කළේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වර්ණවත් මුහුණුවර’ කියා ය. කවරයේ කතාව දෙසතිය පාඨකයෝ මහ ඉහළින් පිළිගත්හ. නමුත් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ යම් යම් අයගෙන් අපට ලැබුණේ චෝදනාවන් ය. ‘කොහොමද එයා විතරක් වර්ණවත් මුහුණුවර වෙන්නේ?’ ඔව්හු අපෙන් ඇසූහ. ඒ චෝදනාවන්හි සැබෑ පසුබිම තම සහෝදර ක්‍රිඩකයන්ගේ වෘත්තීයමය අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු කළ අරගලය යි.

දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු වසර විසිපහක තහනම අත් විඳින වේලේ ජීවිතයේ තවත් බොහෝ දේ ඔහුට තහනම් වී තිබිණි. නමුත් නැවතත් කෙසේ හෝ ඔහු විස්තර විචාර අට්ටාලයට ගෙන්වා ගැනීමට මමත්, රූපවාහිනියේ ක්‍රීඩාබඅධ්‍යක්‍ෂ ජේ එච් විල්සනුත් වෙහෙසුණෙමු. ඔහුගේ දැනුම සහ අත්දැකීම් ක්‍රීඩා ක්ෂේත්‍රය පෝෂණයට කවරාකාරයෙන් හෝ යොදා ගත යුතු බව අපි සිතුවෙමු.

ගුවන්විදුලිය සහ රූපවාහිනී මාධ්‍ය පරිපාලකයන් සමග සිදුකළ අනවරත අරගලයක ප්‍රතිඵලය ලෙස බන්දුව නැවත මෛක්‍රෆෝනය සහ කැමරාව ඉදිරියට කැන්දා ගෙන එන්නට අපට හැකිවිය.
වොලිබෝල්, මලල ක්‍රීඩා, පාපන්දු ආදී විවිධ ක්‍රීඩා ඉසව්වන්හි විස්තර විචාරකයෙකු ලෙස බන්දු කටයුතු කළේ ය. 1991 වසරේ කොළඹ පැවති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යද්වය ම වෙනුවෙන් විස්තර විචාරයන් සිදු කළ, ක්‍රීඩා විස්තර විචාරකයන් අතර බන්දු ද විය.
නමුත් විස්තර විචාරක භූමිකාවෙන් ඔබ්බට ඔහුගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා බොහොමයක් අපේ රටේ ක්‍රීඩාඉපරිපාලකයෝ මග හැර දැමූහ. ඒ ඒ පාලන ආයතනවල පවත්නා සැඟවුණු දේශපාලනය (පක්‍ෂ දේශපාලනය නොවේ) ඊට හේතුවූ බව මගේ හැඟීමයි.

2020 වසරේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස තේරී පත්වුණු පසු පණගැන්විය යුතු බොහෝ සිහින ඔහුගේ සිතෙහි තිබුණි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රිඩා සමාජය වෙනුවෙන් ඇපකැපවී කටයුතු කළ ෂෙලී වික්‍රමසිංහ වැනි ජ්‍යේෂ්ඨයන් නිති සිහිපත් කෙරෙන සත්කාර්යය ඒ අතරින් එකකි. එහි සමාරම්භක උත්සවයේ නිවේදන කාර්යයන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව පවා ඔහු මා සමග සාකච්ඡා කළේ ය.
එහෙත් කොවිඩ් වසංගතය නිසා ඒ බොහෝ සිහින සැබෑ කරගැනීමට පසුබිමක් තිබුණේ නැත.
ඔහු අප අතර සිටි හිත හොඳ මිත්‍රයෙකි. මට ඒ කාලයේ ගෙයක් තිබුණේ නැත. පොඩියට හරි තමන්ගෙ කියලා ගෙයක් හදා ගනින්, කියමින් ඒ වැඩේට මාව තල්ලූ කළා පමණක් නොව, ගෙයි වැඩ පටන් ගන්න සල්ලි ටිකක් ද මට දුන්නේ ය. ඒ සල්ලි කවදාවත් ආපහු ගත්තේ නැත.

මැලේසියාව පසුබිම් කරගෙන මා ලියූ ‘සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ’ පොතේ දොරට වැඩුම මැලේසියාවේ සංවිධානය කිරීමේ මහ බර දැරුවේ බන්දු ය. ඒ උත්සවය සඳහා ලංකාවේ සිට සම්පූර්ණ කණ්ඩායමක් ම සහභාගී වූහ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ෆොන්සේකා මහත්මිය (අපේ පර්ලි අක්කා), මහාචාර්ය සරත් විජේසූරිය සහ මහත්මිය (මාලා) හා පුත් ඉන්දික, ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රේම් දිසානායක, කුලරත්න ආරියවංශ, රවීන්ද්‍ර ගුරුගේ, සිසිර විජේතුංග සහ ප්‍රියවිජය ෆොන්සේකා (ෆොනී අයියා) සහ රූපරත්න ඒ අය ය. මමත් නයනාත් ඊට එක් වූ විට සම්පූර්ණ කණ්ඩායම 14 කි. බන්දුත් ගණන් ගත් කළ 15 කි. අතිරේක ක්‍රීඩකයන් ද සහිතව ටීම් එක හරි ය .!!!
නම් දැරූවන් කණ්ඩායමේ සිටියත් නායකත්වය හිමි වූයේ බන්දු ට ය. මැලේසියාවේ අප ගෙවූ සතියක පමණ කාලයත්, සැමදා සැන්දෑවේ බන්දුගේ නිවසේ සිදුවුණු මිත්‍ර සමාගමයත් අපේ ජීවිතවල සදා නොමැකෙන සටහන් ය.

අප මැලේසියාවෙන් පෙරළ පැමිණීමට පෙර මහචාර්ය කාලෝ ෆොන්සේකා මෙන්න මෙහෙම කතාවක් කීවේ ය.
‘සමන් මේ බුක් ලෝන්ච් එක විශිෂ්ඨ යි. බන්දුල වැනි යහපත් මිත්‍රයෙක් අපට හඳුන්වා දීම අතිවිශිෂ්ඨ යි.’
මේ යහපත් මිත්‍රයාගේ ජීවිතය පොතකට එක් කර ගැන්මට මට ලොකු උවමනාවක් විය. කයිවාරු සහ පම්පෝරිවලට අකමැති බන්දු ඒ සඳහා එකඟ කර ගැනීමට ද බොහෝ කලක් ගත විණි.
දැනට අවුරුදු හය හතකට පමණ පෙරාතුව අපි ඒ වැඩේට අත ගැසුවෙමු. ඔහුගේ ජීවිතයේ සෑහෙන කාල සීමාවක තොරතුරු ලේඛන ගත කළෙමු.

නමුදු ඔහුට සිදු කරන්නට වූ වෙනත් වෘත්තීයමය කාර්යයන් හේතුවෙන් ගෙවුණු අවුරුදු තුන හතරක කාලයේ කිසිවක් කරගන්නට හැකි වුණේ නැත.
කොවිඩි සමයේ ගෙදරට කොටු වී සිටින කාලය මේ සඳහා යොදවමු යැයි මම කීප වරක් ම බන්දුට කීවෙමි.
‘අර වැඩේට සටහන් ලියන්න පටන් ගත්තා ආයෙම.’ බන්දු කීවේ සති හතරකට පමණ පෙර අප අතර වූ දුරකථන සාකච්ඡාවේ දී ය.
ඒත් ඔහුගේ ජීවිත සටහන්වල ඉතිරිය ලියා අවසන් කරන්නට කලින් බන්දු ජීවිතය අවසන් කළේ ය.
නොසිතූ විලස. නොසිතූ විටෙක.
අප ඔහුට බන්දු කියා කීවාට අපේ හිත මිත්‍ර කසුරි (කරුණාදාස සූරියආරච්චි) හැම විට ම හැම තැන ම ඔහුව ඇමතූයේ කැප්ටන් යන නමෙනි.
Goodbye Captain…!
ඔබේ ඉනිම අතිවිශිෂ්ඨ යි…!!!!
අපේ සිතු තිල්ලේ සැමදා නොදැවී ක්‍රීඩා කරන්නේ ඔබ යි… !!!!

– සමන් අතාවුදහෙට්ටි (fb)
(අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ ඡායාරුප හැර අනෙක් ඡායාරූප – සිසිර විජේතුංග)

Leave A Reply

Your email address will not be published.

10 + four =